Pages

Sunday, April 27, 2014

විසි වසරක්‌ තිස්‌සේ දිනාගත් සමාජ ප්‍රාග්ධනය තුළින් අවශ්‍ය වෙනසක්‌ ඇති කිරීමේ හැකියාව තිබෙනවා - ඥනසාර හිමි

වසර විස්‌සක්‌ තිස්‌සේ දිනාගත් සමාජ ප්‍රාග්ධනය සිය සංවිධානය විසින් බලවත් තැනකට රැගෙනවිත් ඇති බවත් එහෙයින් සිය සංවිධානයට ඕනෑ වෙලාවක අවශ්‍ය වෙනස ඇති කළ හැකි බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

තමන් වහන්සේ එසේ කියනුයේ අතිශෝක්‌තියෙන් නොවන බවත් කී උන්වහන්සේ බෞද්ධයන් අපකීර්තියට පත්කිරීම වැළැක්‌වීමට බලධාරීන් නිලධාරීන් කටයුතු කළ යුතු බවත් කීහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ ඉකුත් 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ

අප සංවිධානය අදින් පසු වටරැක විජිත පිළිබඳ කථා කරන්නේ නැහැ. එය අදින් අවසන්. ඔහු වෙනුවෙන් තවදුරටත් මුද්‍රිත හා විද්යුත් කාලය වැය කිරීම අපරාධයක්‌. ඒ නිසා ඔහු ගැන කථා කිරීම අදින් අවසන්.

මිනීමරු කොටි ත්‍රස්‌තයන්වත් ඔවුන්ගේ අරමුණ ඉටුකර ගැනීමට නිරුවත වසා ගැනීමට අරහත් ධජය යොදා ගත්තේ නැහැ. නමුත් අවාසනාවකට වත්මන් රජයේ මැති ඇමැතිවරු සිවුරු භාවිතා කරමින් සිය නිරුවත වසා ගැනීමට උත්සාහ ගන්නවා.

රිෂාඩ් බදියුදීන් මහතා සිය අමාත්‍යාංශයේ වටරැක විජිත සඟවා තබා ගත් බවට ලැබුණු තොරතුර නිවැරදි හා විශ්වාසදායක තොරතුරක්‌. අපගේ ස්‌වාමින්වහන්සේලා එහි වැඩියේ ඒ නිසයි. කිසිම බලහත්කාරකමක්‌ එහි සිදු වුණේ නැහැ. අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළට වඩින්න කළ ආරාධනාව නිසයි අපගේ ස්‌වාමින්වහන්සේලා එහි වැඩියේ. මහජන මුදලින් නඩත්තුවන අමාත්‍යාංශයකට වඩින්න හාමුදුරුවන්වහන්සේ නමකට කාගෙවත් අවසර ගත යුතු නැහැ.

අකුරණ, මඩවල, කොළඹ බොහෝ තැන්වල, ගම්පොල වැනි බොහෝ මුස්‌ලිම් ජනතාව වැඩි බහුතරයක්‌ ජීවත්වන ප්‍රදේශවල ඔවුන් නීතිය තඹයකට මායිම් කරන්නේ නැහැ. පාලකයන්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් අප කියන්නේ තමන්ට ලැබෙන පොඩි පගාවකට සමස්‌ත ජාතියට අපහාස කරන්න එපා කියන කාරණයයි. සිංහල ජාතියට එක නීතියක්‌ මුස්‌ලිම් ජාතියට එක නීතියක්‌ තිබිය යුතු නැහැ. නීතිය සමාන විය යුතුයි. අකුරණ ප්‍රදේශයේ කොතරම් අනවසර ඉදිකිරීම් තිබෙනවාද එය එසේ වන්නේ කොහොමද?.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට අනුයුක්‌ත කර විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමට තීරණය කර තිබෙනවා. මෙය අපගේ දිගුකාලීනව කරමින් සිටි ඉල්ලීමක්‌. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මේ සම්බන්ධව ස්‌තූතිය පුද කරන්න ඕන. මුස්‌ලිම් හා ක්‍රිස්‌තියානි අන්තවාදීන් දැන් ගම්වලට ඇවිත්. අන්තවාදය වපුරන්න එපා කියා අවධාරණය කරනවා. එහෙම වුණොත් ඔවුන් කුදලා පොලිසියට භාරදීමට ක්‍රියාකරනවා.

උද්දච්ඡ ඇමැතිලා ගෙම්බෝ වගේ බක බක ගෑවට ප්‍රශ්නයක්‌ නැහැ. අපව නීතිවලින් ගැට ගසන්න පුළුවන්ද කියා කරලම බලමු. මෙවැනි ඇමැතිවරුන්ට ශක්‌තියක්‌ නොවී රටට ආදරය කරන ඇමැතිවරුන්ට සම්මා දිට්‌ඨිය විගස පහළ විය යුතුයි.

මෙහිදී බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද, ප්‍ර්‍රධාන විධායක නිලධාරි ආචාර්ය දිලන්ත විතානගේ යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/04/26/news26.html

Pic Source

0 comments: