Pages

Tuesday, June 9, 2015

ශ්‍රී ලංකා ටෙලිකොම් මෙරට ප්‍රථම තාක්‌ෂණික විශ්වවිද්‍යාලය ආරම්භ කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ වශයෙන් අනුබද්ධ ආයතනයක්‌ වන ශ්‍රී ලංකා තාක්‌ෂණික විශ්ව විද්‍යාලය පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කිරීමට එම සමාගම කටයුතු කළේ ය. ශ්‍රී ලංකා ටෙලිකොම් යනු වසර 150 කට අධික ඉතිහාසයක්‌ සහිත සමාගමක්‌ වන අතර එය මෙරට විශාලතම දුරකථන සේවා සම්පාදකයාද වේ. මෙම විශ්ව විද්‍යාලය සමගින් මෙරට තාක්‌ෂණ අධ්‍යාපනයේ දියුණුවට දායක වීම සමාගමේ අපේක්‌ෂාව වී ඇත. 

මෙහි සමාරම්භක උත්සවය පසුගියදා මරදානේ TRACE Expert City හිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති පී. ජී. කුමාරසිංහ මහතා සහ ශ්‍රී ලංකා තාක්‌ෂණික විශ්ව විද්‍යාලය (පුද්.) සමාගමේ [Sri Lanka Technological Campus (Pvt.) Ltd.]ප්‍රධාන විධායක නිලධාරී රංජිත් ජී. රූබසිංහ යන මහත්වරුද සහභාගි වූහ. 

<--- ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා තාක්‌ෂණික විශ්ව විද්‍යාලය විවෘත කිරීමේ අවස්‌ථාවේදී සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වමින්. 

නිසි වෘත්තීය සුදුසුකම් සපිරූ පුද්ගලයන් සඳහා මෙරට සියලුම රැකියා ක්‌ෂේත්‍රවල ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකා තාක්‌ෂණික විශ්ව විද්‍යාලය ආරම්භ කර ඇත්තේ මෙම ඉල්ලුම සපුරාලීමේ අරමුණිනි. මේ ඔස්‌සේ සිසු සිසුවියන්ට ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි මට්‌ටම්වල සුදුසුකම් ලබාගැනීමේ හැකියාව ලැබෙන අතර ලොව පිළිගත් විශ්ව විද්‍යාල මගින් පිරිනමනු ලබන පාඨමාලා හැදෑරීමේ අවස්‌ථාව ඔවුන්ට උදා වේ. එමෙන්ම මෙම තාක්‌ෂණික විශ්ව විද්‍යාලය මෙරට සමාගමක පිටුබලය ලබන ප්‍රථම විශ්ව විද්‍යාලය වීම තවත් විශේෂත්වයකි. 

විදේශ විශ්ව විද්‍යාල මගින් පිරිනමන උපාධි පාඨමාලා ඇතුළුව ජාත්‍යන්තර තලයේ සුදුසුකම් පිරිනමන සිවු අවුරුදු ඉංජිනේරු උපාධි පාඨමාලා පිරිනැමීමට ශ්‍රී ලංකා තාක්‌ෂණ විශ්ව විද්‍යාලය පියවර ගෙන තිබේ. ඉදිරියේදී පරිගණක හා ව්‍යාපාර කළමනාකරණ උපාධිද හඳුන්වා දෙමින් එහි පාඨමාලා පරාසය තව තවත් පුළුල් කිරීමට පාලනාධිකාරිය කටයුතු කරමින් සිටී. පර්යේෂණ කෙරෙහි වැඩි අවධානයක්‌ යොමුකරමින්, සිසුන් කේන්ද්‍ර කරගත් සහ ප්‍රතිඵල මූලික කරගත් ඉගැන්වුම් ක්‍රමවේද භාවිතා කරන මෙරට ප්‍රථම අධ්‍යාපන ආයතනය බවට මෙම විශ්ව විද්‍යාලය පත්වනු ඇත. මෙම ක්‍රමවේද නිසා පාඨමාලා සම්පූර්ණ කරන සිසු සිසුවියන් හට ඉක්‌මනින්ම රැකියා ලබාගැනීමේ හැකියාව ලැබේ. 

පාදුක්‌ක ප්‍රදේශයේ පිහිටි, දැනට භාවිතා නොවන චන්ද්‍රිකා පෘථිවි මධ්‍යස්‌ථානය මෙම තාක්‌ෂණ විශ්ව විද්‍යාලයේ කටයුතු සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු යොදා ඇත. අක්‌කර 35 ක ප්‍රදේශයක්‌ පුරා පැතිරුණු මෙම පරිශ්‍රය අති-නවීන ශ්‍රවණාගාරයක්‌ ඇතුළු තවත් පහසුකම් රැසකින් සමන්විත වන අතර එහි සිසු සිසුවියන් 300 දෙනකුට පමණ අධ්‍යාපනය ලැබිය හැකි වේ. පාඨමාලාවලට අදාළ අධ්‍යයන කටයුතු හා පර්යේෂණ සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් මෙම පරිශ්‍රය තුළ පිහිටා ඇත.

http://www.divaina.com/2015/06/08/velanda02.html

0 comments: