Pages

Sunday, December 20, 2015

තාක්‍ෂණය - පින නිසා ලැබුණු දේ පවට බිලි නොදෙමු! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

මේ මොහොතේ ජාති ආගම් බේදයකින් තොරව මනුෂ්‍යයා අත්විඳින විසිතුරු දෑ, ප්‍රනීත දෑ, සුඛෝපභෝගී නිවාස, සුඛෝපභෝගී යානවාහන, නේක විධ අහාරපාන, නොයෙකුත් විලාසිතාවන්ගේ සිරුරට සුවපහසු ඇඳුම්, පැළඳුම්.... මේ මනුෂ්‍යයාට ලැබී තිබෙන විසිතුරු ප්‍රනීත භාවය කියන්නේ මනුෂ්‍යයාගේ අතීත භවයන්හි දානයේ සංස්‌කාරයන්ගේ ඵලයයි.

අපි පුංචිකාලයේ වෙළෙඳසලකට ගියොත් එම වෙළෙඳසලේ විකිණීමට තිබුණේ, එක බෝතලයක බුල්ටෝද තව බෝතලයක නාරංබික්‌, තව බෝතලයක විස්‌කිරිඤ්ඤා තව බෝතලයක කළු සුරුට්‌ටු, පෙට්‌ටි සුරුට්‌ටු ආදියයි. ඔයිට වඩා දෙයක්‌ අතීතයේ වෙළෙඳසලක මුදල් කවුළුවක්‌ මත තිබුණේ නැහැ. අතීතයේ ඇඳුමක්‌ ගන්න වෙළෙඳසලකට ගියොත් එහි තිබුණේ කාකි රෙදිවලින්, චීත්ත රෙදිවලින්, පිජාමා රෙදිවලින් මැසූ ඇඳුම් පැළඳුම් පමණයි. අවුරුද්දට එක වතාවයි දෙමාපියන්ගෙන් ඇඳුම් කට්‌ටලයක්‌ ලැබුණේ. එයත් සරල ඇඳුමක්‌. නමුත් වර්තමාන සමාජයේ දරුවන්ගේත්, වැඩිහිටියන්ගේත් රස විඳීමේ ශක්‌තියත්, ලැබීමේ ශක්‌තියත් ඊට වඩා හාත්පසින්ම වෙනස්‌. වෙළෙඳපොළකට ගියොත් දරුවෙකුට වැඩිහිටියෙකුට කුමක්‌ද මිල දීගන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. විවිධත්වය, රසය, සුඛෝපභෝගීභාවය, විසිතුරු බව එකිනෙකට වෙනස්‌ සුඛෝපභෝගී නිවාස රටාව සුඛෝපභෝගී යානවාහන, අධිපහසුකම් සහිත වෛද්‍ය සේවය, තාක්‍ෂණික උපකරණයන්ගේ දියුණුව.... මේ සියලු සැපයට අදාළ සම්පත් මනුෂ්‍ය සමාජයට ලැබෙන්නේ, පෙර ජීවිතවල දානයන්ට අදාළ සංස්‌කාරයන්ගේ උත්කෘෂ්ඨ භාවය නිසාමයි. යම් සිල්වත් භික්‍ෂුවක්‌ මේ මොහොතේ දේශනා කරන ධර්මයන් සශ්‍රික දිව්‍යතලයක වැඩසිටින දෙවියෙක්‌ දිව්‍යශ්‍රොත වලින් අසන්නේ එම දෙවියන්ගේ පින නිසා. භික්‍ෂුව මේ මොහොතේ ලියන මෙම සටහන, පිංවත් ඔබ කියවන මේ සටහන, මේ මොහොතේම ඈත දුරුරටක ජීවත්වන බෞද්ධ පිංවතෙක්‌ බොත්තමක්‌ ඔබලා අන්තර්ජාලයෙන් කියවන්නේ පින නිසාමයි.

මනුෂ්‍ය සමාජය තුළ වර්තමානයේ මතුවී පැමිණෙන තාක්‍ෂණයට අදාළ, සැපයට අදාළ, රසයට අදාළ සියලුම ධර්මතාවන්, මනුෂ්‍යයාගේම පෙර ජීවිතවල දානයන්ගේ ඵලයයි. නමුත් එම දානයේ ඵලය මනුෂ්‍ය සමාජයට සැප විපාකයන්ව පැමිණෙන්නේ අතීත සීලයේ දුර්වල භාවයන්ට අදාළ අකුසල් සංස්‌කාරයන්ගේ විපාකයන් සමඟ මුසුවෙලයි. ඒ නිසායි දිවට රසය ලැබුණත්, ශරීරයට සැපය ලැබුණත්, මනසට මිහිර ලැබුණත්, ජීවිතයට අඩු ආයුෂ ලැබී ඇත්තේ. අපි සියලුදෙනාම පෙර ජීවිතයන්හීදී විසිතුරු ආකාරයට දන් පූජා කළාට, සත්ත්ව ඝාතනයට, සත්ත්ව හිංසාවට, මිච්ඡා ආජීවයන්ට, මිච්ඡා සංකප්පයන්ට අදාළ අකුසල් සිදුකරගෙන තිබෙනවා. මේවා දුර්වල කරගෙනයි පිංවත් ඔබ දන් පූජා කරගෙන තිබෙන්නේ. 

මෙන්න මේ ධර්මානුකූල නිවැරදි ප්‍රවේශය ඔබගේ ජීවිතය තුළින් මතුකර දැකීමට පිංවත් ඔබට මේ ලබන්නාවූ නව වසරේදී පුළුවන්කම ලැබුණොත්, එය අඩු ආයුෂ අනතුරෙන් මිදීමට ඔබට ගොඩාක්‌ උපකාරිවෙනවා. මෙම අනතුර අඳුනාගැනීමට අදක්‍ෂ පිංවතා තම ජීවිතවලට අතීත දානයන්ගේ ඵලය වශයෙන් ලබාදෙන සැපය, රසය, මිහිර විඳින්නට පරමායුෂය තව තව අඩුකරගැනීමට අවශ්‍ය ප්‍රධානම සාධක වන ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් වර්ධනය කරගන්නවා. දානයේ ආනිශංස හේතුවෙන් ජනතාවට සැප, රස, මිහිර ලැබෙන විට, ඒවා භුක්‌තිවිඳීමේදී ඒවා අයිතිකරගැනීමට යැමේදී රැස්‌වෙන අකුසල මූලයන් නිසා ඔබ තබන සෑම පියවරකදීම ඔබගේ ආයුෂය හීනකර ගැනීමේ ක්‍රියාන්විතයකට ඔබ හවුල්වෙනවා. මේ ක්‍රියාන්විතය තමයි පියවරෙන් පියවර මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 ය කියන තැනට අරගෙන යන්නේ.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා 'ස්‌වාමීන් වහන්ස, නවීන තාක්‍ෂණයේ දියුණුව කොහොමද පිනේ ඵලයක්‌ වෙන්නේ' කියල. නවීන තාක්‍ෂණය හේතුවෙන් වෛද්‍ය ක්‌ෂේත්‍රයට සහ අනෙකුත් අත්‍යවශ්‍ය ක්‌ෂේත්‍රවලට පැමිණෙන නවීන තාක්‍ෂණික උපකරණ කියන්නේ, මනුෂ්‍යයාගේ දැනීමේ ඵලයයි. මේ ඕනෑම තාක්‍ෂණික උපකරණයක්‌ සොයාගන්නේ, නිෂ්පාදනය කරන්නේ මනුෂ්‍යයාගේ දැනුම තුළින්. මනුෂ්‍යයාගේ දැනුම කියන්නේ ධර්මානුකූලව අතීත කුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌. යම් පිංවතෙක්‌ නූගත්භාවයට පත්වන්නේ අතීත අකුසල් සංස්‌කාරයන්ගේ ඵලයක්‌ නිසා. එහෙමනම් නවීන තාක්‍ෂණය කියන්නේ මනුෂ්‍යයාගේ දැනුමේ ඵලයක්‌. දැනුම කියන්නේ අතීත කුසල් සංස්‌කාරයන්ගේ, පිනේ ඵලයක්‌. 

මනුෂ්‍යයාගේ අතීත පින නිසාම ලැබෙන නවීන තාක්‍ෂණය හේතුවෙන් ඔබට ලැබෙන කාලයේ ඉතිරිය, නැතිනම් විවේකය, පිංවත් ඔබ පෙරළා උපයෝගි කර ගන්නේ නැවත අකුසල මූලයන් වර්ධනය කරගැනීමටයි. ඒ කියන්නේ පින ගින්දරක්‌ බවට පත්කරගන්නවා. 

එක පිංවත් මහත්මයෙක්‌ සිටිනවා. ඔහු සිල් පද බිඳින. අනුනට හිරිහැර කරන මිච්ඡා ආජීවයෙන් ජීවත්වන අයෙක්‌. ඔහු බරපතල හදිසි අනතුරකට ලක්‌ව මරණාසන්න වෙනවා. නමුත් මනුෂ්‍යයාගේ පින නිසාම මතුවී තිබෙන නවීන වෛද්‍ය පහසුකම් හේතුවෙන් එම මහත්මයා මරණයෙන් බේරෙනවා. ඔහු මරණයෙන් බේරෙන්නෙත් ජීවත්වීමට අදාළව තිබුණා වූ අතීත කුසල් ශක්‌තියක්‌ නිසා. පෙර පින නිසා ඇතිවු තාක්‍ෂණයෙන් ඔහු ජීවිතය බේරාගත්තත්, එලෙස බේරාගත් තම ජීවිතය නැවත යොමුකරන්නෙත් මිච්ඡා ආජීවයටමයි. සිල් පද බිඳීම දෙසටමයි. බලන්න පින ගින්දරක්‌ බවට පත්කරගන්නවා. පින වැරදි ආකාරයෙන් කළමනාකරණය කරන නිසාම අනාගතයේ අඩු ආයුෂයට අදාළ සංස්‌කාර නැවත රැස්‌කරගන්නවා. එම නිසා ලබන්නාවූ නව වසරේදී පිංවත් ඔබ දක්‍ෂ වෙන්න නවීන වෛද්‍ය තාක්‍ෂණයේ විශේෂඥ දැනුම හේතුවෙන් මරණයෙන් රෝගීභාවයෙන් බේරුණ ඔබේ ජීවිතය, ඔබ මරණයෙන් බේරාදීමට උපකාරී වූ පින උදෙසාම, කුසලය උදෙසාම යොමුකරගන්න. 

වර්තමානයේ රටේ නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන්ගෙන් බිහිවුණ අධිවේගී මාර්ග තිබෙනවා. මේ අධිවේගී මාර්ග පහසුකම් බිහිවෙන්නේ ජනතාවගේ පිනේ ශක්‌තිය නිසා. සමහර ගම්මානවල පාරවල් තිබෙනවා මඩ වගුරු වගේ ඒවා එම ජනතාවගේ අකුසල් විපාකයන්. ජනතාවගේ පින නිසාමයි අධිවේගී මාර්ග බිහිවෙන්නේ. එම අධිවේගී මාර්ගවල ගමන් කිරීම නිසා ජනතාවට ලැබෙන කාලයේ ඉතිරිය, විවේකය, ජනතාව නැවත යොමුකරන්නේ අකුසල මූලයන් වර්ධනය උදෙසායි. මොන පිංවතාද අධිවේගී මාර්ගයේ මාතරට ගිහිල්ල ලැබුණ පැය දෙකේ ඉතිරිය කුසල් ධර්ම වැඩීමට යොමුකරන්නේ. ඒ කාලයේ ඉතිරියත් යොදාගන්නේ තව අකුසල් මූලයන් රැස්‌කර තව තව ආයුෂ හීනකර ගන්නා දිශාවටමයි. බලන්න දානමය පින විපාකයට පැමිණෙන විට අකුසල් වැඩිකරගනිමින් පින ගින්දරක්‌ බවට පත්කර ගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂ වෙන්න, පින නිසාම ලැබුණ නවීන තාක්‍ෂණික උපකරණ සහ ක්‍රමවේදයන් තුළින් ඔබ ලබන්නාවූ කාලයේ ඉතිරිය පංච නීවරණ වැඩෙන කාමච්ඡන්දය වැඩෙන දිශාවට නොව කුසල්ධර්මයන් වැඩෙන පිංකම් දිශාවටම ලබන්නාවූ නව වසරේදී යොමුකරගන්න. 

වර්තමානයේ පිංවතුන්ලාට බොහෝම ලස්‌සන විසිතුරු වර්ණවත් ශරීර අලංකාරයක්‌ ලැබිල තිබෙනවා. එකිනෙකට වෙනස්‌ මෝස්‌තරවලින් ඇඳුම් පැළඳුම් ස්‌වර්ණාභරණ සුවඳ විලවුන් පාවහන්.... බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමති කැමති දෙය පූජාකරන්නාට කැමති කැමති දෙය ලැබෙනවාය කියල. විසිතුරු දෙය පූජාකරන්නාට විසිතුරු විසිතුරු දෙය ලැබෙනවාය කියල. බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා 'ආනන්ද, මම කුමාර කාලයේ යම් සළුවක්‌ පෙරවූවා නම්, යම් ඇතිරිල්ලක්‌ පරිහරණය කළා නම්, ඒ සඳුන් සුවඳ ගැල්වූ සුසිනිඳු සළුවක්‌මයි. ඇතිරිල්ලක්‌මයි. මම ශරීරය දෝවනය කළා නම්, ඒ සුවඳ සඳුන් ගැල්වූ ජලයෙන්මයි කියලා. මේවා පෙර දාන පාරමිතාවන්ගේ විපාකයන්මයි. වර්තමාන සමාජය, ඇඳුමෙන්, පැළඳුමෙන්, ශරීර අලංකරණයෙන් මේ ලබන විසිතුරු භාවය, ප්‍රසන්න භාවය කුමක ඵලයක්‌ද? අතීතයේ විසිතුරු දෙය පූජාකිරීමේ හෙවත් දානයේ ඵලයක්‌මයි. එහෙම නැතිව ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ රටට නිදහස්‌ ආර්ථිකය ගෙන ඒමේ ඵලයක්‌ නම් නොවෙයි. අද මේ මනුෂ්‍යයන් ලබන විවෘත සැපය ධර්මානුකූල හේතුවක්‌. නමුත් වර්තමාන සමාජය, පෙර පින නිසා ලැබුණු මේ විසිතුරුභාවය, ඇඳුම් පැළඳුම්, ආභරණ, සුවඳ විලවුන් ආදිය ප්‍රයෝජනයට ගන්නේ බලවත් ආකාරයට අකුසල් මූලයන් වැඩෙන ආකාරයෙන්මයි.

තමන්ට නොගැලපෙන, ශීලාචාරකමට නොගැලපෙන ඇඳුමෙන් පැළඳුමෙන් වර්තමාන සමාජය ඔඩු දුවලා තිබෙනවා. බුදුරජාණන්වහන්සේ ගිහි පිංවතුන්ලාට ඇඳුම් පැළඳුම් සඳහාත් ප්‍රත්‍යවේක්‍ෂාව දේශනා කර තිබෙනවා. පිංවත් ඔබ ඇඳුමක්‌ ඇඳිය යුත්තේ සිය ශරීරයේ අලංකාරය, මදය, හැඩය, වර්ණය ලෝකයාට පෙන්වන්න නොවේ. තමන් තුළවත්, අනුන් තුළවත් කාමච්ඡන්දයන් ඇතිකිරීමට නොවේ. 'මා මේ ඇඳුම අඳින්නේ අව් වැසි පිනි වලින්, මැසි මදුරුවන්ගෙන් ආරක්‍ෂා වී, ශරීරයේ ලැජ්ජා භය ඇති තැන් වසාගැනීම සඳහායි' කියලා. නමුත් ඇඳුමක්‌ තුළින් ලැබිය යුතු මේ ධර්මානුකූල අර්ථය, වර්තමාන සමාජයෙන් අනතුරක්‌ දෙසට ගමන් කරනවා. සමහරක්‌ පිංවතුන් ඇඳුමක්‌ අඳින්නේ ශරීරයේ හැඩය, වර්ණය බාහිර සමාජයට උලුප්පා පෙන්වන ආකාරයටමයි. මෙවැනි නොගැලපෙන ඇඳුම් ඇඳගෙන මහපාරේ යන පිංවතුන්ලා ධර්මානුකූලව නම් හඳුන්වන්න වෙන්නේ 'ඇවිදින අකුසල් සාප්පු' වශයෙනුයි. මේ අය නොදැනුවත්භාවය නිසාම, සමාජයට අකුසලය 'නොමිලේම' විකුණනවා. මේ ගැන ධර්මානුකූලව අර්ථ දැක්‌වුවොත්, සැඟවිය යුතු දේවල් සැඟවූවේ නැතිනම්, නොසැඟවිය යුතු දේවල් සැඟවී යනවාය යන්නයි. වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා තුළින් සැඟවිය යුතු, ලැජ්ජාව බය ඇති තැන් ක්‍රමානුකූලව ප්‍රදර්ශනය වෙන විට, නොසැඟවිය යුතු දේවල් වන ශීලාචාරකම, ලැ-ජාව බිය නැතිනම් හිරි ඔතප් සමාජයෙන් සැඟවී යනවා. වර්තමාන සමාජය ක්‍රමානුකූලව මේ අනතුර කරා ගමන් කරනවා.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/12/20/feature04.html

http://www.maharahathunwadimagaosse.org/

0 comments: