Pages

Tuesday, November 3, 2015

සිහළ ජාතියේ ආනන්දය! - 'සරසවි සඳරැසින්' හෙළි කළ සිංහල ජනතාවගේ බූදලයට අවුරුදු 129යි

කොළඹ ආනන්ද විද්‍යාලය නොවැම්බර් මස 01 වන දිනට සිය 129 උපන්දිනය සමරයි. සරසවි සඳරැස නම් පුවත්පතෙහි පළ කළ පරිදි "සිංහල ජනයාගේ බූදලය" යෑයි සැලකෙන ආනන්දය ගෙවී ගිය වසර 128 ක කාල පරාසය තුළ ප්‍රෙෘඪ වූත්, කීර්තිමත් වූත් අතීතයකට උරුමකම් කියන්නට සමත් ව ඇත.

යටත්විජිත යුගයක ජාතික අවශ්‍යතා මත ඇරඹි මෙම උත්තුංග විද්‍යස්‌ථානය රට දැය සමය වෙනුවෙන් ඉටු කරන හා ඉටු කළ මෙහෙය අපමණය.

බෝධිසත්ව ගුණෝපේත හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ, වාදිභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් වැනි බෞද්ධ යතිවරයන් වහන්සේලාගේ මගපෙන්වීමත්, කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා ආදී විදේශීය ජන නායකයන් හා අනගාරික ධර්මපාලතුමා ආදී වූ දේශීය ජන නායකයන්ගේ අප්‍රතිහත ධෛර්ය, කැපවීම, අධිෂ්ඨානය නිසාවෙන්ම මෙම සුවිශේෂී වූ විද්‍යස්‌ථානය ආරම්භ කරන ලදී.

කර්නල් හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌තුමා විසින් සිදු කරගෙන යනු ලබන ජාතික වැඩපිළිවෙළට සහයෝගයක්‌ ලබාදීමට සී. ඩබ්. ලෙඩ්බීටර් මහතා ද 1885 වර්ෂයේදී දිවයිනට සම්ප්‍රාප්ත විය.

බෞද්ධ සංවිධානයක අනාගත ශක්‌තිය රඳා පවතින්නේ බෞද්ධ අධ්‍යාපනය මත බව වටහාගත් ඕල්කට්‌තුමාත් ලෙඩ්බිටර්තුමාත් බෞද්ධ පාඨශාලාවක්‌ ආරම්භ කිරීමේ කර්තව්‍යයට මුල පිරූහ. ඊට හික්‌කඩුවේ නායක හිමිපාණන් වහන්සේගෙන් හා මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමිගෙන් නොමද සහයෝගය හා අවවාද අනුශාසනා මග පෙන්වීම ලැබිණි.

1886 ඔක්‌. 23 වන දින විද්‍යෝදය පරිවේණාධිපති හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මහා රැලියේදී ගන්නා ලද තීරණයකට අනුව පිටකොටුවේ මැලිබන් වීදියේ අංක 61 දරන ස්‌ථානයෙහි "බෞද්ධ ඉංගී්‍රසි පාඨශාලාව" නමින් නොවැම්බර් මස 01 වන දින ආනන්ද පාසල ආරම්භ කර ඇත.

සිසුන් 37 දෙනකුගෙන් ඇරඹි මෙම පාඨශාලාවෙහි පළමුවැනි විදුහල්පතිවරයා වන්නේ, සමථ භාවනාව මගින් සිත දියුණු කර ගෙන සිටි ඉංගී්‍රසි ජාතික සී. ඩබ්. ලෙඩ්බිටර්තුමාය.

මෙතුමා ඕල්කට්‌තුමා විසින් ආරම්භ කළ පරම විඥනාර්ථ බෞද්ධ සමාගමෙහි උප සභාපතිවරයා ද විය.

ලෙඩ්බීටර් මහතාගෙන් පසුව වර්ෂ 1890 දී ඒ. ඊ. බුල්ජන්ස්‌ මහතා විද්‍යාලයාධිපතිත්වයට පත් විය. 

සිසුන් ප්‍රමාණය වැඩිවෙත්ම ඉඩකඩ සීමා වීම හේතුවෙන් 1895 අගෝස්‌තු මස 17 වැනිදා මුදලිඳු රාජපක්‍ෂ නම් දානපතිතුමන් විසින් පරිත්‍යාග කරන ලද මරදානේ පිහිටි "පරණවාඩිය" නම් ස්‌ථානයෙහි ආනන්ද විදුහල නමින් ආනන්දය ආරම්භ කරන ලදී.

ආදි කර්තෘ දිනය සමරන මෙම පින්බර මොහොතෙහි මුදළිඳු ටියුඩර් රාජපක්‍ෂ මැතිතුමාද කෘතවේදීව සිහිපත් කළ යුතුය. මරදානේ පරණවාඩිය නම් වූ මේ භූමි භාගය එවකට සීතාවක රාජසිංහ ඇතුළු රණශූරයන් වාඩිලාගත් රණ භූමියකි.

එලෙස රණ භූමියක්‌ වූ පරණවාඩිය වර්තමාන ලංකාවාසී බෞද්ධ ජනතාවගේ ක්‍ෂේම භූමියකි. ජාතියේ අනාගතය පිළිබඳ භාරදූර කර්තව්‍යයක යෙදෙන්නවුන්ගේ කේන්ද්‍රස්‌ථානය වී අවසානය. එදා මෙදාතුර තම යුතුකම් වගකීම් ඉටු කිරීමට දේශීය හා විදේශීය ජන නායකයන්ගේ අත්‍යත්තම වූ උදාර පරිත්‍යාගශීලී ක්‍රියාවෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ආනන්දය ශ්‍රී ලංකා ධරණි තලයෙහි සියලු ගෞරව අබිමන් ලබමින් විරාජමාන වේ.

ශ්වේත වර්ණ බුද්ධ මන්දිරයෙහි වැඩ වසන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අපරිමිත මෙත් සිසිලෙන් සැනහි සැනහී උපශාන්ත පරිසරයක්‌ තුළ ගුරු සිසු සැම ස්‌වකීය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ නිමග්න වෙති.

සී. ඩබ්. ලෙඩ්බීටර්තුමාගේ සිට ඒ. ඊ. බුල්ජන්ස්‌, අයිරිස්‌ ජාතික එම්. යූ. මුවර්. ප්‍රිට්‌ස්‌කුන්ස්‌ ආදී වූ විදේශීය විද්‍යාලයාධිපතිවරුන්ගේ අසහාය වූ කැප කිරීම් මත දිනෙන් දිනම ජනී ජනයාගේ චිත්ත ප්‍රසාදයට ලක්‌ වෙමින් ආනන්දය ආ දිගු ගමන අද වන් දිනක කෘතවේදීව පුණ්‍යානුමෝදනාවෙන් යුක්‌තව සිහිපත් කරමි.

වර්ෂ 1898 දී ඩී. බී. ජයතිලක මහතා විදුහල්පති වශයෙන් සම්ප්‍රාප්ත වීම සුවිශේෂී අවස්‌ථාවක්‌ ලෙස සනිටුහන් කරනුයේ කෘතවේදීවය.

නව ගොඩනැගිලි ඉදිවෙමින් ක්‍රමවත් පරිපාලන ව්‍යුහයන් ඇති කරමින් විෂයමාලා සංශෝධනය කරවමින් ආනන්ද පුතුනට වැඩදායි පරිසරයක්‌ ඇති කරවමින් සුවිශේෂී වෙනසක්‌ සිදු කළ වකවානුවක්‌ ලෙස ප්‍රිට්‌ස්‌කූන්ස්‌ විදුහල්පති කාලය ඉතිහාසය ට එක්‌වේ.

ආනන්ද ඉතිහාසයෙහි ස්‌වර්ණමය යුගයක ආරම්භය 1918 ජනවාරි මස පළමුවැනිදා සිදු විය. ඒ අන් කිසිවක්‌ නිසා නොව දීප්තිමත් අධ්‍යාපන විශාරදයෙක්‌ වන පී. ද. එස්‌. කුලරත්න මහතා විදුහල්පතිවරයකු වශයෙන් වැඩ කටයුතු ආරම්භ කිරීමය.

"ඉංගී්‍රසි භාෂාව පිළිබඳ පරිචයක්‌ භික්‍ෂූන් තුළ ඇති කළ යුතුය" යන මතයක සිටිමින් ආරම්භ කළ ඉංගී්‍රසි භාෂා පන්තියට මහත් ගෞරවයට පත් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත වැනි භික්‍ෂූන් වහන්සේලා ශිෂ්‍ය අවධියේදී මෙම ආනන්දය තුළින් ඉංගී්‍රසි භාෂාව ප්‍රගුණ කරගෙන ඇත. උන්වහන්සේලාගේ සේවය ආනන්දයට ලැබී ඇත. ආනන්ද සිසුන් ආගමික වත් පිළිවෙත්වලට හුරු පුරුදු කරවීමත්, පාලි, සංස්‌කෘත භාෂා ඥනය ලබා දෙමින් කටයුතු කරවීම මෙම යුගයෙන් සිදුවූ කර්තව්‍යයකි.

ජී. පී. මලලසේකර විදුහල්පති සමයෙහි නාලන්ද විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වැනි විද්‍යාලයන් ඇති කරවීමට පුරෝගාමීව කටයුතු කරලීම ආනන්දය ගත් ජාතික වගකීමක්‌ ලෙස සිහිපත් කරමි.

විද්‍යාලයක අභිවෘද්ධිය පතා විශිෂ්ට සේවාවක්‌ සිදු වූ කාල පරිච්ඡේදයක්‌ ලෙස එල්. එම්. මෙත්තානන්ද විදුහල්පතිතුමාගේ කාලය සඳහන් කළ හැකිය. මෙලෙසින් ඒ. බී. පෙරේරා, එස්‌. ඒ. විජයතිලක, එම්. ඩබ්. කරුණානන්ද, ඊ. ඒ. පේරුසිංහ යන විදුහල්පතිතුමන්ලාගේ පරිපාලන යුගයන් හිදී ද අති විශිෂ්ට සේවාවන් සිදුවු කාල පරිච්ඡේදයක්‌ ලෙස පින් දෙමින් මෙවන් මොහොතකදී සිහිපත් කරනු කැමැත්තෙමි.

වර්ෂ 1969 මැයි මස 04 දිනයෙන් ඇරඹෙන ජී. ඩබ්. රාජපක්‍ෂ මහතාගේ යුගය විදුහල්පති රාජපක්‍ෂ යුගය ලෙස සැලකිය හැකිය. මෙම අවධියෙහිදී අ.පො.ස. (සා.පෙළ), අ.පො.ස. (උසස්‌ පෙළ) විභාගවලින් දිවයිනෙන්ම ප්‍රථම ස්‌ථාන ලබා ගනිමින් ජයග්‍රහණ රාශියක්‌ම ලබාගනිමින් ආනන්දය අති විශිෂ්ට ස්‌ථානයක වැජඹීම අමතක නොකළ හැකි අවස්‌ථාවකි.

ජී. ඩබ්. රාජපක්‍ෂ මහතාගෙන් පසුව එස්‌. කේ. නෙත්තානන්ද, කර්නල් එස්‌. කුඩලිගම ආදි විදුහල්පතිවරු මෙම විද්‍යාස්‌ථානය දිනෙන් දින සංවර්ධනය කරවීය.

ගුණරත්න දමුණුපොල, බී. ඒ. අබේරත්න, එල්. එම්. ඩී. ධර්මසේන ආදී විදුහල්පතිතුමන්ලාගේ සමයන්හි ද ආනන්දයෙහි ආනන්දනීය කාල පරිච්ඡේදයන් බව සඳහන් කළ යුතුය.

ආනන්දයෙහි ආරම්භක විදුහල්පති වූ සී. ඩබ්. ලෙඩ්බීටර්තුමාගේ පටන් අද දිනයෙහි ආනන්දය හොබවන කිත්සිරි ලියනගමගේ විදුහල්පතිතුමා දක්‌වා වූ විදුහල්පති නාමාවලියෙහි සියලුම විදුහල්පතිවරුන්ද, සියලු නියෝජ්‍ය විදුහල්පතිවරුන් ද, ගුරු භවතුන් ද ආනන්දයෙහි පරමාර්ථ මුදුන්පත් කර ගැනීමට මහත් වෙහෙසක්‌, වෑයමක්‌ ගෙන ක්‍රියා කරයි.

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි ආදිකර්තෘන් වහන්සේලාගේ සිට වැඩසිටි හා වර්තමානයෙහි වැඩ වසන සියලුම ධර්මාචාර්යවරයන් වහන්සේලා ස්‌ව වගකීම් තේරුම් ගෙන යුගයෙන් සිදු කළ හා සිදු කරන මෙහෙවර සුවිශාල වේ. 

සියවසකට වඩා වැඩි දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ආදි ශිෂ්‍ය සංගමය ද ආදී ආනන්දීය බෞද්ධ සංගමය ප්‍රධානව විවිධ සමිති සමාගම් වසර 129 කට එළැඹී සිටින ආනන්දයෙහි අනන්‍යතාවය රැක ගැනීමටත් අපේක්‍ෂිත හර පද්ධතීන් කෙරෙහි ආනන්දීයන් යොමු කරලීමටත් ක්‍රියා කරමින් සිටිති. 

ආනන්දය යනු තවත් එක්‌ විද්‍යාලයක්‌ම නොවේ. එය සුවිශේෂී වූ සම්ප්‍රදායන්ට ගරු කරමින් රටට අවශ්‍ය ජාතික නායකත්වය සඳහා විශිෂ්ට නායකයන් තනන බෞද්ධ අධ්‍යාපනයෙහි කේන්ද්‍රස්‌ථානයයි.

ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි ආදි කර්තෘවරුනි, ඔබේ විශිෂ්ට සේවාවත්, ගුණ මහිමයත්, මහත් වූ ගෞරවයෙන් යුක්‌තව සිහිපත් කරන්නෙමු. ඒ සඳහා නොවැම්බර් මස 01 වැනිදා මහ පිරිත් දේශනාවක්‌, නොවැම්බර් මස 02 දා මහ සංඝගත දක්‍ෂිණාවක්‌ සිදු කිරීම ආදී ආගමික වත් පිළිවෙත් රාශියක්‌ පැවැත්වීමට නියමිතය.

ආදි කර්තෘවරුනි, ඔබ සැමට මෙපින් බලයෙන් 'උතුම් වූ නිවන් සුව සාක්‍ෂාත් වේවා' යි බැති සිතින් ප්‍රාර්ථනා කරමු.

ධර්මාචාර්ය ශාස්‌ත්‍රපති පූජ්‍ය රම්මල ධම්මරක්‌ත හිමි - ආනන්ද විද්‍යාලය
http://www.divaina.com/2015/11/01/feature21.html

1 comments:

තරු said...

ආනන්දීයයකු වීම ගැන ආඩම්බරයි