Pages

Friday, June 5, 2015

සෝමලතා සුබසිංහ නික්‌ම ගියාය...

විරාගය එකොළොස්‌වැනි වරටත් නැරඹුවෙමි. ඒ පසුගිය සිකුරාදා (30 දා) රාත්‍රියේ රූපවාහිනි චැනලයක්‌ ඔස්‌සේය. නැරඹූ එක්‌ එක්‌ වාරවලදී එක්‌ එක්‌ චරිත කෙරෙහි අවධානය යොමුකළ මගේ සිත මෙවර නතර වූයේ අරවින්දගේත්, මේනකාගේත් මව වෙතය.

සෝමලතා සුබසිංහ... අරවින්දගේ මව ලෙස රඟපෑවාය. මවක්‌ තම දරුවන් සමග අමනාපවී ඔවුන් අතැර ... කොහේ හෝ යන්නට යනවා නම්... එය කොතරම් ඛේදවාචකයක්‌ද? මේනකා සමග අමනාපවී මව... සෝමලතා සුබසිංහ සිය ඇඳුම් සූට්‌කේසයක බහා බක්‌කි කරත්තයක නැඟ යන්නට යන දර්ශනය... හිතට තරමක වේදනාවක්‌ ගෙන එන්නක්‌ විය. මේනකාගේ පුංචි දරුවාගේ... මුණුපුරාගේ හිස අතගා ඈ යද්දී දැනුණු දුක තවත් වැඩිවිය.

පසුදා සෙනසුරාදා උදේ වරුවේ මගේ සොහොයුරාගෙන් කෙටි පණිවිඩයකි. සෝමලතා සුබසිංහ මියගිය පුවත එහි සටහන් විය. පෙරදා රැයේ විරාගයේ අරවින්දගේ නිවසෙන් සෝමලතා සුබසිංහ පිටව යද්දී හිතට දැනුණු වේදනාව... ඈ සදහටම ජීවිතය හැරදමා ගිය බව දැනගත් මොහොතේ... යළි දැනිණි. දෙගුණ තෙගුණ වී දැනිණි.

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙන කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා...

අප ළමා වියේදී සෝමලතා සුබසිංහව පළමුව දුටුවේ 'මූදු පුත්තු' නාට්‍යයේ ඒ ගීතමය දර්ශනය සමගිනි. ඒද රූපවාහිනිය තුළිනි. ඉන්පසු ඈ ළමා අපේ සිත බැඳ ගත්තේ.

නිල් අහස්‌ තලේ අගේ
නෑ වලාකුළු...
ලස්‌සනයි පුරා හඳේ
රැස්‌ විහිදිලා...

'මහගෙදර' චිත්‍රපටයේ දිගු වරලස මුදාහරිමින්... ඈ කළ විශිෂ්ට රංගනය.... අදත් අමතක නැත.

ඇගෙන් රංගන ශිල්පය හැදෑරුවෝ බොහොමයක්‌ අද ක්‍ෂේත්‍රයේ ඉහළින් වැජඹෙති. දස්‌කම් පෙන්වති. චාන්දනී සෙනෙවිරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය ඒ අය අතරින් දෙදෙනෙක්‌ පමණි. ඇගේ සිසු දරුවන්ද ඇයට දරුවන් මෙනි. දරුවෝ... ඈ සැමට අමතන ආදරණීය ඇමතුමයි. ඇගෙන් නාට්‍ය කලාව ඉගෙන නොගත්තද... ඈ හමුවූ අවස්‌ථා කීපයකදීම මාද ඈ ඇමතුවේ සෝමලතා මිස්‌ යනුවෙනි. මාද ඇයට 'දරුවෙක්‌' විය.

අවසානයේදී මා ඇය හමුවූයේ මීට මාස හතකට අටකට පෙරය. ඒ ද ඇය තරමක අසනීප ගතියෙන් පසුවෙද්දීය. දියණිය කෞශල්‍යාගේත්, බෑණනුවන් චන්දනගේත් කැමැත්ත මත මමත් රමේෂ් උවයිස්‌ සොහොයුරාත් අප පුවත්පත් වෙනුවෙන් සෝමලතා මිස්‌ සමග කතා කළෙමු. ඇය රාත්‍රි අට නමය වනතුරු පැය තුනක හතරක වේලාවක්‌ අප සමග කතා බහ කළාය. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ඇසුර, විදෙස්‌ අධ්‍යාපනය ගැන ඉතා ආසාවෙන් කතා කළ ඕ හැම අවස්‌ථාවකදී මෙන්ම එදාද අප රටේ ළමයින්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ කතා කළේ සංවේගයෙනි. ඈ ළමයින් වෙනුවෙන් බොහෝ දේ සිතූ පැතූ ශිල්පිණියකි. 'විකෘති' තුළින් ද ඒ බව පෙන්වූ ඕ ළමා හා යොවුන් රංග පීඨය අරඹමින් දරුවන් උදෙසා සිය කාලය ශ්‍රමය කැප කළාය.

'රන්මලී', 'තොප්පි වෙළෙන්දා', 'පුංචි අපට දැන් තේරේ', 'හිමකුමරිය' යන ළමා නාට්‍ය හදමින් දරුවන්ට පෙන්වූ ඈ නාට්‍යකරණය සහ ජනසම්ප්‍රදාය පිළිබඳ පරිණත දැනුමකින් සන්නද්ධව සිටියාය. දරුවන් උදෙසා ඇරඹූ ළමා හා යොවුන් හා රංගපීඨය ඇගේද ආශිර්වාදය මැද පසුකලෙක කෞශල්‍යා චන්දන දරුවන් විසින් කරගෙන යන ආකාරය දෙස බලමින් ඈ සතුටු වුණාය. ඒත් ඉතිං මෙයාලගේ සමහර පිස්‌සු දේවල්වලට නම් මම කැමැති නෑ... මම කෑගහනවා. එතකොට වරද හදා ගන්නවා. ඈ සිනාසෙමින් එදා අපට කීවාය.

'අපි අපේ දරුවන්ගේ මනස හදා ගන්න ඕනේ. ඒත් ඉතිං කොහොමද ඊට කලින් මේ ප්‍රතිපත්ති හදන මහඋන්ගෙ මොළ ගෙඩි ටික හදන්න වෙලානේ...' ඈ විටෙක දෝෂාරෝපණය කළාය.

නැත... ඇය මනස යහපත් ලෙස හැදූ දරුවන් රැසක්‌ අද සමාජයේ සිටිති. ඇගේ ගෝලයන්... ළමා හා යොවුන් රංග පීඨයෙන් සිප් නැණ ලබාගත් දරුවන්... සෝමලතා මිස්‌ගේ ප්‍රාර්ථනා ඉටුකරනු ඇත. ඒත් ඈ වන් ශ්‍රෝෂ්ඨ රංගන වේදිනියක... නාට්‍යවේදිනියක නැති අඩුව නම් කිසිවෙකුට සම්පූර්ණ කළ නොහැක.

ඇගේ නිසල දේහය ආදාහනාගාරයට ඇතුළු කිරීමට මොහොතකට මත්තෙන් ප්‍රසන්නජිත් අබේසූරිය ඉල්ලීමක්‌ කළේය. 'මිස්‌... දැන්ම නිවන් යන්න එපා... ආයෙත් අප අතර ඉපදෙන්න... අපේ දරුවන්ට ශිල්ප ඤාණය ලබා දෙන්න අප අතරම ඉපදෙන්න...' ආත්මාර්ථකාමී ඉල්ලීමක්‌ වුවත්.... සෝමලතා මිස්‌ ඒ ඉල්ලීමට එකඟ වේවි.

ඡායාරූප-ක්‍රිෂාන් කාරියවසම්
http://www.divaina.com/2015/06/05/cineart02.html

0 comments: