Pages

Tuesday, June 23, 2015

පදිකවේදිකාව පදිකයන්ට මිස වෙළඳුන්ට නොවේ! ඡන්දය වෙනුවෙන් වෙස් පෙරලූ මුසම්මිල්ට එරෙහිව සුන්දර කොළඹක් වෙනුවෙන් ප්‍රසන්න පෙරට!

පදිකවේදිකා ඇත්තේ පදිකයන්ට මිස වෙළදාම් කිරීමට නොවන බැවින් නැවත කොළඹ නගරයේ පදිකවේදිකාවේ වෙළදාම් කිරීමට වෙළදුනට ඉඩ ලබා නෙදෙන ලෙසත් ඒ සම්බන්ධයෙන් දැනට ඇති තහනම දිගටම කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් වන ලෙසත් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකොන් මහත්මියට දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් අද දින පලව ඇති පුවත්පත් වාර්තා කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මහ ඇමතවරයා මෙම දැනුම්දීම කර තිබේ.

පළාත් පාලන කොමසාරිස්වරියට මහ ඇමතිවරයා යැවූ ලිපියේ සදහන් වන්නේ නැවතත් කොළඹ පදික වේදිකාවේ වෙළදාම් කටයුතු ආරම්භ වුවහොත් කොළඹ නගරය තුළ මීට කලින් පැවැති ආකාරයේ ජනතාවට පීඩාකාරී පරිසරයක් ඇති වීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි. එබැවින්  කොළඹ නගරාධිපතිවරයාගේ මෙම උත්සාහයට බස්නාහිර පළාත් පළාත් පාලන විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට කිසිසේත් ඉඩ ලබා දිය නොහැකි  බව මහ ඇමතිවරයා විසින් යවනු ලැබූ ලිපියේ අවධාරණය කර තිබේ.

පදිකවේදිකාව ඇත්තේ පදිකයන්ට මිස වෙළදුන්ට නොවන බවත් පදිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නැවත කොළඹ පදික වේදිකාවේ වෙළදාම් කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් අදාළ ලිපියෙන් මහ ඇමතිවරයා කොමසාරිස් වරිය වෙත දැනුම් දී ඇත. එමෙන්ම මේ සම්බන්ධයෙන් ගත් පියවර දින 03 ක් ඇතුළත තමා වෙත දැනුම් දෙන ලෙස ද රණතුංග මහතා කොමසාරිස්වරියට දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ කොළඹ නගරය ගෙවුණු වසර 06 ක කාලය තුළ දී ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වූ සංචාරක නගර අතර ප‍්‍රථම ස්ථානයට පත්ව ඇති බවයි. සීඝ‍්‍ර සංවර්ධනයට ලක් වූ නගර අතර මාස්ටර් කාඞ්, ග්ලෝබල් ඩෙස්ට්නේෂන්, සිටිඉන්ඩෙක්ස් දර්ශකයට අනුව මුල් තැනට තේරී පත් වී ඇත්තේ ද කොළඹ නගරයයි. කොළඹ නගරයට මේ තැන ලැබුණේ පසුගිය රජය විසින් ගෙන ගිය කොළඹ ලස්සන කිරීමේ වැඩසටහන නිසා බව මහ ඇමතිවරයාගේ අදහසයි.

පදිකවේදිකාව තුළ වෙළදාම කිරීම නිසා පසුගිය කාලයේදී කොළඹ නගරය තුළ පදිකයෙකුට ගමන් කිරීමට පවා  නොහැකි තත්වයක් තිබිණි. ඔවුන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වූ අතර වෙනත් නීති විරෝධී කටයුතු ද පදික වෙළදාමට මුවා වී සිදු කෙරුණු බව රහසක් නොවේ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ නගරය ලස්සන කිරීමේ වැඩසටහන යටතේ පදික වෙළදුන්ට ඒ සදහා සුදුසු ස්ථාන ලබා දීමට පියවර ගත් බව ද රණතුංග මහතා පෙන්වා දෙයි.  ඒ අනුව කළ යුතුව ඇත්තේ එම වැඩපිළිවෙලින් කිසිවෙකුට අසාධාරණයක් සිදුව ඇත්නම් ඊට සුදුසු පරිදි සාධාරණය ඉටු කිරීම මිස කොලඹ නගරය ලස්සන කිරීමේ සමස්ථ වැඩපිළීවෙල විනාශ කිරීම නොවේ.

එදා නිහඩව සිටි කොළඹ නගරාධිපතිවරයා අද වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු මේ කැස කවන්නේ කුමකටදැයි පැහැදිලිය. මෙය ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පිට පොට ගැසීමකි. සිය පටු දේශපාලන උවමනාව වෙනුවෙන් කොළඹ නගරය හා පදිකයන්ගේ අයිතිවාසිකම් උගසට තැබීමට එක්සත් ජාතික පක්ෂය දරණ මේ උත්සාහය දැඩි ලෙස හෙලා දකින බවද බස්නාහිර පළෘත් මහ ඇමතිවරයා දැඩි ලෙස අවධාරණය කරයි.

මෙමගින් නැවත නැවතත් තහවුරු වන්නේ රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවේ ලැජ්ජා නැති කම බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

– ප‍්‍රදීප් අනුර කුමාර
https://lankacnews.com/sinhala/news/132872/

Pic Source

0 comments: