Pages

Wednesday, June 3, 2015

ප්‍රංශ ජාතිකයන් අගයන අපේ උරුමයක අසිරිය - සුදු මහත්තයාගේ සිංහල කෞතුකාගාරය

බෞද්ධ දර්ශනය මත පදනම් වූ සංස්‌කෘතියක්‌ ඇති ශ්‍රී ලංකාවෙ ලොව රටවල් අභිභවා ශේ්‍රෂ්ඨත්වයට හා අභිමානයට ලක්‌ව ඇත්තේ ඒ සංස්‌කෘතික ගති ලක්‍ෂණ හා ඒ තුළින් බිහි වූ විවිධ නිර්මාණ නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව හා ප්‍රංශ භාෂාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය ජැක්‌කුයස්‌ සී. සූලී මහතා සඳහන් කරයි. "මම මේ සංස්‌කෘතියේ තිබෙන අභිමානයට හා ගති ලක්‍ෂණවලට මහත්සේ ඇලුම් කරනවා. ලෝකයේ අන් රටවලට නොදෙවැනි ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියක්‌ ශ්‍රී ලාංකීය ජනතාවට උරුම වී තිබෙනවා. ඒ සංස්‌කෘතිය තුළ බිහි වී ඇති කලා නිර්මාණ බිතුසිතුවම්, කැටයම් ආදී බොහෝ දේවල් සුවිශේෂී බවක්‌ දක්‌නට ලැබෙනවා. මම මේකට කොච්චර වශී වුණාද කියනවා නම් මේ සංස්‌කෘතිය තුළ අතීත මුතුන් මිත්තන් පරිහරණය කළ භාණ්‌ඩ හා පොත්පත් එකතු කර අනාගත ලෝකවාසීන්ට එයින් යමක්‌ ඉගෙන ගන්න ලබා දීමේ සිතිවිල්ලක්‌ පහළ වුණා. ඒ අනුවයි සූර්යකාන්ත කලා හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය බිහි වූයේ" යෑයිද ආචාර්ය ෙ-. සී. සූලී සඳහන් කළේය.

සුදු මහත්තයෙක්‌ අපේ පරණ වලව්වක කෞතුකාගාරයක්‌ හදලා" යෑයි අපට දැන ගන්නට ලැබුණු පසුව "දිවයින" පාඨකයන් වෙනුවෙන් අප මේ සුදු මහත්තයා කරගෙන යන "අපේ කෘතුකාගාරය" සොයා ගෙන ගියෙමු. මහනුවර පැණිදෙණිය දවුලගල මාර්ගයේ අලපලාවල ප්‍රදේශයේ පිහිටි මේ කෞතුකාගාරය නම්කර ඇත්තේ සූර්යකාන්ත කලා හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය ලෙසය. 

අප මෙහි යන විට වලව්වේ ඉදිරිපස ගේට්‌ටුව වසා තිබුණද පැරැණි ගෘහ නිර්මාණයක්‌ වූ මෙම වලව්ව කෞතුක වස්‌තුවක්‌ බව ඈතින් සිට බැලූ අපට වටහාගත හැකි විය. ගේට්‌ටුව අසල අප රැඳී සිටිනු දුටු මේ වලව්වේ පිරිමි ඉලන්දාරියකු පැමිණ අපගෙන් කරුණු විමසා වලව්ව තුළට කැඳවා ගෙන යද්දීම එතුළින් මතු වූ චාම් එහෙත් ගාම්භීර පුද්ගලයා අප සොයා ආ තැනැත්තා විය යුතු යෑයි මම සිතුවෙමි. අපි නිවැරැදිය. ඔහු ඉතා ආචාරශීලීව අපට හඳුන්වා දී අපද හඳුනා ගෙන වලව්ව තුළට කැඳවා ගෙන ගියේය.

මේ වලව්වට ඇතුලළු වූ විට විවෘත කොරිඩෝව පුරාම අපේ මුතුන්මිත්තන් පරිහරණය කළ විවිධ භාණ්‌ඩ ඉතා අලංකාර ලෙස පිළිවෙළකට තබා ඇති අයුරු අපි දිටිමු. ගෙතුළේ ඉඩ ඇති හැම තැනම අප දැක්‌කේ අතීත ශ්‍රී ලාංකීය කලාකරුවන් අතින් නිමවූ අපේ මුතුන් මිත්තන් සිය ජීවන පැවැත්මට යොදාගත් බඩු භාණ්‌ඩය, ඇඳ, පුටුව මේසයේ පටන් මුළුතැන්ගේ හැඳි රඳවනය, කේතලය, කුරහන් ගල ආදී අතීත ශ්‍රී විභූතිය කියාපාන බඩු භාණ්‌ඩ දහස්‌ ගණනින් මේ වලව්ව පිරී ඇත.

"මම ලංකාවට ආවේ 1994 දෙසැම්බර් මාසයේදී. එතැන් සිට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී කටයුතු කළා. මට මතක හැටියට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූයේ 1997 පමණ. මගේ රාජකාරිය එහෙම වුණාට මේ නිවහනට, මම ලංකාවට ආව ගමන්ම ආවා. රෝහාන් ද සිල්වා මහතා මගේ මිත්‍රයෙක්‌. මේ වලව්ව ඔහුට අයත් එකක්‌. නාරංවල වලව්ව කියල තමයි මේක ප්‍රසිද්ධ. මම මෙතෙන්ට එන විට වලව්ව අභාවයට ගොස්‌ තිබුණා. එහි පැරැණි නිර්මාණවලට හානි නොවන්න මම ප්‍රතිසංස්‌කරණය කළා. ඒ වගේම මම මේ වලව්වේ තිබුණු පෞරාණිකත්වය නිසා ඊට ගැළපෙන දෙයක්‌ කරන්න හිතලා තමයි මේ කලා හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය පටන් ගත්තේ. වැඩේ පටන් ගත්තාම ඉඩ මදි නිසා වලව්වට අලුතින් ගොඩනැඟිල්ලක්‌ද එකතු කළා." යෑයි ආචාර්ය ෙ-. සී. සූලී මහතා සඳහන් කරයි.

උතුරු ප්‍රංශයේ (ඔමකමිe) ටියුලුස්‌ විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන ඇති සූලී මහතා ලංකාවට පැමිණ නාරංවල වලව්වේ ආරම්භ කර ඇති කලා හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ ඇති පුස්‌තකාලයද අපූර්ව එකකි. එහි පොත්පත් සඟරා 6000 කට අධික සංඛ්‍යාවක්‌ ඇති බවද සූලී මහතා සඳහන් කරයි. ආසියාතික රටවල සංස්‌කෘතිය කලාව හා ආගම් භාවිතයට අදාළ පොත්පත් රැසක්‌ මෙහි ඇත. මෙහි ඇතැම් පොත්පත් ක්‍රි.ව. 1600 - 1700 අතර කාලයේ ලියූ ඒවා බවද දක්‌නට ලැබුණි.

"මට හුඟක්‌ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා මිත්‍රත්වයෙන් උපකාර කළා. දේශීය හා විදේශීයව සිටින මේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා තමයි මට මේ පැරැණි භාණ්‌ඩ බොහොමයක්‌ සොයා ගන්න උදව් කළේ. ඒ වාගේම පැරැණි ශ්‍රී ලංකාවේ පිංතූර එකතුවක්‌ සිද්ධ වූයේ එහෙමයි. ආචාර්ය සූලී මහතා සඳහන් කරන අන්දමට මෙම මධ්‍යස්‌ථානයේ තොරතුරු දැනගෙන එහි යනෙන දෙස්‌ විදෙස්‌ උසස්‌ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් බොහෝය. ඇතැම් විදේශ සිසුන් ඇතැම් භාණ්‌ඩවල නිර්මාණකරණය පිළිබඳව මවිත වෙනවා. ඊටත් වැඩිය ඔවුන් පුදුම වන්නේ එම භාණ්‌ඩවලින් කෙරෙන කටයුතු ගැන ඇසූ විටයි. මෙම ස්‌ථානයට යනෙන අයට අපේ රටේ අතීත ශ්‍රී විභූතිය හා දියුණු ගෘහ කර්මාන්තයන් පිළිබඳව පුළුල් අවබෝධයක්‌ ලබාගත හැකියි.

අපේ රටේ අතීත සමාජයේ ප්‍රධාන ආර්ථික කර්මාන්තය වූයේ කෘෂිකර්මාන්තයයි. ඒ හා බැඳුණු විවිධ කර්මාන්ත හා කලාවන් බිහි වීමෙන් බෞද්ධ දර්ශනයෙන් ලද ආභාෂයද සමග අපට සංස්‌කෘතික අනන්‍යතාවක්‌ද ඇතිවී තිබේ.

අද අප ජීවත්වන නූතන සමාජයේ දියුණු තාක්‍ෂණය විසින් ආක්‍රමණය කොට අපගේ සංස්‌කෘතිය සභ්‍යත්වය ආදී සියලු දැ විනාශ කරමින් බටහිර පන්නයේ සංස්‌කෘතියක්‌ ගොඩනඟන්නට උත්සාහ කරමින් සිටී. ලෝකයේ බොහෝ රටවල් මේ නව ප්‍රවණතාවට ගොදුරු වී සිටියද අප රට ඊට ගොදුරු කර ගැනීම අසීරු වී ඇත්තේ මේ රටේ තවමත් බෞද්ධාගම අදහන බහුතරය ථෙරවාදී බුදුදහම නොනසා බල සම්පන්නව ආරක්‍ෂා කර ගැනීම නිසාය.

මම ප්‍රංශ ජාතිකයෙක්‌. මගේ පවුලේ අය සියලු දෙනා ප්‍රංශයේ ජීවත් වෙනවා. මම ලංකාවට ආවාට පස්‌සේ මේ රටේ අතීත තොරතුරු පිළිබඳ තොරතුරු ගවේෂණය කරල ඊට අදාළ සාක්‍ෂි එකතු කර ගත්තාම හිතෙනවා මේ රට කොතරම් උසස්‌ සංස්‌කෘතියක්‌ උසස්‌ කලාවක්‌ සඳහා හිමිකම් ඇති රටක්‌ද කියලා. අතීතයේදී මේ රට සශ්‍රීකත්වයෙන් පිරි පෞඪත්වයක්‌ තිබූ රටක්‌ බව පේනවා. මා මේ උත්සාහ කරන්නේ ඒ අතීත තොරතුරු සාක්‍ෂි සහිතව අනාගත පරම්පරාවට බෙදා හදා ගන්න අවස්‌ථාවක්‌ ලබා දීමටයි. මේ කටයුත්තේදී මම ගොඩක්‌ සතුටු වෙනවා යෑයි ආචාර්ය සූලී මහතා සඳහන් කරයි. 

සටහන හා ඡායාරූප - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/05/31/feature07.html

1 comments:

Anonymous said...

//මේ වලව්වේ පිරිමි ඉලන්දාරියකු පැමිණ// ගෑණු ඉලන්දාරිත් ඉන්නවද?