Pages

Thursday, April 17, 2014

බුදුන්වහන්සේ දෙවැනි වරට ශ්‍රී ලංකාවට වැඩම කළ බක්‌ පෝදා

බක්‌ මාසයේ පුර පසළොස්‌වක්‌ පොහෝ දිනයේ ආගමික වශයෙන් සිදුවීම් කීපයක්‌ සිදුවී ඇත.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සිට හතළිස්‌පස්‌ වසක්‌ ම ලෝක සත්වයා වෙත නිවන් මඟ පාදා දෙමින් රටින් රට දේශයෙන් දේශයට වැඩම කළ සේක. බුදුවූ වර්ෂයේ බරණැස ඉසිපතනාරාමයෙහි වැඩ සිටි බුදුජාණන් වහන්සේ දෙවැනි තුන්වැනි හා සිව් වැනි වර්ෂයන්හි වස්‌ එළඹ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ ය. එහිදී විශාල දෙව් මිනිස්‌ පිරිසකට සත්‍ය මාර්ගය අවබෝධ කර දුන් සේක.

ඉන්පසුව විශාලා මහනුවර කූටාගාර ශාලා නම් ආරාමයෙහි වැඩ විසූ බුදුරජාණන් වහන්සේ සුදොවුන් මහරජතුමාට දහම් දෙසා අරහත් ඵලයෙහි පිහිටුවීම සිදු කළ අතර එතුමාගේ පිරිනිවීම, යශෝදරා දේවිය මහණ වීමට සූදානම් වීම, මහා ප්‍රජාපතී පැවිදි වීමත් සමඟම ගරු ධර්ම අටක්‌ පනවා මෙහෙණිසස්‌න පිහිටවීම ද යන මේ කරුණු සිදුවූයේ පස්‌වැනි වර්ෂයෙහිය.

භාග්‍යවතුන් වහන්සේ වැසිසාර මස ගෙවුණු පසු වස්‌ පවාරණය කොට විශාලාවෙන් නික්‌ම ශ්‍රාවස්‌ති පුරයට වැඩම කළ සේක. තුන්වෙනි වසේ දී පැමිණි නොපැමිණි සතර දිශා වැසි සංඝයා වහන්සේට පූජා කෙරෙමි යි කියා අනේපිඬු සිටාණන් විසින් පූජා කරන ඡේතවනාරාමයෙහි වැඩ වසන බුදුරජුන් වෙත පැමිණි කේශලාධීශ්වර පසේනදී රජතුමා දහම් අසා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වූයේ ද මේ පස්‌වැනි අවුරුද්දේ දීමය.

කොසොල් රජු බුදුරජාණන් වහන්සේ සමඟ කථා කරනවිට "ස්‌වාමීනි මහ පිරිස්‌ ඇති කීර්තිමත් පුරාණ කස්‌සප, මක්‌ඛලී ගෝසාල, අජිත කේශකම්බිලි, කකුධ කච්චායන, සංජය බෙල්ලට්‌ඨි පුත්ත, නිඝණ්‌ඨනාථ පුත්ත යන සයදෙනාගෙනුත් ඔබ වහන්සේ සම්‍යක්‌ සම්බුද්ධ දැයි මා විසින් අසන ලද නමුත් ඔවුහු ඔබ වහන්සේ සම්බුද්ධ බවක්‌ නොකීහ. කිමෙක්‌ද? උන් හැමටම වඩා වයසින් බාලවූ ළඟදී පැවිදි වූ ගෞතම සම්‍යක්‌ සම්බුද්ධ යයි ප්‍රතිඥ කෙරෙද්දැයි රජු ඇසීය.

ඒ අවස්‌ථාවේ බුදුරජාණන් වහන්සේ, රජුන් අමතා රජ කුමරා ද සර්පයා ද ගින්න ද භික්‍ෂුව ද යන සතර දෙනා ළදරු යයි කුඩා යයි නොසිතිය යුතු යයි වදාරා අවවාද කළ සේක.

මේ අයුරින් වැදගත් සිදුවීම් රැසක්‌ ම සිදුවූ පස්‌වෙනි වර්ෂයේ බක්‌මස අවපසළොස්‌වක දා සිරිත් පරිදි බුදු රජාණන් වහන්සේ අලුයම ලොව බලා වදාරන සේක්‌ අද මා ලක්‌දිවට නොගිය හොත් එහි වෙසෙන්නන් යුද වැදී වැනසෙනු නොඅනුමාන ය. ඒ නිසා ඔවුනට හිත සුව පිණිස ද මාගේ මේ ගමනින් සිරිලක්‌දිවට සසුන් පිහිටුවී මෙන් වන දියුණුව ද යන මේ තෙක්‌ දැ සිතා දම් රජාණෝ දෙව්රම් වෙහෙරින් එළියට වඩිනවාත් සමඟම පෙර ආත්ම භවයකදී නාගදීපයේ මනුෂ්‍යයෙක්‌ව ඉපිද කරන ලද පුණ්‍යකර්මයේ බල මහිමයෙන් දෙව්රම් වෙහෙර දොරටුව සමීපයෙ හි වූ කිරිපලු රුකට අධිපතිව උපත ලැබූ සුමණ නම් දේවතාවා එම කිරිපලු රුක බුදුරදුන්ට කුඩයක්‌ මෙන් කොට ලක්‌දිවට වැඩමවාගෙන පැමිණියහ. ඒ වසන්ත සමයේ බක්‌ මාසේ අවපසළොස්‌වක දා සිදුවූ බුදු රජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමන සිහිපත් කරන බොදු ජනතාව අද වැනි දිනක ඇති අගය මෙනෙහි කරනදා චූලෝදර මහෝදර යන නාග රජුන් දෙදෙනාගේ අරගලයක්‌ කෙටියෙන් සඳහන් කරතොත් මහෝදර ලක්‌දිව උතුරේ ආධිපත්‍යය ඉසුලූ නාග ගෝත්‍රික රජ කෙනෙකි. මොහු තම සොහොයුරිය වන කණ්‌හා නමැත්තිය කන් වඩමන් නම් පර්වතයෙහි සිටි නා රජුට පාවා දෙනු ලැබීය. ඈ ලද දරුවා චූලෝදර නමින් හඳුන්වන ලදී. චුලෝදරගේ සීයා කළුරිය කරන විට ඔහු සතු වස්‌තුව අතරින් ඉතා වටිනා මැණික්‌ පුටුව පුතාට නොදී දියණියට දුන්නේය.

කල්යාමෙන් එම පුටුව සම්බන්ධ අයිතිය ගැන කියා යාමෙන් මාමා හා බෑනා අතර (මහෝදර චූලෝදර) බහින් බස්‌ වීමක්‌ ඇති විය. නාග ගෝත්‍රිකයන් දරුණු ලෙස කිපෙන පිරිසක්‌ නිසාත් මාමාට මෙන් බෑණාට ද එදා දිවයිනේ එක්‌ ප්‍රදේශයක ආධිපත්‍යයක්‌ තිබූ නිසාත් දෙදෙනා අතර යුද්ධයක්‌ ප්‍රකාශ කරන්නට විය.

මේ යුද්ධය කොතරම් බලවත්වීද කියතොත් බුදු පියාණන් වහන්සේ එදා බක්‌ මස අව පසළොස්‌වක දා නාගදීපයට වැඩම නොකෙළේ නම් දෙපිරිස අතර පවත්නා යුද්ධයෙන් රටත් ජනතාවත් බොහෝ දුරට විනාශ වී යනු ඇත.

එදා (බක්‌ පොහෝ දිනක) සිදුවූ ඒ ඓතිහාසික සිද්ධිය ලංකාවාසීන්ට එදත් අදත් අර්ථය පිණිස පවතී.

ශාස්‌ත්‍රපති පූජ්‍ය වතුරුවිල හේමාලෝක හිමි
http://www.divaina.com/2014/04/12/news21.html

Pic Source

0 comments: