Pages

Sunday, December 20, 2015

සංචාරක වීසා මත පැමිණ පැමිණ පාදඩ වැඩ කිරීම

සංචාරක වීසා මත පැමිණ වැරදි වැඩ කළ විදේශිකයන් 402 ක්‌ අල්ලාගෙන ඇති බව ඊයේ 'දිවයින' වාර්තා කර තිබිණි. මේ කියන පිරිස සංචාරක වීසා ලැබ මෙරටට පැමිණ නීති විරෝධීව රැඳී සිටිමින් විවිධ ආගම් ප්‍රචාරය කිරීම, විවිධ රැකියාවල හා ව්‍යාපාරවල මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවල යෙදී සිටි අය බව කියති. වීසා කාලය ඉක්‌ම වූ පසුවත් රැඳී සිටි 121 දෙනකු පමණ ද සංචාරක වීසා මත පැමිණ රැකියාවල නිරත ව සිටි 83 දෙනකු ද වීසා වැරදි ලෙස භාවිත කළ 157 ක්‌ද නීති විරෝධීව සංක්‍රමණය කළ 20 ක්‌ද සංචාරක වීසා මගින් පැමිණ ආගමික කටයුතුවල යෙදුණු පස්‌ දෙනකු ද අසත්‍ය තොරතුරු හා ලියවිලි ඉදිරිපත් කළ දෙදෙනෙක්‌ ද ප්‍රතික්‍ෂේප කළ සරණාගත වීසා මත රැඳී සිටි 11 ක්‌ ද ඒ අතර වන බව සඳහන් ය.

අලි මදිවට හරක්‌ කීවා සේ පිටරටින් 400 ක්‌ පමණ හොරෙන් ඇවිත් මේ රටේ වැරදි වැඩවල යෙදෙන්නේ මේ රටේ සමහර පෝරිසාදයන් කරන වැරදි වැඩවලට අමතරවය. ඇත්ත වශයෙන් ම කිවහොත් මෙය සරල කතාවක්‌ හැටියට ගත යුතු එකක්‌ නොවේ. විවිධ රැකියාවල, ව්‍යාපාරවල යෙදෙන්නට මේ රටට පැමිණෙන්නේ එසේ මෙසේ සංචාරකයන් නොව කම්බා හොරුන් බව පසුගිය කාලය පුරාම ලැබුණු ප්‍රවෘත්තිවලින් සනාථ කළ හැකිය.

පසුගිය කාලයේ කල්මුණේ කුඹුරු යායක ගොයම් කපමින් හුන් පිරිසක්‌, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීහු පිරිසක්‌ වටලා අත්අඩංගුවට ගත්හ. ඒ 'ගොවි පිරිස්‌ ඉන්දියාවේ සිට සංචාරක වීසා මගින් පැමිණ අම්පාර, මඩකලපුව, කල්මුණේ, හම්බන්තොට වැනි ප්‍රදේශවල කුලියට ගොයම් කැපූ පිරිසක්‌ වුහ.

තවත් වරෙක නයිජීරියානු ජාතිකයන් පිරිසක්‌ කොළඹ තරුපහේ හෝටලයක නතර වී ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක්‌ සමඟ හවුල් ව්‍යාපාරයකට මුල පුරා තිබිණි. නයිජීරියානුවන් ඇද බෑ තඩි බොරුවලට රැවටී රුපියල් මිලියන ගණනක්‌ උන්ට පුදන්නට ද අපේ 'ව්‍යාපාර ඥානය' ඇති ව්‍යාපාරිකයන් පිරිස කටයුතු කර තිබිණි. 'බිස්‌නස්‌වල' තරම ඒ පිරිසට තේරී තිබුණේ සංචාරක වීසා වලින් පැමිණ සිටි නයිජීරියානු කම්බ හොරු රටින් හොරෙන්ම පිටව ගොස්‌ තිබුණු පසුව ය.

අපේ සංචාරක ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය ඔයාකාරය. පිටරටින් පැමිණ අපේ රටේ දුම්රියපොළවල හිඟාකෑම ද සිදුවන්නේ ඒ අනුහසිනි. තායි, රුමේනියා, උස්‌බෙකිස්‌තාන්, රුසියානු පමණක්‌ නොව අපේ රටට ආධාර දෙන චීනයේ සිට පැමිණි ගණිකාවන් ද හවස්‌ වරුවේ කොළඹ රවුමක්‌ ගසන විට එළිපිටම දැක ගන්නට හැකි ය.

2013 මාර්තු මාසයේ මීගමුවේ පිහිටි එක්‌තරා නිවසක්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබිණි. ඉතා විශාල මුදලක්‌ ගෙවා මුසල්මානුවන් පිරිසක්‌ එම නිවස බදුගෙන තිබිණි. පැදුරු කඩමාලුවල නිදා ගන්නා වේලක්‌ හැර වේලක්‌ කා ජීවත්වන ඒ පිරිස අත්අඩංගුවට ගත් පසුව හෙළි වී තිබුණේ ඔවුන් පැමිණ තිබුණේ පාකිස්‌තානයේ සිට බව ය. ඔවුහු අහමදියා නම් ඉස්‌ලාම් නිකායක සාමාජිකයන් වූහ. පැමිණ තිබුණේ සංචාරක වීසා මගිනි. මේ ඊයේ පෙරේදා ලැබුණු ආරංචි මාර්ගවල හැටියට විල්පත්තුව (අනවසර පදිංචි කිරීම්වල) සහ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි කළ සමහර පවුල්වල උදවිය කතා කරන භාෂාව කිසිවෙකුටත් නො තේරෙන එකකි. මුස්‌ලිම් හෝ දෙමළ ජනයා පවා එම භාෂාව නොදන්නා බව වාර්තා වේ.

ගණන් හිලව් ඇතුවම කිව හැකි සංචාරක වීසා මගින් පැමිණෙන උදවිය සම්බන්ධයෙන් මීටත් වඩා විමසිලිමත් විය යුතු කාලය එළැඹ ඇති බව මේ සියලු සිදුවීම් මගින් පැහැදිලි වේ. ලෝකයේ පිළිගත් සම්මතය අනුව නීත්‍යනුකූලව ඕනෑම රටකට පිවිසීම හා පිටවීම සඳහා ඕනෑම පුද්ගලයකුට ඇති අයිතිය කෙරෙහි අපි ගරු කරමු. එහි විවාදයක්‌ නැත. ප්‍රශ්නය වන්නේ එසේ පැමිණෙන ඕනෑම සුදු හම ඇති අයෙකුට, ගෝත්‍රයකට, ජාවාරම්කාර ලෝක හොරෙකුට 'ටුවරිස්‌ට්‌' වීසා රැගෙන ඕනෑම පිස්‌සුවක්‌ නටා නැවත යැමට හැකි වන පරිදි 'ක්‍රමය' සැකසී තිබීම ය. රටට ඇතුළු වී ඕනෑම පාදඩ වැඩක්‌ කර ආගමන විගමන නිලධාරින්ගේ අතටම අසු වූ පසු රටින් පිටුවහල් කරන විට 'රටට' වෙන්න ඕන හරිය සිදු වී අවසන් බව පමණක්‌ අපි අවසන් වශයෙන් සිහිපත් කරමු.

http://www.divaina.com/2015/12/19/editor.html

Pic Source

0 comments: