Pages

Sunday, December 20, 2015

පාරිභෝගිකයන් වෙනුවෙන් පාරට බට බැංකු සේවකයෝ - පහළොස්‌ වැනිදා රට හෙල්ලූ බැංකු වර්ජනය

ඉකුත් 15 දා යහපාලන ආණ්‌ඩුව කුළුඳුලේ ගෙනා අයවැයට විරෝධය පා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දැවැන්ත වැඩ වර්ජනයක්‌ නූලෙන් වැළකී යන්නේ වර්ජකයන් ඉල්ලා සිටි සහන රැසක්‌ අවසාන මොහොතේදී අයවැය සංශෝධනයට එක්‌ කිරීම හේතුවෙනි. එම වැඩ වර්ජනය "දෙන්නං න්‍යායට" පින්සිද්ධ වෙන්න වැළකී ගියද එදින කොටුව දුම්රියපොළ ඉදිරිපිට දහස්‌ සංඛ්‍යාත පිරිසක්‌ එක්‌රොක්‌ වෙමින් දැවැන්ත වැඩ වර්ජනයක්‌ දියත් කරන ලද්දේ ඔවුනගේ පාර්ශවය විසින් ඉල්ලා සිටි ඉල්ලීම් කීපයක්‌ සඳහා රජය විසින් සාධනීය විසඳුම් ලබා නොදීම හේතුවෙන් තනිව සටන් කිරීමේ තම හැකියාව රටට පෙන්වමිනි.

ලංකා බැංකු සේවක සංගමය නායකත්වය දෙමින් සිදුකළ මෙම එක්‌දින වැඩ වර්ජනය සඳහා මෙරට පිහිටි ප්‍රධාන රාජ්‍ය බැංකු අටක්‌ සහ පෞද්ගලික බැංකු දොළහක්‌ එක්‌ව තිබීම විශේෂ කරුණකි. ඒවා නියෝජනය කරමින් දහස්‌ සංඛ්‍යාත බැංකු සේවක සේවිකාවන් එම වැඩ වර්ජනය සඳහා එක්‌ව තිබුණි. ඒ හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල දෛනික බැංකු කටයුතු අඩාලව ගොස්‌ තිබූ අතර විරෝධතාව හේතුවෙන් කොටුව දුම්රියපොළ ඉදිරිපස මාර්ගය ඇතුළු අවට ප්‍රදේශවල දැඩි මාර්ග තදබදයක්‌ හටගෙන තිබුණි.

මෙතෙක්‌ කලක්‌ තම වෘත්තීය අයිතීන් දිනාගැනීම මුල්කර ගනිමින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජන සංකල්පයෙන් මිදුණු වර්ජකයන් මෙවර වීදි බැස තිබුණේ වෙනත් කරුණු කීපයක්‌ මුල්කර ගනිමින් වීම ඉකුත් 15 දා සිදුකළ වර්ජනයේ දක්‌නට ලැබෙන සුවිශේෂී කරුණකි. එහිදී උස්‌ව හඬ නැංවුණු සටන් පාඨ විරෝධතා පුවරු ආදියෙන් කියවුණේ යහපාලන ආණ්‌ඩුවේ මංගල අයවැය දේශීය බැංකු පද්ධතියේ අවමංගල්‍යය සිදු කිරීමේ කුමන්ත්‍රණයකට අතගසා ඇති බැවින් ඒවා ඉවත් කර ගන්නා ලෙසත් අහිතකර යෝජනා ලෙස සඳහන්ව ඇති දැ සංශෝධනය කරන බවට තහවුරුවක්‌ ලබා දෙන ලෙසත් ඉල්ලමිනි.

2002 වසරේදී මහජන බැංකුව පුද්ගලීකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ දැවැන්ත වැඩවර්ජනයෙන් අනතුරුව වසර 13 කට පසු සිදුකළ 15 දා වර්ජනයෙන් වර්ජකයන් ඉල්ලීම් කීපයකට සාධාරණ විසඳුම් ඉල්ලා සිටි අතර ඉන් ප්‍රධාන තැනක්‌ ගත්තේ 2016 ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලීසිං කටයුතු තහනමට විරෝධය පෑම, රන් උකස්‌ ණය සීමා කිරීමට විරෝධය පෑම, මුදල් ආපසු ගැනීමේදී අය කිරීමට නියමිත බදු මුදල ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම, සුළු පරිමාණ ජංගම ගිණුම් හිමියන් බැංකුවෙන් ඉවත් කිරීමට විරෝධය පෑම, මෙරට ජනතාවට අයිති අතිවිශාල වත්කම් සමුහය වන EPF හා ETF අරමුදල් මහජන ධනභාරය නමින් අරමුදලකට බැර කොට කොටස්‌ වෙළෙඳ පොළෙහි ආයෝජනය කිරිමට එරෙහි වීම, අත්තනෝමතික බදු බරක්‌ ජනතාව මත පැටවීමට යැමේදී බැංකු පද්ධතිය මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම, අක්‍රීය ගිණුම්වල ඇති මුදල් භාණ්‌ඩාගාරයට ලබා ගැනීමේ යෝජනාවට එරෙහි වීම, රාජ්‍ය බැංකු ඒකාබද්ධ කිරීම ආදියට එරෙහි වීම ආදී කරුණු වේ.

ඉහත සඳහන් කරුණු සම්බන්ධව රජය සාධාරණ විසඳුම් ලබා නොදෙන්නේනම් රටේ ජනතාව සතු රාජ්‍ය හා පෞද්ගලික බැංකු පද්ධතියේ ඉදිරි පැවැත්ම දැඩි අවධානමකට ලක්‌වන බව පෙන්වා දුන් වර්ජකයන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තමන් විසින් දියත් කරන ලද 15 දා වර්ජනය රටේ මුළු මහත් ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා සිදුකළ එකක්‌ මිස දේශපාලන පක්‍ෂ පාට වෙනුවෙන් දියත් කළ විරෝධතාවක්‌ නොවන බවය.

මෙම විරෝධතාව සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එහි ක්‍රියාකාරිකයෙකු අදහස්‌ දක්‌වමින්.

ආණ්‌ඩුවෙ මංගල අයවැය විසින් යෝජනා කරල තිබෙන නව ආර්ථික සැලසුම් අතරේ රටට අහිතකර යෝජනා රාශියක්‌ අපි දකිනවා. ඒක දේශීය බැංකු පද්ධතියට පමණක්‌ සීමාවූ යෝජනා නෙවෙයි. ඒ තුළින් රටේ කෘෂිකර්මාන්තය, දේශීය ව්‍යාපාර, ධීවර කර්මාන්තය වැවිලි අංශය මේ හැම දෙයක්‌ම අනාගතයේදී අවධානමකට ලක්‌වීමේ පෙරනිමිති පහළවෙලා ඉවරයි.

විශේෂයෙන් අපි මේ විදියට ඉතාමත් සාමකාමී අයුරින් පාරට බැහැලා එක්‌දින වර්ජනයක්‌ තුළින් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේ රටට අහිතකර මේ යෝජනා ඉල්ලා අස්‌කර ගන්න, එහෙම නැත්නම් රටට ගැලපෙන අයුරින් සංශෝධනය කරන්න කියලා රජයට බල කරන්න මිසක්‌ වෙනත් අරමුණක්‌ මුල්කරගෙන නොවෙයි. විශේෂයෙන් මතක්‌ කරන්න ඕන මේක ජනතාවගේ පැත්තෙන් හිතලා ගත්ත තීරණයක්‌.

අයවැය යෝජනා මගින් රජය අදහස්‌ කරන්නේ විදේශීය ආයෝජන මත විශ්වාසය තියලා රට ගොඩනඟන එකනම් ඒක ආණ්‌ඩුව පැත්තෙන් සාධාරණ වෙන්න පුළුවන්. ඒත් ඒ තුළ අපි දකිනව අනාගතයේදී දේශීය බැංකු පද්ධතිය කඩා වැටීමේ අවධානමක්‌. ඒ නිසා අපි සංගමයක්‌ විදියට මෙ රටේ පුරවැසියන් විදියට රජයෙන් ඉල්ලා සිටින්නේ බැංකු පද්ධතියට පවතින්න දෙන්න. ඒවා සම්බන්ධයෙන් දේශපාලන තීන්දු තීරණ ගන්න එපා කියලයි. මෙතැන රාජ්‍ය බැංකු අටක්‌ සහ පෞද්ගලික බැංකු රාශියක්‌ තියෙනවා. පුද්ගලික වේවා රාජ්‍ය වේවා මේ සියලු බැංකුවල අයිතිය පවතින්නේ රටේ මහජනතාව මත. ආණ්‌ඩුවක්‌ කියන්නේ ඒවයෙ භාරකරුවෙකු විතරයි. දේශීය බැංකු පද්ධතියත් සමග සූදු කෙළින්න ආණ්‌ඩුවකට අයිතියක්‌ නෑ. රජයේ අවශ්‍යතාවකට මුදල් ටික දෙන්නෙ, රාජ්‍ය සේවකයාගේ විශ්‍රාමිකයාගේ වැටුප ගෙවන්නෙ, වගා ණය සඳහා කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය මුදල් ටික දෙන්නෙ, ප්‍රධාන රාජ්‍ය බැංකු තුනෙන් නම් රට ආර්ථික වශයෙන් අසීරුතාවට පත්වෙද්දී ලෝකයෙන් ණය ආධාර ලබාගන්නේ රාජ්‍ය බැංකු ටික සතු දැවැන්ත වත්කම් පෙන්නල නම් අපි රජයෙන් අහන්නෙ ඇයි මේ වගේ රටට අහිතකර යෝජනා ගෙනැවිත් දේශීය බැංකු පද්ධතිය අවදානමකට ලක්‌කරන්නෙ කියලයි.

මේ වන විට බැංකු මගින් ලබාදී තිබෙන ලීසිං පහසුකම්වල වටිනාකම විතරක්‌ රුපියල් මිලියන අසූ පහක්‌. වෙළෙඳපොළ හුවමාරු වන මුදලින් සියයට හැට පහක්‌ තියෙන්නෙ ලංකා බැංකුව සතුව. දුප්පත් ජනතාව මුද්ද වළල්ල උකස්‌ කරල සහනදායී පොලියක්‌ යටතේ මුදල් ලබාගන්න එන්නෙ බැංකුවට. ඒක ගනුදෙනුවක්‌ පමණක්‌ නොවෙයි සමාජ සත්කාරයක්‌ බව තේරුම්ගත යුතුයි. මේව කප්පාදු කරන්න රජය තීරණය කරන්නෙ බැංකුවල කාර්යක්‍ෂමතාවය වැඩි කරන්න නම් ඒකට විසඳුම වෙන්නෙ ඕනෙ කප්පාදුව නොවෙයි. තාක්‍ෂණික ගැටලු තියෙනවා නම් ඒවාට විසඳුම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක්‌ යෝජනා කිරීම පමණයි රජය කළ යුත්තෙ. මේ කියන අයවැය යෝජනා තුළින් ජනතාව සතු මූලික අවශ්‍යතාවන් පවා යටපත් වෙනවා. ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ ගනුදෙනුකරුවන් බැංකුවෙන් ඉවත් වීම ඉන් පස්‌සේ පුද්ගලික ආයතන හොයාගෙන යන්න සිද්ධ වෙනවා. ඒකෙ ප්‍රතිඵලය වෙන්නේ තව තවත් සක්‌විතිලා බිහිවීම පමණයි. ඒ හින්දා රටේ බැංකු ක්‍ෂේත්‍රය නියෝජනය කරන ප්‍රබලම වෘත්තීය සමිති ව්‍යාපාරය විදියට අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ මේ අහිතකර යෝජනා ඉල්ලා අස්‌කරගන්න, තවදුරටත් බැංකු පද්ධතිය සුරක්‍ෂිත කරල දෙන්න කියලයි.

තම පුද්ගලික අභිලාෂයන් පසෙක තබමින් මුළු රටම නියෝජනය වන අයුරින් දියත් කළ එක්‌දින බැංකු වැඩ වර්ජනය විසින් රජයෙන් ඉල්ලා සිටියේද තවදුරටත් ඉල්ලා සිටින්නේද රටේ බැංකු පද්ධතිය සුරක්‍ෂිත කර දෙන ලෙසය. එය ප්‍රබලව නැඟුණු හඬක්‌ බැවින් ඒ සම්බන්ධව අවධානයක්‌ රජයෙන් යොමු විය යුතුය. මේ සියලු කාරණා හේතුවෙන් පීඩාවට පත්වෙන තවත් පිරිසක්‌ වන්නේ රටේ මහජනතාවය. ජනතාවාදී යහපාලන ආණ්‌ඩුව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා තීන්දු තීරණ නිවැරදි විය යුත්තේ ජනතාවගේ පැත්තෙන් සිතා බැලීමෙන් අනතුරුවය.

රුවන් ජයවර්ධන
http://www.divaina.com/2015/12/20/feature24.html

Pic Source

0 comments: