Pages

Monday, December 28, 2015

අධෝමාර්ගය රන් ගුදමක්‌ කරගත් 'අබ්දුල් හලීම් ඇමැති ලේකම්' මොහොමඩ් මුස්තාපා

රේගු නිලධාරින්ගේ ඇහැට වැලි ගසමින් නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට දක්‍ෂ බොහෝ තක්‌කඩි මෙරට සිටිති. නමුත් එම තක්‌කඩින්ට දිගටම එය සිදු කරගෙන යැමට හැකි වන්නේ නැත. කිනම් හෝ මොහොතක ඔවුහු නීතියේ රැහැනට කොටුවෙති. මේ කතා කරන්නට යන්නේද එවැනිම දෙයකි. එනම් රේගු නිලධාරීන්ට හොරෙන් අධෝ මාර්ගයේ රන් බිස්‌කට්‌ සඟවාගෙන සිංගප්පූරුවේ සිට පැමිණි ඇමැති ලේකම්වරයකු යෑයි කියාගත් පුද්ගලයකු අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක්‌ පිළිබඳවයි. 

අපි ඔහු මොහොමඩ් යන නමින් හඳුන්වන්නෙමු. මොහොමඩ් කතාවට දක්‍ෂ පුද්ගලයෙකි. කතාවට දක්‌ෂ යනු සුරංගනා කතා කියා මිනිසුන් ඇන්දවීමට ඔහුට හැකි නිසාය. එම දක්‌ෂතාව නිසා සුදුසුකම් නැතත් ලංකාවේ ප්‍රධාන සමාගම් කිහිපයක අධ්‍යක්‍ෂවරයකු වශයෙන් ඔහු කටයුතු කරයි. මීට අමතරව තමා මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කරන බව ඔහු අඳුනන මෙන්ම නාඳුනන අයටද පවසයි. 

මෙම තනතුරු මොහොමඩ්ට මහ මෙරක්‌ තරම් වටී. ඒ මන්ද යත් ඔහු සියලුම ජඩ වැඩ කරන්නේ මෙම තනතුර අවියක්‌ ලෙස භාවිත කරමින්ය. මොහොමඩ්ට රැවටුණ මිනිස්‌සු බොහෝ සිටිති. නමුත් තවමත් ඔවුහු මුනිවත රකිමින් සිටිති. ඒ මොහොමඩ්ගේ බලයට සහ බේගල්වලට රැවටීම නිසාය.

මීට අමතරව මොහොමඩ් නිතරම විදේශගත වේ. සමහර දිනවල අලුයම සිංගප්පූරුව බලායන ඔහු සවස්‌ කාලය වන විට නැවත පැමිණේ. සමහර මාසවල විසි වතාවකට වඩා ඔහු විදෙස්‌ගතවී ඇත. ඒ යන්නේ කුමන කාරණයකටද කියා දන්නේ ඔහුම පමණි. 

රේගු නිලධාරීහු බොහොමයක්‌ මොහොමඩ්ව හොඳින් හඳුනති. ඒ මිතුරුකමක්‌ නිසා නම් නොව රේගු නිලධාරීහු පරීක්‍ෂා කරන විට මොහොමඩ් ලොකු පාට්‌ දමන නිසාය. ඔහුව පරීක්‍ෂා කරන සෑම මොහොතකම රේගු නිලධාරීන් හට ඔහු පවසන්නේ "අහවල් ලොක්‌කව මම දන්නවා. ගිය සතියෙත් එයත් එක්‌ක පාටි එකකට ගියා. මෙන්න බලන්න බොරු නම් විසිටින් කාඩ් එක" වැනි කතාය. මීට අමතරව රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්, ලේකම්වරුන් වැනි ඉහළ නිලධාරීන්ගේ කෙටි නම් කියා ඔවුන් හොඳින් හඳුනන බව පවසා පුරසාරම් ගැසීමද මොහුගේ එක්‌ කෛරාටික ක්‍රියාවකි.

දිනය පසුගිය 22 වැනිදාය. සිංගප්පූරුවේ සිට පැමිණි Eණ 349 දරන ගුවන්යානය කටුනායක බණ්‌ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණියේ අලුයම 1.30 ට පමණය. ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයේද රේගු නිලධාරීහු පිටවී යන සියලුම මගීහු පරීක්‍ෂාවට ලක්‌ කළහ. එම මගීන් අතර මොහොමඩ් ද සිටියේය. 

එදින දුරතියාම රේගු නිලධාරීහු මොහොමඩ් ගැන ඇස ගසාගෙන සිටියෝය. ඔහුගේ වාරය උදාවිය. රේගු නිලධාරීන් මොහොමඩ්ව පරීක්‍ෂා කිරීමට සැරසුණේය. නමුත් එයට මොහොමඩ් විරුද්ධ විය. ඔහු වෙනදා මෙන් පුරසාරම් දෙඩවීමට පටන් ගත්තේය. නමුත් රේගු නිලධාරීහු ඒවා තඹ සතේකටවත් මායිම් නොකර ඔහුව පරීක්‍ෂා කිරීමට සූදානම් වූහ. වැඩේ වැරදෙන බව දැනගත් මොහොමඩ් දන්න සියලුම තුරුම්පු ගැසුවේ බේරීම සඳහාය. නමුත් රේගු නිලධාරීන්ගෙන් කිසිදු සහනයක්‌ ඔහුට ලැබුණේ නැත. ගමන් මලු ආදිය පරීක්‍ෂා කළත් කිසිදු සැක කටයුතු දෙයක්‌ සොයා ගැනීමට එම නිලධාරීන්ට නොහැකි විය. නමුත් මොහොමඩ්ගේ හැසිරීම වෙනස්‌ය. ලොකු ලොක්‌කන්ගේ නම් කිය කියා ඔහු රේගු නිලධාරීන්ගෙන් ඉක්‌මනින් මිදී යැමට සැරසෙයි. 

වරදක්‌ නොකරපු මනුස්‌සයෙක්‌ කිසිදිනක මෙලෙස නොහැසිරෙන බව මොහොමඩ්ව පරීක්‍ෂා කළ රේගු නිලධාරීහු අත්දැකීමෙන් දැන සිටියහ. මොහොමඩ්ගේ ගමන් මලු තුළ නීති විරෝධී භාණ්‌ඩ නොතිබුණෙන් ශරීරයේ කොතැනක හෝ එවැනි දෙයක්‌ තිබිය හැකි බව රේගු නිලධාරීන්ට ඉවෙන් මෙන් දැණුනි. එමනිසා වැඩිදුර පරීක්‍ෂා කිරීම සඳහා මොහොමඩ්ව රේගු අත්අඩංගුවට ගත්තේය.

සියල්ල සිදුවී අවසාන බව මොහොමඩ්ට තේරුණේය. එමනිසා ඔහු හැසිරුණේ මරන්න මස්‌ කඩයට ගෙනියන ගවයකු මෙන්ය. මරන්න ගෙන යන ගවයා ඉන් බේරීම සඳහා නොකරන දෙයක්‌ නොමැත. එසේම මොහොමඩ්ද රේගු නිලධාරීන්ගෙන් බේරීම සඳහා නොගත් උත්සාහයක්‌ නොමැත. ඒ සියල්ල අසාර්ථක වූ තැන ඔහු අවසන් තුරුම්පුවද ගැසුමේ මෙලෙසින්ය. 

"ඕගොල්ලෝ මෙහෙම අත්අඩංගුවට ගත්තට දන්නවද මම කවුද කියලා? මම තැපැල් සේවා හා මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතාගේ සම්බන්ධීකරණ ලෙකම්වරයෙක්‌. බොරු නම් මෙන්න බලන්න විසිටින් කාඩ් එක. ඒක නිසා වහාම මාව අත අරින්න... නැත්නම් දන්නවනේ වෙන දේ..." කියමින් මොහොමඩ් කෑගසන්නට විය. රේගු නිලධාරීහු එම වචන තඹ සතයකටවත් මායිම් නොකර මොහොමඩ්ව පරීක්‍ෂා කළහ.

මෙහොමඩ් පරීක්‍ෂා කළ රේගු නිලධාරීන්ට ඔහුගේ අධෝ මාර්ගයේ සඟවාගෙන සිටි ලක්‍ෂ 20 ක්‌ පමණ වටිනා රන් බිස්‌කට්‌ හතරක්‌ සොයා ගැනීමට හැකිවිය. මීට අමතරව මෙම පුද්ගලයා සතුව ව්‍යාජ නම් යෙදූ ගුවන් ගමන් බලපත්‍ර පහක්‌ තිබී ඇත. 

මොහු මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය භාර ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස රේගු නිලධාරීන්ට පෙන්වූ කාඩ්පත ව්‍යාජ ලෙස සැකසූ එකක්‌ බව එම නිලධාරීන් සොයාගෙන තිබුණි.

වැඩිදුර පරීක්‍ෂණ කිරීමේදී රේගු නිලධාරීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ මෙම පුද්ගලයා කලකට පෙර මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කර ඇති බවයි. අවසානයේ නීති විරෝධී අයුරින් රන් බිස්‌කට්‌ ගෙන ඒම යන චෝදනාව මත මෙහොමඩ්ට ලක්‌ෂ තුනක දඩයක්‌ ගසා නිදහස්‌ කර තිබුණි.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් පැවසුවේ නීති විරෝධී අයුරින් රන් බිස්‌කට්‌ ගෙන ආ පුද්ගලයා තම අමාත්‍යාංශයේ ඇමැති කාර්ය මණ්‌ඩලයේ නිලධාරියකු නොවන බවයි. ඒ වගේම හොරකම් කරන නිලධාරීන් තමා ළඟ නැති බවටත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා එසේ පවසද්දී එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ රේගු අත්අඩංගුවට පත්වී ඇති මෙම පුද්ගලයා තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ඇමැති කාර්ය මණ්‌ඩලයේ පුද්ගලික සහකාර නිලධාරියා බවයි.

ඔහුට අදාළ පත්වීම ලබාදී තිබෙන්නේ 2015.12.10 වැනි දින බවත් ඒ සඳහා ඔහුගේ නම නිර්දේශ කර තිබෙන්නේ අමාත්‍ය කාර්ය මණ්‌ඩලයේ සිටින ඇමැතිවරයාගේ විශ්වාසවන්තම පුද්ගලයකු බවද අදාළ නිලධාරියා පැවසීය. රේගු අත්අඩංගුවට පත්වීමෙන් පසු අදාළ ඇමැතිවරයා විසින් මෙම පුද්ගලයා එම තනතුරින් ඉවත් කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.

කවුරු කෙසේ කීවත් රේගු අත්අඩංගුවට පත්වූ පුද්ගලයා පට්‌ටපල් හොරෙකි. ඔහු මෙවැනි දෙයක්‌ කර ඇත්තේ පළමු වතාවට නම් වන්නට බැරිය. එයට හොඳම උදාහරණය වනුයේ නිතර නිතර මොහු විදේශගත වීමයි. කොතරම් වැරැදි කළත් අවසානයේ ඔහුට හිමි වූයේ ලක්‍ෂ තුනක දඩයක්‌ පමණි. එම දඩ මුදල ඔහුට සොච්චම් මුදලක්‌ වනු ඇත. එම නිසා මෙවැනි නීති විරෝධී වැඩ සිදු කරන පුද්ගලයන්ට නව නීති පනවා දැඩි දඬුවම් දිය යුතුය. 

ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ හර්ෂ ජයතිලක, සහකාර රේගු අධිකාරීවරුන් වන ආර්. ඒ. කේ. සමරසිරි, කේ. පී. බී. කෞෂල්‍ය, එම්. ජී. ඩී. ධම්මික, එම්. එස්‌. කනකරත්න, ආර්. එම්. ආර්. රත්නායක යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. විශේෂ ස්‌තුතිය රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්‌ලි ගාමිණී මහතාට.

ගයාන් සමරසිංහ
http://www.divaina.com/2015/12/27/feature27.html

සබැඳි ලිපි -
[
ලක්ෂ විස්සක රත්තරන් ගුදයේ ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකය මොහොමඩ් මුස්තාපාට පාස්පෝර්ට් 5ක්http://denethharinna.blogspot.com/2015/12/5.html
]

0 comments: