Pages

Wednesday, July 29, 2015

වෙනම රටකින් මිස නොසැනසෙන, සහජීවනය අරහං, ෆෙඩරල් ඉල්ලන, බෙදුම්වාදී පරඬැල් නායකයෝ

දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලන්නේය යන පුවතක්‌ දැනගන්නට තිබේ. කොහාටද ඔවුන් මෙය ඉල්ලන්නේ? සුපුරුදු පරිදි, ප්‍රභාකරන් ඉල්ලූ පරිදි උතුරට සහ නැගෙනහිරට ය.

කොටියා, කොටියා බවට පත්වීමට කලින්, එනම් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සහ ඔවුන් සමඟ සිටි සෙසු දෙමළ අන්තවාදී කණ්‌ඩායම් එල්. ටී. ටී. ඊ. වීමට කලින් සිටියේ ෆෙඩරල් ස්‌ථාවරයේ ය. අන්තවාදී දෙමළ කණ්‌ඩායම් එල්. ටී. ටී. ඊ. ලෙස රූපාන්තරණය වූ පසුව ඉල්ලා සිටියේ වෙනම රාජ්‍යයකි.


දෙමළ සන්ධානයට හදිසියේ ෆෙඩරල් මතක්‌ වී චූන් වීම හදිසියේ ඇති වූ එකක්‌ බවට වරදවා වටහාගත යුතු නැත. මේ කල් යල් බලා ගත් තීන්දුවකි. ෆෙඩරල් කතන්දරේ "අලුත් පිටපත" දෙමළ සන්ධානය එළිදක්‌වන්නේ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වූ දිනයේය. එහිදී ආර්. සම්බන්ධන් කීවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කරන ෆෙඩරල් ක්‍රමයකට යැම තම අපේක්‍ෂාව බවයි. උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීම තමන්ගේ අපේක්‍ෂාව බවත් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි. මේ "බළලා මල්ලෙන් එළියට පැනීමක්‌" නොවේ. මල්ලෙන් එළියට පැන සිටි බළලා මීයන් ඇල්ලීමට පටන් ගත් අවස්‌ථාවය. 2009 අවුරුද්දට පෙර දශක තුනකට ආසන්න කාලයක්‌ මේ බළලා විවිධ වෙස්‌මුහුණු පැළඳ ගනිමින් ඊනියා නිජබිම් සංකල්පයක්‌ වෙනුවෙන් විවිධ උපක්‍රම ඇටවීය. පැහැදිලිවම කිව හැක්‌කේ මේ මොහොතේ, රටේ ඒකීයභාවයට අභියෝග කරන බටහිර බලවේගයන් නැවතත් අපේ රට සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ආරම්භ කර ඇති බවය. දෙමළ සන්ධානය මේ ගමන් කරමින් සිටින්නේ ප්‍රභාකරන් සමඟ දීග කෑ යුගයට නොව, ඊටත් එහා 1976 වඩුක්‌කොඩෙයි සම්මේලනයට ය. දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සිදුවන්නට යන දේ ගැන අපට බොහෝ ඉඟි සපයන්නේය. උතුරු නැගෙනහිර නැවත ඒකාබද්ධ කිරීම, දෙමළ භාෂාව මවු භාෂාව කරගත් ඒ ඒ ප්‍රදේශවල ස්‌වයං පාලනයක්‌ ක්‍රියාත්මක කිරීම, පොලිස්‌, ඉඩම් බලතල ඇතුළත් ස්‌වයං පාලනයක්‌ ක්‍රියාත්මක කිරීම ආදී සියල්ල අපට සිහිපත් කරන්නේ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය දරුණු වීමට පෙර අවධියයි.


2006 ඔක්‌තෝබර් 17 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරය පැයකට පමණක්‌ සීමා විය. ඒ දෙමළ සන්ධානයේ විරෝධතා හේතුවෙනි. ඔවුන්ගේ කෑකෝගැසීම් අතර මෙවැනි දේ කියෑවුණේය. "ඊළම පිළිගන්න", "අපේ මවුබිම බෙදන්න එපා" ("අපේ මවුබිම" යනු ඒකාබද්ධ උතුර නැගෙනහිරයි) "අපේ මවුබිම අපිට නැති කරන්න එපා", "ශ්‍රී ලංකා අධිකරණය අපි පිළිගන්නේ නෑ", "අපි ඊළාම් අධිකරණයක්‌ පිහිටුවනවා".... ඒ විරෝධතාවට හේතු වුණේ ඊට පෙර දිනයේ ජවිපෙ විසින් ගොනු කළ පෙත්සමකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද ඓතිහාසික "නඩු තීන්දුව" යි. හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන උතුර නැගෙනහිර පළාත් එක්‌කරමින් 1988 සැප්තැම්බර් අටවැනිදා නිකුත් කරන ලද අංක 522/9 දරන අතිවිශේෂ ගැසට්‌ පත්‍රය නීති විරෝධී බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය නැගෙනහිරට වෙනම පළාත් සභාවක්‌ පිහිටුවා වෙනම ආණ්‌ඩුවක්‌ ද පත්කළ යුතු බවට නියෝග කළේය.


ඒ උතුර නැගෙනහිර නැවත ඒකාබද්ධ කරන්නට යෑයි කියමින් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්‌වමින් නටන්න යන නාඩගමේ ඉදිරි අංග අතිශය පැහැදිලිය. තමිල්නාඩුවේ රාමේෂ්වරම් ප්‍රදේශයෙන් සයනයිඩ් තොගයක්‌ සමඟ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු හමුවීම හා "ප්‍රතිපත්ති" ය අතර ඇති සබඳතාව ගැන වැඩිමනක්‌ සඳහන් කළ යුතු නැත. දෙමළ ජනතාවට එල්. ටී. ටී. ඊ. ය මුල් කාලයේ සංවිධානය වන කාලයේ තිබූ ප්‍රශ්න බොහෝමයක්‌ යුද්ධය අවසන් වන විටත් නිරාකරණය වී තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක්‌ ලෙස ද පිළිගෙන තිබේ. අප විශ්වාස කරන්නේ දෙමළ ජනතාවට නැති ප්‍රශ්න දෙමළ සන්ධානයට ඇති බවය. ප්‍රභාකරන්ගේ ද්‍රවිඩ රාජ්‍ය සංකල්පය තවදුරටත් වලංගු නොවන කාරණයක්‌ බව පිළිගන්නේ නැත්තේ දෙමළ සන්ධානය හා රටේ ඒකීයභාවයට අභියෝග කරන බටහිර බලවේගයන් පමණි.


එල්. ටී. ටී. ඊ. ය පැරදවූ බව සැබෑවකි. ප්‍රභාකරන් සංකල්පය නැසීම තරමක්‌ අසීරු කාරණයකි. ඊට හේතුව වන්නේ ඒවාට උඩගෙඩි දෙන දෙමළ මෙන්ම සිංහල ෆෙඩරල් අප්පුලා ද සිටින බැවිනි. දෙමළ සන්ධානය මේ ප්‍රකාශය කරන්නේ ජුලි මාසයේය. ජූලිය ඉතිහාසගතය. අපේ ප්‍රාර්ථනාව මෙවැනි දේ නිසා නැවතත් එක්‌දහස්‌ නවසිය අසූතුනේ ජූලියක්‌ නොඑළඹේවායි යන්නය.


http://www.divaina.com/2015/07/29/editor.html


Pic Source

0 comments: