Pages

Friday, December 11, 2015

බුද්ධාගම රාජ්‍ය ආගම කිරීමට තායි හමුදා ආණ්‌ඩුවේ සහාය?

යහපාලන ආණ්‌ඩුව බලයට පත් වී සති කිහිපයක්‌ යද්දී මෙරට ප්‍රමුඛ පෙළේ විහාරස්‌ථානවල රැකවරණය ලබමින් සිටි ඇත් පැටවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ 'හොර අලි' යෑයි පවසමිනි. දැන් මෙරට ප්‍රකට භික්‍ෂුන් දෙනමක්‌ අත්අඩංගුවට ගැනීමට ද 'හංස්‌ ආණ්‌ඩුවේ උත්සාහයක්‌ පවතී. ඉදිරියේදී දළදා පෙරහැරේ ගමන් ගන්නා ඇතුන් ද රහස්‌ පොලිසියට ගෙන යයි ද යන උභතෝකෝටිකය පැනනගී. පන්සලක අලියකු තබාගැනීම විශාල වරදක්‌ වූයේ දේදුනු විප්ලවයෙන් පසුවය. මෙරට හොර අලි ළඟ තබා ගැනීම පිළිබඳ විවාදයන් පවතිද්දී අසල්වැසි ථෙරවාදී බෞද්ධ රටකින් වැදගත් පුවතක්‌ අසන්නට ලැබිණි. ඒ පුවත අසන්නට ලැබුණේ තායිලන්තය නොහොත් සියම් දේශයෙනි. තායි බුදුදහම අපේ සිංහල බෞද්ධයන්ගේ හදවතට සමීපය. වර්තමානයේ සිය ගණන් සිංහල බෞද්ධයෝ බැංකොක්‌ නුවරට ගොස්‌ එරටදී කඨන පිංකම් පවත්වන්නේ දෙරට අතර ඇති ආගමික සබඳතාව වඩා දියුණු වී ඇති නිසාය. තායිලන්ත ජනගහනයෙන් 94% ක්‌ බෞද්ධයන්ය. වර්තමානයේ තායිලන්තය පාලනය වන්නේ හමුදා රජයක්‌ මගිනි. තායිලන්ත ඉතිහාසය පුරාම හමුදාව රාජ්‍ය පාලනයට මැදිහත් විය. 1932 සිට රාජකීය තායි හමුදාව 12 වැනි වතාවටත් එරට සිවිල් ආණ්‌ඩුව පෙරළා දමා බලය අල්ලා ගත්තේ 2014 මැයි 22 වැනිදාය. පුරා මාසයක්‌ තිස්‌සේ පැවැති දේශපාලන අස්‌ථාවරත්වය නිසා තායි හමුදාපති ජෙනරාල් ප්‍රයුත් චාන් ඕචා එරට බලය පවරා ගත්තේය. දැන් තායි හමුදා ආණ්‌ඩුවේ අගමැති ධුරය හොබවන්නේ ද ඔහුය. පසුගියදා තායිලන්තයේ සංචාරය කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගැනීමට පැමිණියේද ප්‍රයුත් චාන් අගමැතිවරයාය.

2007 වසරේදී තායිලන්තයේ රාජ්‍ය ආගම බවට බුද්ධාගම පත් කිරීම සඳහා එරට මහා සංඝරත්නය කටයුතු කළ ද එම උත්සාහය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. නමුත් වර්තමාන හමුදා ආණ්‌ඩුව නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකර තායිලන්තයේ රාජ්‍ය ආගම බවට බුද්ධාගම පත් කිරීමේ සූදානමක්‌ පවතී, ඉහතින් සඳහන් කළ වැදගත් පුවත එයයි. තායිලන්තයේ ප්‍රමුඛ පෙළේ භික්‍ෂූන් වහන්සේ නමක්‌ වන මා බාචා හිමියෝ මේ කාර්යයේ ප්‍රමුඛ කාර්යයක්‌ ඉටුකරති. බුදු දහම රාජ්‍ය ආගම බවට පත් කිරීම වෙනුවෙන් ක්‍රියාකරන කමිටුවේ සභාපතිවරයා වන බන්ජොබ් බත්තාරුජි ප්‍රකාශ කරන්නේ තමන් මේ කටයුතු සිදු කරන්නේ බුරුමයෙන් ආදර්ශ ලබාගෙන බවයි.

බුරුම ආණ්‌ඩුව එරට බුදු දහම හා බෞද්ධයන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විශේෂ අණපනත් සම්මත කළ බවත් එය තායිලන්තයට හොඳ ආදර්ශයක්‌ බවත් බන්ජොබ් කියයි. තායි බෞද්ධයන් සියලු දෙනාම එක්‌වී මේ කටයුත්ත සාර්ථක කරගත යුතු බව ඔහු අවධාරණය කරයි. 2007 දී මෙන් නොව මෙවර බුදු දහම රාජ්‍ය ආගම ලෙස සම්මත කර ගැනීමට හොඳ අවස්‌ථාවක්‌ උදාවී ඇති බව බැංකොක්‌ සියම් විශ්වවිද්‍යාලයේ ව්‍යවස්‌ථා විශේෂඥ ඒකචායි චයිනුවාට්‌ කියයි. ඔහු මෙවැනි අදහස්‌ පළකරන්නේ තායි හමුදා ආණ්‌ඩුව ද බුදු දහම රාජ්‍ය ආගම කිරීම වෙනුවෙන් උනන්දුවෙන් කටයුතු කරන නිසාය.

හමුදා ආණ්‌ඩුවේ උපදෙස්‌ පරිදි දැන් විසිවන ව්‍යවස්‌ථා සංශෝධනය සකස්‌වෙමින් පවතී. බුදු දහම රාජ්‍ය ආගම බවට පත්කරලීමේ සංශෝධනය ඇතුළත් වන්නේ මෙයටය. දකුණු තායිලන්තයේ ක්‍රියාත්මක මැලේ - මුස්‌ලිම් අන්තවාදය නිසා එම ප්‍රාන්තවල වාසය කරන බෞද්ධයන් ඉලක්‌ක කර එල්ල වෙන ත්‍රස්‌ත ප්‍රහාර නිසාත් මේ ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට බෞද්ධ ක්‍රියාකාරීහු දැඩිව කැපවී සිටිති. බෞද්ධ ක්‍රියාකාරිකයකු වන කොර්න් මෙහිදී ප්‍රකාශ කරන්නේ තායි බුදු දහම ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් මෙම සංශෝධන සම්මත කළ යුතු බවයි.

කවරක්‌ නමුත් තායිලන්තයේ විපක්‍ෂ කණ්‌ඩායම් පවසන්නේ තායි හමුදා රජය සිය ජනප්‍රියතාවය ඉහළනංවා ගැනීම උදෙසා මෙලෙස බුදු දහම රාජ්‍ය ආගම කිරීමට කටයුතු කරන බවයි. එහෙත් තායි හමුදා ආණ්‌ඩුව අනුගමනය කරන මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව නම් ථෙරවාදී බෞද්ධයන් ලෙස අප සතුටුවිය යුතුය. නොයෙක්‌ බලපෑම් මධ්‍යයේ බුරුමයේ බුද්ධාගම ආරක්‍ෂාකර ගැනීමට හැකි වූයේ එරට හමුදා පාලනය නිසාය. බටහිර ලෝකය සම්බාධක පැනවුවද එයින් ථෙරවාදී බුදු දහමට හානියක්‌ වූයේ නැත. අවුන්සාන් සුකීගේ පාලනයෙන් පසු කවරක්‌ වෙයි දැයි අප දන්නේ නැත. සමහර තායි මාධ්‍ය ප්‍රකාශ කරන්නේ බුරුමයේ අශ්වින් විරාතු හිමියන්ගේ බෞද්ධ ව්‍යාපාරය නිසා තායිලන්ත බෞද්ධයන් අතර ද මුස්‌ලිම් විරෝධයක්‌ වර්ධනය වෙමින් පවතින බවයි. තායිලන්ත මානව හිමිකම් පර්යේෂකයකු වන සුනායි පාසුක්‌ පවසන්නේ පසුගිය කාලය පුරාම තායි බෞද්ධ සමාජය මුස්‌ලිම්වරුන් දෙස සැකයෙන් බලන බවයි. මීට මාස කිහිපයකට පෙර බැංකොක්‌ නුවර හින්දු දේවාලයක බෝම්බයක්‌ පුපුරවා හැරියේ ද මුස්‌ලිම් අන්තවාදී පිරිසක්‌ විසිනි. ඒ අනුව තායි බෞද්ධ සමාජය තුළ යම් අනාරක්‍ෂිත හැඟීමක්‌ ඇතිවීම වැළැක්‌විය නොහැකිය. මාබාචා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ආගමික ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ මුස්‌ලිම් ව්‍යාප්තවාදයෙන් බුදු දහම රැකගත යුතු බවයි.

තායි බෞද්ධයන් මුස්‌ලිම් ව්‍යාප්තවාදයට එරෙහිව රැකවරණය ඉල්ලා සිටීමේ කිසිදු වැරැද්දක්‌ නැත. 2004 සිට දකුණු තායිලන්තයේ යාලා නතරිවාත් පත්තානි යන ප්‍රාන්තවල උග්‍රවී ඇති මුස්‌ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් නිසා ඝාතනය වන්නේ බෞද්ධ භික්‍ෂුන් හා බෞද්ධයන්ය. අද එම ප්‍රාන්තවල භික්‍ෂුන් වහන්සේලා පිඬු සිඟා වඩින්නේද හමුදා ආරක්‍ෂාව ඇතිවය. මේ සියලු තත්ත්වයන් සලකා බැලීමේදී තායි බෞද්ධ ක්‍රියාකාරීන්ගේ බුද්ධාගම රාජ්‍ය ආගම කිරීමේ සටන සාධාරණය.

- චතුර පමුණුව
http://www.divaina.com/2015/12/06/feature22.html

Pic Source

0 comments: