Pages

Friday, December 11, 2015

පුංචි කුහුඹුවාගෙනුත් ඔබ ලොකු ආශ්‍රවයන් ඇති කරගන්නවාද?

මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්‍ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්‍ෂක ක්‍රමවේදයක්‌ උපයෝගී කරගෙන මඟහැරයන්න. 

මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක්‌ පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්‍ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට කේන්තියැම, සිත විසිරීමේ ස්‌වභාවයන් වැඩිවෙනවා. සමහරක්‌ පිංවතුන්ලා, දරුවන්, ධර්මය ශ්‍රවණය කරනකොටත්, අත්පුඩි ගහනවා වගේ ශරීරයට ගහගන්නවා. ඒ කියන්නේ දෂ්ට කරන මදුරුවා මරනවා. ඒ වෙලාවට භික්‍ෂුවට හිතෙනවා 'බණ අහන වෙලාවට මෙහෙම නම්, ගෙදර සිටින වෙලාවට කොහොම වෙයිද?' කියලා. එක්‌ දරුවෙක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළේ, අපේ අම්මා කෘමිනාශක යොදා නිරතුරුවම කුහුඹින්, මැස්‌සන් මරනවා කියලයි. 

ගුණාත්මකභාවයන් මඟහැර, අස්‌වැන්න වැඩිකරගැනීමේ තෘෂ්ණාධික ක්‍රමවේදයන් නිසා, කෘෂිකර්මාන්තය ආශ්‍රිතවද, කෘමිනාශක හේතුවෙන් පිංවතුන්ලා බරපතල වූ සත්ව ඝාතන, හිංසාවන්ට අදාළ ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. රූපය මාරයා හැටියට දකින්න ඇති දක්‍ෂභාවය නිසාම, මඟහැරයායුතු සිතුවිලි මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම, මඟහැරයායුතු සිතුවිලි මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම, ප්‍රාණඝාතයට සත්ත්ව හිංසනයට අදාළ ආශ්‍රවයන් ඇතිකොටගන්නවා.

පිංවත් ඔබ මැසි මදුරුවන්, ගොයම් මැස්‌සන්, කැරපොත්තන් කුඩා සතුන්ය කියලා, මෙවැනි සතුන් ඔබ අතින් මැරුණොත් අකුසලය අඩුය කියලා හිතන්න නම් එපා. ඒ සිත මාර සිතක්‌ය කියලා දැක මඟහැරයන්න. පිංවත් ඔබ නිරතුරුවම මෙවැනි කෘමි සතුන් මරාදමන කෙනෙක්‌නම්, ඔබ මැරෙන මොහොතේ මෙවැනි සත්ත්ව ඝාතනයක්‌ සිහිපත් වුණොත්, මෙවැනිම කෘමි කුලවල ඉපදීමටත්, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවහොත්, නිරතුරුවම රෝගාබාධයන්ට ලක්‌වී ජීවත්වීමටත්, ශීලයෙන් හුඟක්‌ දුර්වල කෙනෙක්‌නම්, නිරයට වැටීමටත් ඉඩ තිබෙනවා. 

වර්තමානයේ බලකාමී ලෝකයේ බලකාමී ලෝකය තුළ, වසවිස යොදා රසායනික අවි නිෂ්පාදනය වෙන්නේ, ඒවා නිෂ්පාදනය කිරීමට ලෝකයාට සිතදෙන්නේ, මනුෂ්‍යයා රසායනික කෘමිනාශක යොදා සත්ත්ව ඝාතනයන්, සත්ත්ව හිංසාවන් සිදුකිරීමේ බලවත්භාවයට ප්‍රතිධර්මයක්‌ හැටියටයි. වර්තමානයේ කෘමිනාශක යොදා මැස්‌සන්, මදුරුවන්, ගොයමේ, වගාබිමේ කෘමීන් මරාදමන පිංවතුන්ලා අනාගතයේ ඇතිවන රසායනික අවි යුද්ධවලදී, කර්මාන්තශාලා, විදුලි බලාගාර ආශ්‍රිත විෂවායු කාන්දුවීම් වලදී, අද කුහුඹින්, මැස්‌සන්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් මරණ ආකාරයටම, මියයැමට ඔබට සිදුවනු ඇත.

වර්තමානයේ කෘමිනාශක යොදා කෘමීන්ව රංචු වශයෙන් මරණ ආකාරයටම, අනාගතයේදී රංචු වශයෙන් මනුෂ්‍යයන් විෂ රසායන හේතුවෙන් මියයනු ඇත. රෝගී වනු ඇත. මේ මොහොතේත් සමාජයෙන් මැසිවිලි නැඟෙනවා, වායුගෝලය විෂ රසායනයන්ගෙන් බහුලවීම හේතුවෙන්, වාතය දූෂණය වී පෙනහලු ආශ්‍රිත බරපතල වූ රෝගාබාධයන්ට මනුෂ්‍යයා පත්වී ඇති ආකාරය පෙනෙනවා. මේ සියලු ලෝක තත්ත්වයන්, අකුසල් විපාකයන්ගේ හේතු ධර්මතාවන්ය. 

වාහනවල කළු දුම් පරීක්‍ෂා කළා කියලා, සාකච්ජා, සම්මන්ත්‍රණ තිබ්බාය කියලා මේ ලෝක ධර්මතාවන් වළක්‌වන්න බැහැ. මෙම ව්‍යසනයන්, ධර්මානුකූලව තේරුම් ගැනීමට දක්‍ෂ පිංවතුන්ලා පමණක්‌ දුක දෙසට ගමන්කරන ලෝකයාට පාවඩ එලන්නේ නැතිව, තනි තනිව, සත්ත්ව ඝාතනයට, සත්ත්ව හිංසාවට අදාළ ආශ්‍රවයන් ඇතිවන අවස්‌ථා මඟහැර යැමට දක්‍ෂ වෙන්න.

මෙතැන් සිට සමථ විදර්ශනාවට එන්න

සබ්බාවස්‍රව සූත්‍රයට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කළ, දර්ශනයෙන් වීර්යයෙන්, සංවරයෙන්, ප්‍රත්‍යවේක්‍ෂාවෙන්, දුරුකිරීමෙන්, මඟහැරයැමෙන් ආශ්‍රවයන් ප්‍රහානය කිරීමෙන් අනතුරුවයි, බුදුරජාණන්වහන්සේ සමථ විදර්ශනාවෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරන්නේ. පිංවත් ඔබ ඉහත කාරණා හයෙන් පිරිසිදුභාවයට පත්වුණොත් පමණයි, ඔබ තුළ අර්ථවත් ආකාරයට, සමථ විදර්ශනාව වැඩෙන්නේ. ඉහත කාරණා හයෙන් ඔබේ කෙළෙස්‌ ධර්මයන් තුනීකොටගැනීමෙන් තොරව, පළමු අදියරේදීම සමථ විදර්ශනාව පුහුණු වීමට ගියොත්, සමථ විදර්ශනාවේ නාමයෙන් ඔබ තුළ වැඩෙන්නේ සක්‌කාය දිට්‌ඨියමයි. එම නිසා පිංවත් ඔබ, එරමිණියා ගොතාගෙන සමථ විදර්ශනාව පුහුණුවීමට පෙරාතුව, එදිනෙදා ජීවිතයේදී, නිවසේදී, කාර්යාලයේදී, සබ්බාවස්‍රව සූත්‍රයට අදාළව ඉහත කාරණා හය ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න. එය සමථ විදර්ශනාව තුළ ශක්‌තිමත් වීමට ඔබට අර්ථවත් පූර්වකෘතියක්‌ වේවි.

සබ්බාවස්‍රව සූත්‍රය ගැන සටහන අවසන් කරනකොට, සබ්බාවස්‍රව සූත්‍රයේ අර්ථයන්ගෙන් තොරව, සමථ විදර්ශනාව පුහුණු කළ මහත්මයෙක්‌ගේ ක්‍රියාවක්‌ මතකයට එනවා. දිනක්‌ භික්‍ෂුවක්‌ ආරණ්‍යයක වැඩසිටින විට, පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා, ආරණ්‍යයේ තමන්ට භාවනා කරන්න කුටියක්‌ හිස්‌ව තිබෙනවාද කියලා. ඒ මහත්මයා ප්‍රකාශ කළේ තමන් අධිගමලාභියෙක්‌ය කියලයි. භික්‍ෂුව එම මහත්මයාගෙන් විමසුවා 'ඇයි මහත්මයා නේවාසික භාවනා කුටියක්‌ සෙයාන්නේ' කියලා. එවිට ඒ මහත්මයා කියනවා 'හාමුදුරුවනේ, මම රාත්‍රියට ආහාර අනුභව කරලා, නිවසේ මගේ කාමරයට ගිහින් දොර අගුළු දමාගෙන භාවනා කරන්න පටන්ගන්නවා. පසුදා උදෑසන හයට තේ කෝප්පයක්‌ හදාගෙන ඇවිත් මගේ බිරිඳ කාමරයේ දොරට ගහනවා. බිරිඳට කිව්වාට අහන්නේ නැහැ පාන්දර හයට දොරට ගහන්න එපාය කියලා. බිරිඳගේ මේ කරදරය නිසයි මම භාවනා කරන්න කුටියක්‌ සොයන්නේ' කියලා. ඒ මහත්මයා මේ කියන්නේ රාත්‍රී ආහාරයෙන් පසුව පටන්ගන්නා භාවනාව පසුදා උදෑසන හය දක්‌වා කරගෙන යනවා කියලා. ඒ කියන්නේ පැය 9 ක්‌ පමණ එකදිගට භාවනා කරනවා. බිරිඳගේ උදේ තේ කෝප්පය නිසා භාවනාව කැඩෙනවා කියලා. මේ මහත්මයා එක පැත්තකින් තමා අධිගමලාභියෙක්‌ හැටියට ප්‍රකාශ කරනවා. අනෙක්‌ පැත්තෙන් තමා ඉස්‌මතුකොට පෙන්වීමට අමූලික බොරුවක්‌ කියනවා. අවම වශයෙන් සිල්පද පහවත් ආරක්‍ෂා කරගන්න උත්සාහයක්‌ ගන්නේ නැහැ. සබ්බාවස්‍රව සූත්‍රයට අදාළව, ආශ්‍රවයන් හීන කිරීමේ, සිත පිරිසිදු කිරීමේ පූර්වකෘති කිරීමෙන් තොරව සමථ විදර්ශනාව පුහුණු කරලා, සමථ විදර්ශනාවේ නාමයෙන් සක්‌කාය දිට්‌ඨිය වඩවාගන්න චරිතයක කතාවකුයි භික්‍ෂුව ඉහතින් සටහන් තැබුවේ. පිsංවත් ඔබ සමථ විදර්ශනාව පුහුණුවීමට පෙරාතුව සබ්බාවස්‍රව සූත්‍රයේ අර්ථයන් නිවැරදිව ජීවිතයට එකතුකොටගෙන සමථ විදර්ශනාව සාර්ථක කොටගන්න දක්‍ෂ වෙන්න.

(සබ්බාවස්‍රව සූත්‍රයට අදාළ ලිපි මාලාව මෙතැනින් අවසන් වේ. ලබන සතියේ සිට සතර සතිපට්‌ඨානය පිළිබඳ ලිපි මාලාව ඇරඹීමට නියමිතය)

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/12/06/feature04.html

0 comments: