Pages

Wednesday, December 9, 2015

රජිව් ගාන්ධි ඝාතකයන්ගේ බලාපොරොත්තු සුන්කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතිහාසගත තීන්දුව

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතකයන් සිදු කළ බිහිසුණු ක්‍රියාදාමය නිසා ඉන්දියාව තුළ තිබූ විශ්වාසය දෙදරා ගියා. මේ නිසා යම් දිනෙක තමන් නිදහස්‌ වනු ඇති බවට රජිව් ඝාතකයන් බලාපොරොත්තු නොවිය යුතුයි.

- ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

2014 පෙබරවාරි 20 තමිල්නාඩු රජය හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස්‌ කිරීමට ගත් උත්සාහය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.

එම වසරේම ජුලි 9 දා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එරට සියලු ප්‍රාන්තවලට නියෝගයක්‌ නිකුත් කරමින් දඬුවම් ලබන වරදකරුවන් මුදා හැරීමෙන් වැළකිය යුතු බව කියා සිටියේය.

මේ පසුබිම මැද තමිල්නාඩු රජය රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධව වරදකරුවන් හත් දෙනෙක්‌ මුදා හැරීමට ගත් තීරණයට එරෙහිව නවදිල්ලි පාලනය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු විය. පසුගිය දෙසැම්බර් 2 දා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ජයලලිතා පාලනයට අතුල් පහරක්‌ එල්ල කරමින් රජිව් ඝාතකයන් මුදාහැරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජයට බලයක්‌ නැහැ යෑයි පල කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට තමිල්නාඩුවේ පමණක්‌ නොව මෙරට උතුරේ සිටින බෙදුම්වාදින්ද කොටි හිතවාදීන්ද අන්දමන්ද විය.

ඉන්දීය අගවිනිසුරු එම්. එල්. ඩට්‌ටුසු තමිල්නාඩු රජය ඉදිරිපත් කළ තර්කයද බිඳ හෙළීය.

රජිව් ඝාතන සිද්ධියේ වරදකරුවන් වූ පිරිස තමන් යම් දිනෙක නිදහස්‌ වන බවට තැබු බලාපොරොත්තුව පැහැර නොහැරිය යුතු යෑයි තමිල්නාඩු රජය කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්‌ වු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පිටු 200 ක තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කරමින් මෙලෙස පල කළේය.

තමන් නිදහස්‌වනු ඇති බවට ඔවුන් බලාපොරොත්තුවක්‌ තබා ඇත්තේ මන්ද? ඔවුන් නිසා විපතට පත් වුවන්ට කිසිදු අනුකම්පාවක්‌ දක්‌වා නැහැ. විපතට පත් වුවන්ගෙන් යෑපෙන්නන් තවදුරටත් දුක්‌ විඳිනවා.

රජිව් ගාන්ධි රටේ සංවර්ධනය උදෙසා විශාල මෙහෙයක්‌ සිදු කරන බවට ජනතාව තුළ බලාපොරොත්තුවක්‌ තිබුණා. එම බලාපොරොත්තුව රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් දෙදරා ගියා. ඝාතක පිරිසට අනුකම්පාවක්‌ දැක්‌විය යුතු යෑයි පැවසීම ජනතාව තුළින් මතු වූ දෙයක්‌ නොවෙයි.

මේ නිසා යම් දිනෙක තමන් නිදහස්‌ වන බවට ඝාතකයන් බලාපොරොත්තු නොවිය යුතුයි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම විශිෂ්ට තීන්දුව බිහිසුණු අපරාධ සිදු කළ කොටි මුදාහැරිය යුතු බවටත් ඔවුන්ට සමාව දිය යුතු බවටත් මෙරට ද්‍රවිඩ සන්ධානය රාජ්‍ය නොවන සංවිධාන හා ඇතැම් දේශපාලකයන් මෙන්ම කොටි සමග සබඳකම් පැවැත් වූවන් නඟන හඬට කදිම ප්‍රතිචාරයකි. බිහිසුණු ත්‍රස්‌තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් විශිෂ්ඨතම තීන්දුවක්‌ ලෙස මෙය දැක්‌විය හැකි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් වු සමය ශ්‍රී ලංකාවටද අතිශයින්ම වැදගත් වේ. රජිව් ගාන්ධි ඝාතකයන් දේශපාලන සිරකරුවන් යෑයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා නැත. මේ අතර බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියා සිදු කළ කොටි ත්‍රස්‌තයන් 216 කට පොදු සමාව ලබාගැනීම සඳහා උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ගේ සිට උඩරට කඳුකරයේ ද්‍රවිඩ දේශපාලන පාර්ශ්වද පසුගිය කාලය මුළුල්ලේ දැඩි උත්සාහයක්‌ ගත්තේය.

ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් යාපනයට පැමිණි අවස්‌ථාවේ මෙකී ත්‍රස්‌තයන් දේශපාලන සිරකරුවන් යෑයි හඳුන්වමින් ඔවුන්ව මුදාහරින ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසද ඉල්ලීමක්‌ ඉදිරිපත් විය.

එම ත්‍රස්‌තයන් වසර 6 ක්‌ තිස්‌සේ චෝදනා රහිතව සිරභාරයේ සිටින බවටද ඇයට පවසනු ලැබුවේ උතුරේ දේශපාලනඥයන්ය. එහෙත් මේ කොටි මුදා නොහැරිය යුතු බවට විවිධ පාර්ශ්ව විසින් සඳහන් කරනු ලැබීය. එසේ වූවත් කොටි සිරකරුවන්ගේ ප්‍රශ්නය මත හනුමන්තලා රට ගිනි තැබීමට උත්සාහ කරන බවට ඇතැම් පාර්ශව විසින් පවසනු ලැබීය.

එහෙත් ඇමරිකානු රජය අල්කයිදා ත්‍රස්‌තයන් වසර 13 ක්‌ තිස්‌සේ ගුන්තනාමෝවේ සිරකඳවුරේ රඳවා ගෙන සිටි බව බොහෝ පාර්ශවලවලට අමතක විය. මෙවන් පසුබිම මැද ඉන්දීය අගවිනිසුරු එච්. එල්. ඩට්‌ටුගේ ප්‍රකාශය කෙරේ ශ්‍රී ලංකා රජයේ බලධාරින් අවධාරණය කළ යුතුය. ඒ ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ ඝාතකයන්ට සානුකම්පාව හිමිවිය යුතුද යන්නයි.

කීර්ති වර්ණකුලසුරිය
http://www.divaina.com/2015/12/09/feature01.html

0 comments: