Pages

Wednesday, November 13, 2013

සුපිරි බූරු පිටිය සමඟ පැන නැඟි සුපිරි රජකාරී අවශ්‍යතා

මුදල් ඔට්‌ටුවට බූරුවා ගැසූ ලංගම සේවක පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පසුගිය ඉරිදා (10දා) රත්මලානේ පොලිසියට හැකිවිය. දැන්, මේ පොලිසියේ සියලු දෙනාම මාරු කිරීමට කාලය පැමිණ තිබේ. ඔවුන් මාරු කළ යුත්තේද ළඟ - ළඟ තැන්වලට නොව අම්පාර, කල්මුණේ, මුලතිව්, කිලිනොච්චි වැනි ප්‍රදේශවලටය.

අප මෙසේ කියන්නේ ඇයි? පසුගිය සතියේදී ටවුන්හෝල් බූරුපොළ වැටලූ පොලිස්‌ නිලධාරීන්ද ඉතා දුර පළාත්වලට මාරුකළ නිසාය. එසේ මාරු ලැබූ නිලධාරීන් ගණන 23 දෙනෙකි. ටවුන්හෝල් බූරුපොළ ඉතා සුන්දර ඉතා ධනවත් කාන්තාවක විසින් පවත්වාගෙන ගිය තැනකි. බූරුපොළ පොලිසිය විසින් වටලන ලද කල්හි ඒ කාන්තාවගේ උදව් ලබන, ඒ කාන්තාවටද උදව් කරන පඟර නැට්‌ටෙක්‌ මැද්දට පැන්නේය. මුලදී ලී හොරකමකටද පසුව මුදල් වංචාවකටද හසුවූ මේ පඟරා අනුන්ගේ මල්වට්‌ටිවලට අත ගසා පින් ඉල්ලීමට සැරසෙන කෙනෙක්‌. පක්‍ෂයෙන් පක්‍ෂයට පැන පැන සිටි ඔහු 2005 දී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට වැඩකරන බව පෙන්නා මේ රටේ නායකයන් රවටා තැනක්‌ ලබා ගත්තේය. යුද්ධයට ඔහු කළ කිසිදු මඟුලක්‌ නැති නමුත් යුද්ධය පිළිබඳ ප්‍රවෘත්ති අංශයට අතදමාගෙන සිටියේය. මේ අතර රාජපක්‍ෂවරු යුද්ධය ජයග්‍රහණය කරවා රට නිදහස්‌ කර ගත්හ. ජයග්‍රාහකයන් සමඟ එකට හිටගත් ඔහු තමාද ජයග්‍රාහකයකු බව වාර්තා කරගත්තේය.

මෙවැනි මිනිසකුට පොලිසියක්‌ එහෙම පිටින්ම මාරු කිරීමට තරම් බලතල ඇත්නම් එයින් පෙනී යන්නේ රට මහත්සේ පරිහානියට පත්වූ බවකි. එහෙත් සත්‍යය නම් ඔහුට එවැනි කිසිදු බලයක්‌ නැති බවයි. ඔහු තමාට බලය ඇති බව පෙනෙන පරිදි හැසිරෙයි. ඒ සඳහා ඔහු රටේ ප්‍රධානීන් සමඟ එක පෙළට සිටගෙන ඡායාරූපවලට මුහුණ දෙයි. මෙවිට, ඔහුට වඩා බලතල බොහෝ ඇති, ඔහුට වඩා බොහෝ දැනුවත්කම් ඇති අය රැවටෙති.

ටවුන්හෝල් බූරුපිටිය වැටලූ පොලිස්‌ නිලධාරීන් මාරු කිරීමෙන් පොලිස්‌ දෙපාර්තමේන්තුව විශාල වරදකට ඉඩ හැර තිබේ. ඉතාම කනගාටුදායක වන්නේ ඉතා අවංක, දේශපාලනඥයන්ගේ කුණුවැඩවලට නොනැමෙන, අවංක මිනිසකු වූ පොලිස්‌පති ඉලංගකෝන් ගේ කාලයේදී මේ මාරු කිරීම සිදුවීමය. ඔහු මේ මාරු කිරීමට සම්බන්ධ නැති බව අපි දනිමු. ඔහුට එය වැළැක්‌වීමට හැකියාවක්‌ නොවූ බවත් අපි දනිමු. එහෙත් ඔහු කවදා හෝ දවසක රාජ්‍ය සේවය හැර යන දවසට ආපසු හැරී බලනු ඇත්තේ ඉමහත් කලකිරීමට පත්වූ මිනිසකු ලෙසය. ඔහු පමණක්‌ නොව ටවුන් හෝල් බූරුපොළ වටලා මාරු ලැබ සිටින සියලුම පොලිස්‌ නිලධාරීන්ද මතු දිනයෙක සේවයෙන් සමුගන්නවා ඇත්තේ ඉමහත් කලකිරීමෙන් යුතුවය.

අප ඉදිරිපිට ඇත්තේ අනාගතයක්‌ ඇති රටකි. පුරා තිස්‌ අවුරුද්දක්‌ ආපස්‌සට ගමන් කළ මේ රට අද සිය ඉදිරිගමන අරඹා තිබේ. අපි ශක්‌තිමත් ජාතියක්‌ බවට පත්වීමේ ප්‍රථම පියවර තබා සිටින්නෙමු. යුද්ධයෙන් පසු අරඹන මේ ගමනේදී අපට බොහෝ බාධක හමුවිය හැකිය. එසේම විෂබීජද හමුවිය හැකිය. ටවුන්හෝල් බූරුපොළේ පඟරා ද එවැනි විෂබීජයකි. එකී බූරුපොළ වැටලූ අය මාරු කළේ නම් රත්මලානේදී බූරුවා ගැසූ සී. ටී. බී. සේවකයන් වැටලූ පොලිස්‌ නිලධාරීන්ද මාරුකළ යුතුමය. මේ අසාධාරණය ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානයට යොමු වේවා යයි ප්‍රාර්ථනය කරමු.

http://www.divaina.com/2013/11/12/editor.html

සබැඳි ලිපි -
[
අපරාධ මර්ධනයට උපහාර! සුපිරි බූරුපිටිය වැටලූ පොලිසියේ 23ට සුපිරි මාරුවක්‌http://denethharinna.blogspot.com/2013/11/23.html
]

0 comments: