Pages

Monday, December 28, 2015

දානපති සමරකෝන් මහා භාරකාර වෙත භාරයක්‌ ලෙස පිහිටුවන ලද බොදු දේපළ සත්තු වත්තක්‌ බවට

පසුගියදා පළ වූ ප්‍රවෘත්තියකින් කියෑවුණේ අක්‌කර 80 කින් යුත් පිළියන්දල රෙජිඩේල්වත්ත සත්තු වත්තක්‌ කිරීමට මුල්ගල තැබූවත් තවම කිසිවක්‌ සිදු වී නැති බවයි.

රෙජිඩේල්වත්ත මීට දශක කීපයකට පෙර දානපති සමරකෝන් නමැති ප්‍රභූවරයකු විසින් මහා භාරකාර තැන වෙත භාරයක්‌ ලෙස පිහිටුවන ලද ඉඩම් වලින් එකක්‌. අන්සතු කළ නොහැකි මේ ඉඩම මීට වසර 10 කට පමණ පෙර එවකට සිටි මහා භාරකරු උසාවිය නොමඟ යවා බී.ඕ.අයි. අධි ව්‍යාපෘතියක්‌ ලෙස ලලිත් කොතලාවලට විකුණන ලදී. මේ ප්‍රවෘත්තිය දැන ගත් අප 2550 බුද්ධ ජයන්ති කමිටුව වෙනුවෙන් එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට දැනුම් දෙන ලදුව එතුමා විසින් නැවත පවරා ගැනීමට නියම කෙරිණි. ඒ අනුව මිලියන තුන්සියයක්‌ ගෙවීමේ කොන්දේසිය මත නැවත රජයට පවරා ගැනිණි. 2008 දී පිහිටුවනු ලැබූ 2600 සම්බුද්ධ ජයන්ති ජනපති මෙහෙයුම් කමිටු සාමාජිකයන් වශයෙන් නැවත වරක්‌ අප ඉල්ලා සිටියේ මෙකී රෙජිඩේල් වත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථායක්‌ ලෙස තායිලන්තයේ 2500 බුද්ධ ජයන්ති ආකෘතියේ බෞද්ධ පුස්‌තකාල, භාවනා පුහුණු මධ්‍යස්‌ථාන, සම්මන්ත්‍රණ ශාලා, නේවාසික ස්‌ථාන ඇතුළුව ථෙරාවාද බෞද්ධ පර්යේෂණ ආයතනයක්‌ පිහිටුවන ලෙසයි. මේ ඉල්ලීම පිළිගත් ජනාධිපතිතුමා රටවල් කිහිපයකම බෞද්ධ මධ්‍යස්‌ථාන කිහිපයකටම ආරාධනා කරන ලදී. අප එවැනි ඉල්ලීමක්‌ නොකළ ද එතුමාගේ එවකට අදහස වූයේ බෞද්ධ රටවලට ඉඩම් කොටස්‌ ලබා දී එය සංවර්ධනය කිරීමය. 2012 දී 2600 සම්බුද්ධත්ව ජයන්ති සමාප්තිය උත්සවයේදී දස වැදැරුම් සැලැස්‌මක්‌ (බෞද්ධයන්ගේ දියුණුව උදෙසා හේතුවන යෝජනා) ජනාධිපතිතුමාට භාර දෙන ලදී. එම යෝජනා අතර මේ රෙජිඩේල්වත්ත බෞද්ධ භාවනා පුහුණු කිරීම ඇතුළු අධ්‍යාත්ම මධ්‍යස්‌ථානයක්‌ ලෙස දියුණු කිරීම ද ඇතුළත් විය. එහෙත් එම යෝජනාව ඇරඹීමට පවා අකමැති වූ මහින්ද රාජපක්‍ෂ මහතා එය වෙනත් කටයුත්තකට යොදවන බව ප්‍රකාශ කළ අතර කලකට පසුව ආරංචි වුයේ දෙහිවල සත්තුවත්ත පුළුල් කිරීමට මේ ඉඩම යොදා ගැනීමට අදහස්‌ කරන බවය. පුවත්පත් වාර්තාව අදහස්‌ කර තිබුණේ 2014 දී මේ සඳහා මුල්ගල් තැබූවත් කිසිවක්‌ මෙතෙක්‌ සිදු වී නැති බවය. එම පුවතේ පසුබිමෙන් තිබුණු ඡායාරූප නම් එම ඉඩම මුදුනේ ආයෝජන මණ්‌ඩලය විසින් මිලියන 25 ක්‌ වියදම් කොට තැනු බෝධීන් වහන්සේ සහ බෝ මළු දෙකයි. 

මෙහිලා මා බුද්ධශාසන හා අධිකරණ ඇමැතිතුමාට ප්‍රකාශ කර සිටිනුයේ නීති විශාරදයකු වන ඔබතුමා දැන් මහාභාරකාර දෙපාර්තමේන්තුව භාර අධිකරණ අමාත්‍යවරයා මෙන්ම බුද්ධශාසන ඇමැතිවරයා ද වන බැවින් මේ නීති විරෝධී අසම්මත ක්‍රියාව නවතා ඉඩම විකුණා මිලියන සියයකට අධික වූ මුදල් ද වියදම් කොට සමරකෝන් බූදලයේ අපේක්‍ෂිත පරමාර්ථ ඉෂ්ට කර අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්‌ථානයක්‌, තායිලන්තයේ බුද්ද මන්තොන් ආකෘතියේ ආයතනයක්‌, ථෙරවාද මධ්‍යස්‌ථානයක්‌ ලෙස පිහිටුවන ලෙසයි. එසේම පසුගිය සමයේ අවභාවිතයට පත්ව ඇති මහාභාරකාර දෙපාර්තමේන්තුවට අයත් දේපළ නිවැරැදි විගණනයකට ලක්‌ කොට නැවත වරක්‌ මහජනතාවගේ උපරිම විශ්වාසවන්ත ආයතනයක්‌ බවට මහාභාරකාර දෙපාර්තමේන්තුව පත් කිරීමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.

2550 බුද්ධ ජයන්ති හා 2600 සම්බුද්ධ ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු සාමාජිකව සිටි ආචාර්ය අකුරටියේ නන්ද හිමි
http://www.divaina.com/2015/12/28/feature02.html

Pic Source

0 comments: