Pages

Sunday, July 19, 2015

සියලුම ආගම් එකයි කියන මිත්‍යා දෘෂ්ඨියෙන් මිදෙන්න. මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

සයුරට වැටුණ කෙනා පිහිනා දූපතක්‌ පිහිටකොට, ගන්නවාසේ, තමා තමාව පිහිටකොට, පිළිසරණකොට ගන්න, ධර්මය පිළිසරණ කොටගන්න, එවිට පිංවත් ඔබ නුවණින් විමසා බලන්නේ ශෝක, වැලපීම්, දුක්‌, දොම්නස්‌ ඇති වෙන්නේ, කුමක්‌ නිසාද කියලයි. එවිට ඔබ නුවණින් දකිනවා. රූපය ආත්මය කොටගන්නවා, රූඵය මගේ කොටගන්නවා, රූපය තුළ මා සිටිනවාය කියලා ගන්නවා, නමුත් එය වෙනස්‌වෙන කොට, විපරිනාම වෙනකොට, ශෝක පරිදේව දුක්‌ දොම්නස්‌ ඇතිවෙනවා, වේදනාව ආත්මය කොටගන්නවා, වේදනාව තුළ මා සිටිනවාය කියලා ගන්නවා, වේදනාව වෙනස්‌වී යනකොට, විපරිනාම වෙනකොට, ශෝක, පරිදේව, දුක්‌ දොම්නස්‌ හටගන්නවා. රූප, වේදනාවන්ගේ අනිත්‍ය දුක්‌ඛ අනාත්මභාවය දියුණුකළ ප්‍රඥවෙන් දකින පිංවතා, දුක ප්‍රහානය කොට දමනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

දුක තුනී කර ගැනීමට යන ගමනේදී දුක නැතිකරන මාර්ගය වන ආර්ය අෂ්ඨාංගිකමාර්ගයට නිවැරැදි ආකාරයෙන් ප්‍රවිෂ්ඨවීම අත්‍යවශ්‍ය කරුණක්‌ වෙනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිවිසෙන, ප්‍රධාන දොරටුව වන සම්මාදිට්‌ඨියෙන් බැහැරව, වෙනත් ප්‍රවේශයන් ඔස්‌සේ ඔබ මාර්ගයට අවතීර්ණවීමට ගියහොත්, දුක නැතිකිරීම වෙනුවට, දුක වැඩිකර ගැනීමට තමයි පිංවත් ඔබට සිදුවෙන්නේ. වර්තමාන සමාජයේ බෞද්ධ ජනතාව තුළ, මේ අනතුර බොහෝම තදින් ක්‍රියාත්මක වෙන බවක්‌ පෙනෙනවා. මෙම අනතුර මතුවෙන්නේ කල්‍යානමිත්‍ර ආශ්‍රයේ ඇති දුර්වලතාවයන් නිසාමයි. බුදුරජාණන් වහන්සේ ඉහත අනතුර මතුකොට පෙන්වන බොහෝම වටිනා ධර්මත් දේශනා කොට තිබෙනවා. එම ධර්මය තමයි යමෙක්‌ ශීලයෙන් පරිපූර්ණ වුවද, ඔහු තුළ චිත්ත විශුද්ධිය සහ ප්‍රඥ විශුද්ධිය නැතිනම් ඔහු මරණින් මතු දුකට වැටෙයි කියලා. තෘෂ්ණාව ගැන දුක ගැන කතාකරන කොට ඉහත වටිනා ධර්මය තුළ වර්තමාන සමාජයට සිතන්න, ගොඩක්‌ දේවල් තිබෙනවා. මෙතනදි චිත්ත විශුද්ධිය සහ ප්‍රඥ විශුද්ධිය කියලා දේශනා කරන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගයේ ප්‍රඥවට අදාල අංග දෙක වන සම්මාදිට්‌ඨිය සහ සම්මා සංකප්පයනුයි.

වර්තමාන සමාජයේ සම්මා දිට්‌ඨියෙන් සහ සම්මා සංකප්පයන්ගෙන් අර්ථයෙන් බැහැරව ශීලය ජීවිතයට එකතුකර ගැනීමේ දැඩි වෑයමක්‌ පෙනෙන්නට තිබෙනවා. මෙතනදි සම්මා දිට්‌ඨිය කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල විශ්වාසය, පටිච්චසමුප්පන්ව නැවත උපතක්‌ ඇතැයි විශ්වාසය, දන් දුන්නොත් සිල් රැක්‌කොත් එහි ආනිශංස තිබෙනවාය කියන විශ්වාසය අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, ඕපපාතිකව ඉපදෙන සත්වයන් සිටිනවාය කියන විශ්වාසය, මාර්ගඵලලාභි උතුමන් සිටියාය කියන විශ්වාසය ඒ වගේම සම්මා සංකප්පයන් කියල කියන්නේ අවිහිංසා සංකප්පය, අව්‍යාපාද සංකප්පය, නෙක්‌ඛම්ම සංකප්පය, ඉහත මාර්ග අංග දෙකේ අර්ථයෙන් පෝෂණය වුන ශීලයයි, සම්මා සතිය තුළ, පිංවත් ඔබව ශක්‌තිමත්කොට දෙන්නේ.

බුදුරජාණන් වහන්සේ ශීලයට අදාළව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග තුනක්‌ වෙන්කරනවා, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියලා. වර්තමාන සමාජයේ බහුතරයක්‌ පිංවතුන්ලා, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ, සම්මා දිට්‌ඨිය නමැති ප්‍රධාන දොරටුව මගහරිනවා, ඒ නිසාම, සම්මා සංකප්ප කියන දෙවැනි දොරටුවත් මගහැරෙනවා, ප්‍රධාන දොරටු දෙකෙන්ම මගහැරලා සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවො කියන ශීලයට අයත් අංගයන්ට, අතුරු ප්‍රවේශයකින් ප්‍රවිශ්ඨවෙනවා. දැන් ඔහු තුළ ශීලයේ අර්ථයන් වැඩෙන්නේ, සම්මා දිට්‌ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයන්ගෙන් තොරවයි. මෙන්න මේ ක්‍රියාදාමය වර්තමාන සමාජය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. සම්මා දිට්‌ඨියෙන් තොර, ශීලයේ ආශ්වාදය නිසාම ඉහත අනතුරින් පින්වත් ඔබට තව තවත් සියුම්ව දුක දෙසට කොටුකරනවා.

සමහරක්‌ පිංවතුන් මාංශ නිර්මාංශ ප්‍රශ්නය නිසා සමාජය තුළ තර්ක විතර්ක කරනවා. තමන්ගේ මතයට එකඟ නොවන අයට, චෝදනා කරනවා. ද්වේෂ කරනවා, මානසිකව හිංසාවට පත්කරනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මය සමග ගලපා දකින්නේ නැහැ. නමුත් මේ පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්‍ෂා කරන පිංවතුන්, ඒ පිළිබඳව කිසිම සැකයක්‌ නැහැ. එම පිංවතුන් ශීලයෙන් පරිපූර්ණයි. නමුත් සම්මාදිට්‌ඨියෙන්, සම්මා සංකප්පයන්ගෙන් එම ශීලය පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධියත් ප්‍රඥ විශුද්ධියත් ඒ පිංවතුන්ලා තුළ නැහැ.

බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනාකොට තිබෙනවා බුදුරජාණන් වහන්සේ නමක්‌ පහලවෙන්නේ දඹදිව පමණක්‌ය කියලා. නමුත් සමහර පිංවතුන් සිටිනවා බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවීම, ඉන්දියාවේ සිදුවූ බව දැඩිව ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් මේ පිංවතුන් සිල්පද පහ හොඳින් ආරක්‍ෂා කරනපිංවතුන්ලා, මොකද මේ වෙලා තිබෙන්නේ. එම පිංවතුන්ලාගේ ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණය වෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය ප්‍රඥ විශුද්ධිය සකස්‌වීමක්‌ නැහැ.

සමහර බෞද්ධ පිංවතුන්ලා සිටිනවා ඒ අය කියන්නේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා. ඒ පිංවතුන්ලාට තේරුමක්‌ නැහැ. පන්සලේ, පල්ලියේ, කෝවිලේ එකම පහන දැල්වුනද, ඒ පහන් දල්වන පිංවතුන්ගේ අරමුණු විශ්වාසයන් වෙනස්‌ බව. පන්සලේ පහන දල්වන්නේ නික්‌ලේෂි බුදුරජාණන් වහන්සේ අරමුණුකොට, නිවන් මාර්ගය අරමුණු කොට පහන් දැල්ලේ අනිත්‍යභාවය අරමුණුකොට නමුත්, පල්ලියේ, කෝවිලේ පහන් දල්වන්නේ ඒ ආගම්වල විශ්වාසයන් අරමුණු මුල්කරගෙන. එම නිසා මේ පිංවතුන් තුළ සකස්‌වෙන චේතනාවන් එකිනෙකට වෙනස්‌ වෙනවා. ඒ පිංවතුන්ලා සර්ව ආගමක්‌ ගැනයි කතාකරන්නේ, සියලුම ආගම් එකයි කියලා. පන්සලත්, පල්ලියත්, කෝවිලත්, තුනම සරණයනවා. නමුත් මේ පිංවතුන් සිල්පද හොඳින් ආරක්‍ෂාකරන බෞද්ධ පිංවතුන්, මොකක්‌ද මේ වෙලාතිබෙන්නේ, තමන්ගේ ශීලය සම්මාදිට්‌ඨියෙන් පෝෂණයවෙලා නැහැ. ඒ නිසාම චිත්ත විශුද්ධිය ප්‍රඥ විශුද්ධිය දුර්වලයි.

සමහරක්‌ පිංවතුන් සිටිනවා තමන් හොඳින් ශිල්පද ආරක්‍ෂා කරමින්, තමන්ගේ ශීලය හුවාදක්‌වමින්, අනුන්ව හෙලා දකිනවා, විවේචනය කරනවා. වර්තමානයේ සමහරක්‌ ගිහි පිංවතුන්ලා සිටිනවා තමන්ගේ ශීලය වර්ණනා කරමින්, ස්‌වාමින් වහන්සේලාව හෙලා දකිනවා. ස්‌වාමින්වහන්සේලාට වඳින්නේ නැහැ. ගරු කරන්නේ නැහැ. පන්සලට යන්නේ නැහැ. ඒ වගේමයි සමහර ස්‌වාමින් වහන්සේලාත් සිටිනවා තමන්ගේ ශීලය හුවාදක්‌වමින්, අනෙක්‌ ස්‌වාමින් වහන්සේලාව හෙලාදකිනවා. කොන්කරනවා. ශීලයෙන් දුර්වල පුද්ගලයා තුළින් අපි දකින්න ඕනේ ඔහුගේ ශීලයේ දුර්වලභාවය නොව ධර්මයයි. එහෙම වුණොත් පමණයි අපට පුළුවන් වෙන්නේ ඔහු ඉදිරියේ ආදර්ශවත් වෙන්න. අපි රකින ශීලයේ ගුණාත්මකභාවය මතුකොට ගන්න. මෙහිදී උපසම්පදා ස්‌වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල උතුම් ප්‍රාතිමොක්‌ෂ ශීලයට අදාළව ඉහත කාරණය ගලපාගත යුතු වෙනවා. පිංවත් ඔබ, ශීලයෙන් දුර්වල අය සමග ගැටෙනවා නම්, එය ශීලයෙන් දුර්වල අයගේ වරදක්‌ නොවේ. පිංවත් ඔබ, සිල්වත්ය කියලා ගත්තාවූ දෘෂ්ඨියේ වරදයි. පිංවත් ඔබ සිල්වත්ය කියලා ගන්නා දෘෂ්ඨියෙන් මිදෙන්න. එවිට ප්‍රශ්නය සමථයකට පත්වේ. දිනක්‌ භික්‌ෂුව කැලෑ මාර්ගයක පිණ්‌ඩපාතයට වඩින විට තුවක්‌කුවක්‌ කරේ තියාගෙන දඩ මස්‌ වර්ගයක්‌ පොහොර උරයක දමාගත් දඩයක්‌කරුවෙක්‌ මුණගැසුනා. භික්‌ෂුව ඔහුට තෙරුවන් සරණයි මහත්තයෝ කියාගෙන වැඩියා, කැලයේ වැඩසිටි එක්‌ ස්‌වාමින් වහන්සේනමක්‌ සතෙකුට වෙඩිල්ලක්‌ තැබූ ගම්වැසියෙක්‌ව අල්ලාගෙන ගසක බැඳලා, වනජීවී නිලධාරීන්ට භාරදීලා ගමේ ප්‍රශ්නයක්‌ ඇතිකරගත් කතාවක්‌ භික්‌ෂුව ගම්මානයකදි අසා තිබෙනවා. අපේ ශීලයේ පරිපූර්ණ බව නිසාම, අපි දුශිල්වත්භාවය සමග ගැටුමට යනවා. ඇයි මේ විදියට සිද්ධවෙන්නේ, තමාගේ ශීලය සම්මා දිට්‌ඨයෙන්, සම්මා සංකප්පයන්ගෙන් පෝෂණයවෙලා නැහැ. ඒ නිසාම ඒ පිංවතුන්ලා තුළ චිත්ත විශුද්ධිය ප්‍රඥ විශුද්ධිය සකස්‌වෙලා නැහැ.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/07/19/feature05.html

0 comments: