Pages

Friday, June 5, 2015

මේ සම්මානයේ ගෞරවය මගේ නිජබිමටයි - ප්‍රවීණ රංගධර, ආචාර්ය ජයලත් මනෝරත්න

ඉන්දියානු අන්තර්ජාතික බයිස්‌කෝප් සිනමා උළෙලේ හොඳම නළුවා මනෝරත්න...

ශ්‍රී ලාංකේය සිනමාවේ සලකුණ නැවත වතාවක්‌ ජාත්‍යන්තරයට රැගෙන යමින් ලෝක සිනමාවේ සම්මානයක්‌, ශ්‍රී ලංකා මාතාවගේ ගෙල පලඳවමින්, දේශයට ගෞරවය සහ අභිමානය දිනා දීමට හෙතෙම සමත්වී ඇත. ඉකුත් දා නිමාව දුටු ඉන්දියානු අන්තර්ජාතික බයිස්‌කෝප් සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍රව අපේ සිනමාවට නැවත වතාවක්‌ වසන්තය කැඳවූ ඒ අසහාය ප්‍රවීණ රංගධරයා වූයේ අන් කිසිවකු නොව, ආචාර්ය, ජයලත් මනෝරත්න නම් වූ සකල කලාවේම විකුම් පෑ අපේ රංගන ශිල්පියාය. මනෝරත්නයන්ගේ දශක ගණනාවක්‌ වූ කලා දිවියෙහි තතු මෙවන් කෙටි සටහනකින් සනිටුහන් කළ නොහැකි වුවත්, සම්මානිත වූ "සූවිසි විවරණ" සිනමා සිත්තම පිළිබඳව "දිවයින සිනමා කලා" මෙලෙස ඔහු සමගින් නිමේෂයක්‌ දොඩමළු වුණා. මේ, ඒ රසබර සංවාදයේ සංක්‍ෂිප්තයයි.

අපේ සිනමාවේ පිබිදීමක්‌ ඇති කළ "සූවිසි විවරණ" චිත්‍රපටය ගැන ඔබේ සතුට මුදා හරින්නේ කුමනාකාරවද....?

ඇත්තටම මම මගේ කලා දිවියේදී බොහෝ සෙයින් සතුටට පත් වූ අවස්‌ථාව මෙය කියා කියන්න කැමැතියි. අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සරත් ධර්මසිරි මහතා තමයි "සූවිසි විවරණ" චිත්‍රපටයේ නිමැවුම්කරුවා. මම මීට ප්‍රථමත් ඔහුගේ චිත්‍රපට කිහිපයක රඟපෑවා. මම මෙහිදී නිරූපණය කළේ ප්‍රධාන චරිතයක්‌. "ගණිතසාර" චරිතය තමයි මාව ප්‍රථමවරට ජාත්‍යන්තර සම්මානයකට රැගෙන ගියේ. රටවල් 35 ක්‌ පමණ චිත්‍රපට ඉදිරිපත් කොට තිබුණු උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන ලබමින් මගේ පුංචි රටට ගෞරවයක්‌ සහ කීර්තියක්‌ ගෙන දෙන්නට හැකිවීම පිළිබඳව මා නිහතමානීව ආඩම්බර වෙනවා.

ඒත් ඔබ සම්මානය ලබා ගන්නේ අපේ රටේදී....

ඔව්. උළෙල තිබුණේ ඉන්දියාවේ දිල්ලි නගරයේ. ඒත් මට එදා එයට සහභාගි වෙන්න බැරි වුණා. ඊට හේතුව තමයි එතැනදී මට සම්මානයක්‌ ලැබෙන බව නොදැන සිටීම. නමුත් ගිය මාසේ 27 වැනිදා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ වයි. කේ. සිංහ මහතා අතින් කොළඹදී පැවැති විශේෂ ප්‍රණාම උත්සවයකදී මා සම්මානය ලබා ගත්තා. දැන් මගේ වයස අවුරුදු 65 ක්‌. ඉතිං... සිනමාව කියන ගැඹුරු මාධ්‍යය තුළ කිමිදිලා බොහෝ අත්දැකීම් සහ අභ්‍යාසයන් ලබමින් මෙවැනි ප්‍රතිඵලයක්‌ භුක්‌ති විඳීමට ලැබීම මගේ කලා දිවියේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ කියලා නැවත සිහිපත් කරන්නට කැමැතියි.

"සූවිසි විවරණ" අපේ සිනමා ප්‍රේක්‍ෂකයන්ට දකින්නට ලැබෙන්නේ කවදාද?

මේ වසර අවසානයට ප්‍රථම අපේ රටේ සිනමා ශාලාවේ "සූවිසි විවරණ" දිග හැරෙයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මේ චිත්‍රපටය සරත් ධර්මසිරි සිනමාකරුවාගේ උසස්‌ නිර්මාණයක්‌ කියලා කිව හැකියි. ඒක අතිශයෝක්‌තියක්‌ නොවෙයි. බෙදාහැරීමේ ප්‍රශ්න නිසා තමයි චිත්‍රපටය ඉක්‌මනින් පෙන්වන්නට තියන මග ඇහිරී තිබෙන්නේ.

ඔබව දැකිය හැකි චිත්‍රපට පෙළක්‌ ඉදිරියේදී ප්‍රදර්ශනයට නියමිතව තිබෙනවා නේද?

ඔව්. සුමිත්‍රා පීරිස්‌ මහත්මියගේ "වෛශ්නාවී", ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ "හෝගාන පොකුණ", ඩොනල්ඩ් ජයන්තගේ "ප්‍රවේගය" සහ තරුණ නවක අධ්‍යක්‍ෂවරයකුගේ "සූම්" කියන චිත්‍රපට එන්නට තිබෙනවා. 

ඔබේ රංගන දිවියේදී හොඳම සහාය නළුවා ලෙස සම්මාන රැසකට හිමිකම් කීවා...

ඔව්. මම සිනමාවට ආවේ "හඳයා", "සිරිබෝ අයියා" වැනි චිත්‍රපට හරහා. ඒ ඇතුළුව "මංගල තෑග්ග", "සුදු කළුවර", "සුදු කළු සහ අළු", "බේරුණ්‌ඩ පක්‍ෂියා" සහ "ගිනි කිරිල්ලී" සිනමා සිත්තම් හි සිදු කළ රංගනයන් වෙනුවෙන් මා හොඳම සහාය නළුවා සම්මාන හිමි කර ගත්තා.

ඔබේ නිර්මාණකරණයන් ඔස්‌සේ වේදිකාවට දායාද කළ දේ බොහෝමයි. ලැබූ සම්මාන, ගෞරවයන් ද එමට බවයි අපි දකින්නේ. ඉතිං.... වේදිකාවට පෙම් බඳින්නන් වෙනුවෙන් අලුත් යමක්‌ කරන්නට සූදානමක්‌ තිබෙනවාද?

මම වේදිකාවට නිර්මාණයක්‌ රැගෙන එන්නේ වසර 3කට වරක්‌ විතර. පිටපත සකසා ගැනීමටත් අඩු තරමේ වසර එකහමාරක්‌වත් තිබිය යුතුයි. වේදිකාව වෙනුවෙන් අන්තිමට කළේ "සෙල්ලම් නිරිඳු" ඉතිං. මේ වසර අවසානයට ප්‍රථම තව හොඳ වේදිකා නාටකයක්‌ සමගින් මගේ දයාබර ප්‍රේක්‍ෂකයන් හමුවීමට බලාපොරොත්තු වෙනවා. 

"පුත්‍ර සමාගම", "තලමල පිපිලා" "ද්විත්ව", "සොක්‍රටීස්‌" සහ "රතු හැට්‌ටකාරී" හි රංගනයන් වෙනුවෙන් මම වේදිකාවේදී හොඳම නළුවාට සම්මානිත වුණා. හොඳම රචනය, හොඳම අධ්‍යක්‍ෂණයටත්, වසර 5ක්‌ සම්මාන ලැබුවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන 4ක්‌ හිමිකොට ගත්තා. ඒ "ගුරුතරුව", "අන්දරේලා", "සුදු රෙදි හොරු" සහ "සෙල්ලම් නිරිඳු" පිටපත් රචනය වෙනුවෙන්.

අද පවතින චිත්‍රපට බෙදා හැරීමේ ගැටලුවට ඔබටත් යම් විසඳුමක්‌ ඉදිරිපත් කළ හැකිද?

මම හිතනවා. ක්‍රමානුකූලව සංවිධානාත්මකව යම් ප්‍රමිතිකරණයකට ඇතුළත්ව වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළොත් මේ ප්‍රශ්නයට විසඳුමක්‌ සෙවිය හැකි බව. ඉතිං කළ යුත්තේ අවංකවම නිවැරැදි යාන්ත්‍රණයක්‌ බල ගැන්වීම පමණයි. ඒක අනුපිළිවෙළකට සිදු වුණොත් උඩින් පැනිලි අවසන් වෙනවා.

හැමෝටම සාධාරණය ඉටු වෙනවා. ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලයේ අනුමැතිය ඇතිව චිත්‍රපට වර්ගීකරණයක්‌ කළ යුතුව තිබෙනවා. එතැනදී නියමිත නියාමනයන් අනුපිළිවෙළට සිදුවුවහොත් මම කලින් කියූ සාධාරණය හැමෝටම ඉෂ්ට වෙනවා. එදා තිබුණු නිහාල්සිංහ යුගය උදාහරණයක්‌ හැටියට ගෙන හැර දැක්‌විය හැකියි.

බෙදාහැරීමේ ප්‍රශ්නය එහෙම තියෙද්දී, ප්‍රේක්‍ෂකයාට නිර්මාණ රසවිඳීමට නොහැකි වටපිටාවකුත් අද නිර්මාණය වී තිබෙන බව ඔබ පිළිගන්නවාද....?

ඇත්ත. අපි වඩා වැඩි අවධානයක්‌ යොමු කළ යුත්තේ එතනට. මිනිසා දියුණු විය යුත්තේ යටිතල පහසුකම් සමඟම කියලයි මා විශ්වාස කරන්නේ. අවාසනාවට අපි රටක්‌ හැටියට තවමත් දියුණු වෙමින් පවතින තැනක පමණයි සිටින්නේ. ඒ කතාව කිව්වේ ඔබයි මමයි පාසල් යන කාලයේ සිටම. මම කියන්නේ සිනමා ශාලා ඉක්‌මනින් දියුණු කළ යුතු බවයි. සුවපහසු වටාපිටාවක්‌ නැත්නම් මොන නිර්මාණයක්‌ කළත් පළක්‌ නැහැ. අද තියෙන්නේ නවීනතම සිනමා ලෝකයක්‌. ඉතිං අපේ රටේ තත්ත්වය මෙය නම් අපි කවදද දියුණු සිනමාවකට යන්නේ කියන ප්‍රශ්නය ඉතිරිව තිබෙනවා. අපේ කලා නිර්මාණවල රසභාවයක්‌ නැහැ කියලා නිර්මාණකරුවාට දොස්‌ පැවරිය යුතු නැහැ. ඊට සරිලන වටපිටාවක්‌ නිර්මාණය කරදීමට පරිපාලනය මැදිහත් විය යුතුයි. එහෙම කළොත් අපේ ගෞරවාන්විත පුරවැසියාට නිර්මාණයක රසාස්‌වාදය විඳවන්නේ නැතිව විඳීමට අවැසි පරිසරය නිර්මාණය කොට දිය හැකියි. අද අපට තියෙන රංග ශාලා ගත්තත්, පහසුකම් ඇති රඟහලක්‌ ලෙස නම් කළ හැක්‌කේ "ලයනල් වෙන්ට්‌ඩ්" රඟහල පමණයි.

ඔබේ පවුලේ තොරතුරු .....

මගේ නෝනා විශ්‍රාමික ගුරුවරියක්‌. අපිට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. පුතා ඔස්‌ට්‍රේලියාවේ. ඉතිං.. සමහර අවස්‌ථාවල යම් හුදෙකලාවක්‌ දැනුණත්, කලාව සමග ආ මාවතෙහි සොඳුරු මතක ඒ හුදෙකලාවට තිත තබනවා කියලා සතුටින් කියන්න පුළුවන්.

සුජීව තත්සර
http://www.divaina.com/2015/06/05/cineart06.html

0 comments: