Pages

Thursday, July 16, 2015

කවුරු බලයට ආවත්...

අද වනවිට තීරණාත්මක සන්ධි ස්‌ථානයකට රට පැමිණ තිබේ. එක පැත්තකින් තීරණාත්මක මැතිවරණයකි. අනෙක්‌ පැත්තෙන් ජාත්‍යන්තර බලපෑම්ය. ඒ සියල්ල අතරේ උතුරු පළාත හා නැගෙනහිර පළාත ඒකාබද්ධ කිරීම් ගැන විවිධ මත පළවෙමින් තිබේ. තවත් පිරිස්‌ ෆෙඩරල් - ස්‌වයංපාලන අයිතිය - ඉඩම් බලතල - පොලිස්‌ බලතල ආදිය ගැන විවිධ මතවාද පළ කරමින් සිටිනු දක්‌නට ලැබේ.

වෙනම රටක්‌ යුද්ධයෙන් දිනාගත නොහැකිවූ පිරිස්‌ අද වෙනත් මුහුණුවරකින් ජාත්‍යන්තරයද සම්බන්ධ කර ගනිමින් තම සටන ආරම්භ කර තිබේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්ණායකවලට අනුව එක්‌ රටක්‌ තවත් රටකින් වෙන්කර හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධානතම කොන්දේසිය වන්නේ නිශ්චිත භූමියක්‌ පැවතීමයි. එම භූමියේ නිශ්චිත ජනතාවක්‌ ජීවත්වීම, ආර්ථිකයක්‌ පැවතීම, ස්‌වාධිපත්‍යය පැවතීම යන කරුණු කාරණා එක්‌වූවිට එම රට අනෙකුත් රටවලින් අනන්‍ය වූ රටක්‌ ලෙස හඳුනාගත හැක. උතුරු හා නැගෙනහිර පළාත් දෙක වෙන වෙනම පවතින විට මේ කරුණු සම්පූර්ණ නොවුණද එම පළාත් ඒකාබද්ධ කළවිට වෙනම රටක්‌ ලෙස සැලකීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ වේ. මේ නිසා උතුරු නැගෙනහිර නැවත වරක්‌ ඒකාබද්ධ කිරීම යනු බරපතල කාරණයක්‌ බව රටේ ජනතාව හොඳින් මතකයේ තබාගත යුතුව තිබේ.

ජාතික ගැටලුවට විසඳුමක්‌ සෙවීමට නම් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බව දෙමළ සන්ධානයේ ඉල්ලීම වී තිබේ. මේ බව ඔවුන් විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි වෙතද පවසා තිබුණි. දෙමළ ජාතික සන්ධානය පමණක්‌ නොව ත්‍රස්‌තවාදයට හිතවත් කණ්‌ඩායම් රැසක්‌ම එම ඉල්ලීම කර තිබේ.

1987 දී ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු උතුර හා නැගෙනහිර එක්‌ පළාතක්‌ බවට පත්කරන ලදී. ත්‍රස්‌තවාදයෙන් මේ දෙපළාත ගලවා ගන්නා ලද්දේ යුද ජයග්‍රහණයෙන් පසුය. අනතුරුව අධිකරණයට ගොස්‌ නඩු කියා උතුර සහ නැගෙනහිර නැවත වතාවක්‌ පළාත් දෙකක්‌ බවට පත්කරගන්නා ලදී. ඉදිරියේදී නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බවට විවිධ පාර්ශව මේ වනවිටත් ප්‍රකාශ කර තිබේ. එම නව ව්‍යවස්‌ථාවේ අඩංගු කරුණු කාරණා මොනවා දැයි එම පිරිස්‌ විසින් තවමත් රට හමුවේ ප්‍රකාශ කර නැත. මෙය බරපතල කාරණයකි. එම නිසා ප්‍රධාන පක්‌ෂ විසින් තමන් ගෙන ඒමට අපේක්‌ෂා කරන නව ව්‍යවස්‌ථාවේ අඩංගු කරුණු පිළිබඳව රට හමුවේ පැහැදිලි ප්‍රකාශයක්‌ කළ යුතුය. එසේ නොමැති වුවහොත් සිදුවන්නේ කවර හෝ වෙනයම් දේ කියා බලය ලබාගෙන විවිධ පාර්ශව වලට අවශ්‍ය පරීéණ, ව්‍යවස්‌ථාවන් ගෙන ඒමය. එවිට ජනතාව ඡන්දය දී අවසන් බැවින් ජනතාවට කළ හැකි දෙයක්‌ ද නොමැත.

පෙඩරල් ගුණාංග ලක්‌ෂණ සහිත ව්‍යවස්‌ථාවන් ගැන පසුගිය දිනවල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නිර්මාණය සඳහා මූලිකත්වය ගත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවට පත්ව සිටින නව ඇමරිකානු තානාපති අතුල් කෙෂප්ගේ පසුගිය කාලයේ ප්‍රකාශවලින් ඉඟි පළවී තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා ඒ සම්බන්ධයෙන් විවිධ දේ පවසා තිබේ. නව ඇමරිකානු තානාපති අතුල් කෙෂොප් ඉන්දීය සම්භවයක්‌ සහිත ඇමරිකානු ජාතිකයෙක්‌ වන අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකි. ඔහු 2014 වසරේදී ඇමරිකානු රජයේ නියෝජිතයකු ලෙස මෙරටට පැමිණි මොහොතේ මෙරට පුවත්පත් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ලංකාව ගැන සඳහන් කරමින් ඔහු ''පෙඩරල් ව්‍යවස්‌ථාව''යන යෙදුම පවා කීප වරක්‌ භාවිත කර තිබුණි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට පෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බවත් ඒ සඳහා සහය දීම ඇමරිකා එක්‌සත් ජනපදයේ අභිලාෂය බවත් එදා පැවසූ පුද්ගලයා අද ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පත්වී සිටී. මේ කිසිවක්‌ අහඹු සිදුවීම් නොවන බව අපගේ අදහසය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවට පැමිණ මෙරට පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේද ශ්‍රී ලංකාව 13 වැනි සංශෝධනයෙන් ඔබ්බට යායුතු බවය. 

විසිපස්‌ වසරකට පෙර එනම් 1990 මාර්තු 1 දා උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිවූ අන්නාමලෙයි වර්ධරාජා පෙරුමාල් ස්‌වාධීන ස්‌වෛරි ප්‍රජාතන්ත්‍රවාදී ඊලම් ජනරජය යෑයි කියමින් ත්‍රිකුණාමලයේ සිට ඊලම් රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කළේය. 

අනතුරුව ඔහු එවකට පැවැති රජයට ඉල්ලීම් 19 ක්‌ යොමු කර එකී ඉල්ලීම් වහාම ඉටු කළ යුතු බව පළ කළේය. ඊ. පී. ආර්. එල්. එෆ්. නමැති සංවිධානය බිහිකිරීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා පෙරුමාල් ගේ සියලු ක්‍රියාදාමයන් පසුබිමේ සිටියේ ඉන්දීය 'රෝ' ඔත්තු සේවාවයි.

අදත් මේ සියලු කාරණා අතරේ ඉන්දීය රෝ ඔත්තු සේවා මෙරට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව රහසක්‌ නොවේ. වගකිවයුතු පාර්ශව සියල්ල මේ අවස්‌ථාවේ විමසිලිමත්ව කට යුතු කළ යුත්තේ කවුරුන් බලයට පත්වුවත් අපට රටක්‌ ඉතිරි විය යුතු නිසාය.

http://www.divaina.com/2015/07/16/editor.html

Pic Source

0 comments: