Pages

Thursday, May 23, 2013

ෆොන්ටෙරා කිරිපිටිවලට වස දමනවාද? ඔබ දරුවාට පොවන්නේ වසද?

2011 වසරට පෙර නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම විසින් පරීක්ෂා කරන ලද කිරිපිටි සාම්පලවල DCD නැමැති රසායනය තිබුනු බවට එහි රැකියාව කරන අය විසින් ලබාදුන් තොරතුරු මත නවසීලන්ත හරිත පක්ෂය විසින් මුල්වරට මෙය නවසීලන්ත ජනතාවට එලිදරව්කරන ලදී.  මෙයට සමගාමීව යුරෝපයේ භාවිතා කරන සමහර කිරි ආහාරවල DCD තිබුණු බවටද වාර්ථා විය.  එම කිරි ආහාර නවසීලන්තයෙන් ආනයනය කළ කිරි ආහාර බවටද වාර්ථා විය.  එතැන් පටන් එය වසං කිරීමට ෆොන්ටෙරා සමාගම හා නවසීලන්ත ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශය උත්සාහ කළද එය අභ්‍යන්තර දේශපාලනික ප‍්‍රශ්නයක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් නවසීලන්ත කිරි නිෂ්පාදනවලට විශාල කළු පැල්ලමක් ඇති කළ හැකි බැවින් මෙම ප‍්‍රශ්නයේදී වරද පිළිගෙන වරද නිවැරදි කිරීමේ මහත්මා පිළිවෙතට තමන් ක‍්‍රියාකරන බව පෙන්වීමට ෆොන්ටෙරා සමාගමත්, නවසීලන්ත ප‍්‍රාථමික කර්මාන්ත පිළිබඳ අමාත්‍යාංශයත් කටයුතු කරන ලදී.

ඒ අනුව මෙම අවුරුද්දේ ජනවාරි මස මුල් භාගයේ ඉන්දියාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය හරහා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අමතා මේ ගැන පැහැදිලි කිරීමක් කළ බවට වාර්තා විය.  එමෙන්ම 2013 ජනවාරි විසිහතරවන දින නවසීලන්තයේ පොහොර සමාගම් විසින් එම රටේ පොහොර වෙළඳපොලින් DCD ස්වේච්ඡවෙන් ඉවත්කර ගත් බවට ද ප‍්‍රවෘත්තියක් ලොව පුරා ප‍්‍රචාරය කරන ලදී.  ඉන්පසු ජනවාරි 25 වනදා Wall Street Journal විසින් ෆොන්ටෙරා කිරි නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත ද යන්න විමසා ප‍්‍රවෘත්තියක් පලකරන ලදී.

2013 ජනවාරි 26 වන දින ෆොන්ටෙරා සමාගම මගින් මේ පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කරමින් ඔවුන්ගේ කිරිපිටි සාම්පලවල DCD තිබුණ බවත්, DCD යනු කිසිම සෞඛ්‍ය ප‍්‍රශ්නයක් ඇති නොවන රසායනිකයක් බවත් DCD යනු පොහොර වශයෙන් තණකොලවලට දාන ලද රසායනිකයක් බවත් එය ඉතා ඉක්මණින් පරිසරයෙන් ඉවත්වන බවත් එම රසායනය වර්ෂයකට දෙවරක් භාවිතා කරන බවත් එයද සමස්ථ නවසීලන්ත ගොවිපලවලින් 05% කටත් අඩුවෙන් මෙය භාවිතා කරන බවත් එයද වසර දහයකටත් අඩුවෙන් රටේ භාවිතාකර ඇති බවත් නවසීලන්ත පොහොර සමාගම් විසින් ස්වේච්ඡවෙන් මෙම DCD විකිණීම 2012 සැප්තැම්බර් සිට නවතා ඇති හෙයින් ඔවුන් නිෂ්පාදනය කරන කිරිවල DCD නොමැති බවත් ඉතා සැලසුම් සහගත ලෙස මෙම ප‍්‍රශ්නයෙන් ඉතා සාර්ථක ලෙස ගැලවීමට කරුණු කාරණා පෙලගස්වා ඉදිරිපත් කරන ලදී.  අද වන විට තමන්ගේ නැංගුරම ලකුණ කිරි 100% ක් සෞඛ්‍යාරක්ෂිත යයි කියමින් ශ‍්‍රී ලංකාව තුළ නව වෙළඳ දැන්වීම් ප‍්‍රමාණයක් ද ප‍්‍රචාරය කරමින් පවතී.

මේ තත්වය මෙසේ පවතිද්දී ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුවද තම ජනතාවට බලපාන මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී සම්මත විද්‍යාත්මක ක‍්‍රමවේදයක් මත පිහිටා ක‍්‍රියාකිරීම හා තමන්ගේ වගකීම ඉටුකිරීම වෙනුවට නවසීලන්ත රජයේ හා ෆොන්ටෙරා සමාගමේ තාලයටම හා ඒ කාල වකවානුවලට සමගාමීව ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි DCD කථාවද  සාක්කි නැති මරණයක් බවට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවට අප තදබල ලෙස චෝදනා කරමු.

ඒ මන්ද යත්,

වසරකට පෙර සිට මේ පිළිබඳව නවසීලන්තය, යුරෝපය තුළ කතිකාවක් තිබුණද, ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරීන්   සහ පාරිභෝගික අධිකාරිය ඒ ගැන සොයා නොබැලීම.
DCD ප‍්‍රශ්නයට ෆොන්ටෙරා සමාගම මුහුණදීම සඳහා ඉතා සූක්ෂම සැලසුම් සහගත හා කල් බලන වැඩපිළිවෙලක් තුළ ඔවුන්ගේ පාරිභෝගිකයා රවටා රඳවා ගැනීමට කටයුතුකර කිරීම.
එම සැලසුම මත වුවද ෆොන්ටෙරා විසින්ම ෆොන්ටෙරා කිරිපිටිවල DCD නැමැති රසායනිකයක්  ඇති බව පවසද්දීත් ඒ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිවක් නොකර සිටීම.
ශ‍්‍රී ලංකා පාරිභෝගික අධිකාරිය ද ෆොන්ටෙරා සමාගම දැන්වූ පසු කිරිපිටි සාම්පල පරීක්ෂා කිරීම සඳහා යොමු කළද එහි ප‍්‍රතිඵල ජනතාවට ප‍්‍රකාශ නොකිරීම. පාරිභෝගික අධිකාරිය මගින් පරික්ෂා කරවන ලද කිරිපිටි සාම්පලවල ප‍්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමුකිරීමෙන් ගම්‍ය වනුයේ එම කිරිපිටි සෞඛ්‍යාරක්ෂිත බවට පාරිභෝගික අධිකාරියට සහතික වීමට නොහැකි බවයි.  එනම් එම සාම්පලවල DCD හෝ  වෙනත් අහිතකර දෑ ඇති බවයි.  නැතිනම් එම සාම්පල සහිත ආනයනික භාණ්ඩවල කිරිපිටි ප‍්‍රශ්නයක් නැතිව භාවිතා කළ හැකි බව ඔවුන්ට නොබියව පැවසීමට හැකියාව තිබුණි.  (මෙම සාම්පලවල DCD ඒකක දශලක්ෂයකට 0.36-15 දක්වා තිබුණ බවට වාර්ථා වී ඇත)
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් එම සාම්පලවල ප‍්‍රතිඵල ප‍්‍රකාශ නොකොට ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අමතා ඔවුන් විසින් දෙන ලද උත්තරයක් කියමින් DCD යනු ප‍්‍රශ්නයක් නොවන ද්‍රව්‍යයක් යයි ව්‍යංගාර්ථයෙන් ප‍්‍රකාශ නිකුත් කිරීම.
මෙයට සමගාමීව මේ වන විට ෆොන්ටෙරා සමාගම විසින් තමන්ගේ කිරිපිටිවල 2012 නොවැම්බර් සිට DCD නොමැති බවත් තම කිරිපිටි 100% ක් සෞඛ්‍යාරක්ෂිත බවත් ඉතා ඉහළින් ප‍්‍රචාරය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ද පාරිභෝගික අධිකාරියද ඉඩදී ඇත.
මේ සියල්ලෙන් ගම්‍ය වනුයේ අපගේ නිලධාරීන් ද මෙම ෆොන්ටෙරා සමාගමේ DCD ප‍්‍රශ්නයේදී ෆොන්ටෙරා සමාගමට අවශ්‍ය ආකාරයට දැනුවත්ව හෝ නොදැනුවත්ව ක‍්‍රියාකර ඇති බවයි.  ඒ මගින් සමස්ථ ශ‍්‍රී ලාංකිකයින්ව මෝඩයින්ට අන්දවා තවමත් හරිහැටි විෂද නැද්ද යන්න නොදන්නා රසායනිකයක් ෆොන්ටෙරා කිරි හරහා සමස්ථ ජනතාවට පරිභෝජනය කරවීමට ෆොන්ටෙරා සමාගමට ඉඩදී ඇති බවයි.
DCD යනු රසයක් ගඳක් නැති ජලයේ දියවන විසිරි වියලනයේදී වාෂ්ප නොවන ස්ඵටිකරූපි කුඩු වශයෙන් එන රසායනිකයකි.  එහි රසායනික වශයෙන් C2H4N4 වශයෙන් හඳුන්වන එක් අණුවක නයිට‍්‍රජන් අණු 04 ක් ඇති රසායනිකයකි.  මින් පෙරද මෙම සමාගමේ අනුබද්ධ සමාගමක් විසින් Melamine නැමැති නයිට‍්‍රජන් අණු සහිත ගඳක් රසක් නැති කුඩු වශයෙන් ඇති ද්‍රව්‍යයක් මිශ‍්‍රකර සාදන ලද පිටිකිරි පානයකර චීනයේ ළදරුවන් 60 කට අධික ප‍්‍රමාණයක් මියගොස් 30,000 ක් පමණ දරුණු රෝගාබාධවලට භාජනය විය.

(Whey Protein) කිරි ප්‍රෝටීන යනු ඉතා මිල අධික ද්‍රව්‍යයකි.  කිරිවල සාමාන්‍යයෙන් ප්‍රෝටීන 2% ක් පමණ ඇත.  කිරිවල ඇති අධික මිල සහිත සැබෑ කිරි ප්‍රෝටීන ඉවත්කර එම කිරි ප්‍රෝටීනවල ඇති නයිට‍්‍රජන් අණු ප‍්‍රමාණයට සමාන නයිට‍්‍රජන් අණු ප‍්‍රමාණයක් සහිත වෙනත් ද්‍රව්‍යයක් යෙදීමට කරන ලද පර්යේෂණ මගින් Melamine රසායනිකය කිරි Adulterated කිරීමට භාවිතා කරමින් මෙම බහුජාතික සමාගම් අධික ලෙස ලාභ උපයන ලදී.

Dicyandiamide (DCD)  ද මෙලමයින් මෙන්ම කිරි ප්‍රෝටීන (Whey Protein)  ඉවත්කර ඒ වෙනුවට ව්‍යාජ ප්‍රෝටීන් ලෙස භාවිතා කළ හැකි ද්‍රව්‍යයකි.  එම නිසා මෙම DCD ද මෙලමයින් මෙන් කිරි Adulterated කිරීමට ගන්නා ද්‍රව්‍යයක් ලෙස ෆොන්ටෙරා විසින් භාවිතා කරන ලද බවට සැකයක් පවතින අතර එය එළිවීමෙන් ගැලවීම සඳහා මෙය පොහොර හරහා ආ ද්‍රව්‍යයක් බව පවසමින් එය යට ගැසීමට කරන ලද කුමන්ත‍්‍රණයක් ලෙස අප චෝදනා කරන අතර අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම ෆොන්ටෙරා වැඩසැලසුමට අනුව ක‍්‍රියාකළ බවට අපගේ හැගීමයි.

එම නිසා  මෙතෙක් පරීක්ෂා කරන ලද සාම්පලවල DCD  ප‍්‍රමාණය ජනතාවට හෙලිකරන මෙන්ද එම සාම්පලවලට අදාල ආනයනික කාණ්ඩ (Batch) සහිත සියළු කිරිපිටි හා කිරි ආහාර වෙළඳපොලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලන අතර පසුගිය මෙලමයින් සිද්ධියේදී මෙන් ඉතා කාර්යක්ෂමව ක‍්‍රියාකර මෙලමයින් සහිත දේශීය චොකලට් වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කළ ආකාරයට DCD සහිත කිරි ආහාර ද ඉතා ඉක්මණින් ඉවත්කිරීමට කටයුතු කිරීම සියළු බලධාරීන් සතු වගකීමකි.

ෆොන්ටෙරා සමාගම ද DCD ඇති බවට පිළිගෙන ඇති බැවින් තවත් සාම්පල පරීක්ෂා කිරීමට අනවශ්‍ය වියදමක් වන බවද තවත් සාම්පල පරීක්ෂා කිරීම යනු ෆොන්ටෙරා සමාගම DCD ප‍්‍රශ්නයේදී ක‍්‍රියාකරන වැඩසටහනට අනුව (Case Agenda) අද දවසේ ප‍්‍රකාශිත DCD නැති බව කරන ප‍්‍රකාශයට සමගාමීව හෙට දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාගන්නා ලද පිරික්සුම් සාම්පලවල ද DCD නොමැති බවට එන එළිදරව්ද සමගාමී නොවන්නේද? යන්න මේ ජවනිකාව දෙස ඇස් ඇරගෙන බලන් ඉන්න අයට පෙනෙන දෙයකි.

එම නිසා අප සෞඛ්‍ය ඇමතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පෙර ලබාගත් පර්යේෂණ සාක්ෂිවලට අනුව DCD සහිත සියළු කිරිපිටි හා කිරි ආහාර වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ෆොන්ටෙරා සමාගම විසින් කරන 100% ක් ඔවුන්ගේ කිරිපිටි සෞඛ්‍ය ආරක්ෂිත යයි යන වෙළඳ දැන්වීම් තහනම් කරන ලෙසත්ය.

මේ සම්බන්ධ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා -
1. http://online.wsj.com/article/SB10001424127887323539804578263033021413140.html

2. http://newzealandinc.com/china-takes-action-on-nz-dairy-imports/

3. http://www.globaltimes.cn/content/758654.shtml

- වෛද්‍ය, සුමිත් වන්නිආරච්චි / සභාපති, ශ‍්‍රී ලංකා හරික පක්‍ෂය

May 22, 2013 at 12:01 am | lanka C news
http://lankacnews.com/sinhala/main-news/94588/

0 comments: