Pages

Tuesday, April 22, 2014

ටී.එන්.ඒ. ඇතුළත උග්‍ර මත ගැටුමක්‌

උතුරේ ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වෙනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) තුළ උග්‍ර මත ගැටුමක්‌ හටගෙන ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් , මාවෙයි සේනාධිරාජා, එම්. ඒ. සුමන්දිරන් යන මන්ත්‍රීවරුන් හා ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඇතුළු පිරිසක්‌ තම සංවිධානය තේරීම් කාරක සභාවට සහභාගි විය යුතු යෑයි කියා සිටින නමුත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්වම් අඩෙක්‌කලනාදන්, එම්. කේ. සිවාජිලිංගම්, එස්‌. ශ්‍රීධරන් හා ආනන්දි ශෂීදරන් ආදී පිරිසක්‌ පවසා ඇත්තේ තේරීම් කාරක සභාව වර්ජනය කළ යුතු බවයි.

තේරීම් කාරක සභාවට සහභාගිවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ රැස්‌වීමක්‌ පසුගිය සෙනසුරාදා (19 දා) යාපනයේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් මෙම මතගැටුම් නිසා එය දින නියමයක්‌ නොමැතිව කල් දමනු ලැබීය.

දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී තේරීම් කාරක සභාවට සහභාගි වනු ඇතැයි උතුරේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා වැල්ලවත්තේ පැවැති රැස්‌වීමකදී පසුගියදා පවසා තිබිණි.

එහෙත් දෙමළ ජාතික සන්ධානයේ තවත් නායකයකු වන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා පවසන්නේ තේරීම් කාරක සභාවට සහභාගි වීම සම්බන්ධයෙන් එම සංවිධානය මෙතෙක්‌ තීරණයක්‌ ගෙන නැති බවයි.

දකුණු අප්‍රිකානු රජය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත්වී සිටියි. ඒ අනුව පසුගියදා දකුණු අප්‍රිකානු රජය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සිව්දෙනකු එරටට ගෙන්වූ අතර ඔවුන් එරට ජනාධිපති ඡේකබ් සුමාගේ විශේෂ නියෝජිත සිරිල් මෙපෝසා සමග ප්‍රිටෝරියාහිදී සාකච්ඡා පැවැත්වීය.

එහිදී මෙපෝසා මහතා ඔවුන්ට පවසා තිබුණේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගි වී රජය සමග එක්‌ව ජනවාර්ගික ගැටලුවට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසය.

එහෙත් එම සන්ධානයේ සිටින දෙමළ ඩයස්‌පෝරාවේ අනුග්‍රහය ලබන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු කණ්‌ඩායම තේරීම් කාරක සභාවට යැම ගැන විරුද්ධ වන්නේ ඩයස්‌පෝරාවේ අවශ්‍යතාව නිසායි උතුරේ දෙමළ දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මීළඟ රැස්‌වීම මැයි මස මුල් සතියේ පැවැත්වීමට නියමිතය.

දයා ලංකාපුර
http://www.divaina.com/2014/04/22/news06.html

Pic Source

0 comments: