Pages

Sunday, October 4, 2015

අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - 3 නොනිමි මෙහෙවරක සටහන්

සෙන්පති ඕල්කට්‌තුමාද බ්ලැවට්‌ස්‌කි මැතිනියද ලන්ඩනයේ සිට පැමිණ සිටි කූපර් ඕක්‌ලි යුවල හා සි.ඩබ්. ලෙඩ්බීටර් ද කැටුව යාමට මාගේ පියා මට අවසර දී තිබුණේය. මේ පිරිස අද්යාරයට කැඳවාගෙන යාමට මදුරාසියේ සිට සෙන්පති ඕල්කට්‌තුමා ආචාර්ය µ්‍රdන්ස්‌ හාට්‌මන් සමඟ පැමිණියේ ය. මේ වන විට කොළඹින් පිට වීමට සියල්ලම සූදානම් කරගෙන සිටියෙමි. එදින උදේ පාන්දර ම මට කථා කළ මාගේ පියා තමා නරක සිහිනයක්‌ දුටු හෙයින් ගමන නොයන ලෙස මට කීවේය. අද්යාරයට යන ගමන වැලැක්‌වීමට සුදුසු නොවේ යෑයි ද සෙන්පති ඕල්කට්‌තුමා මා සමඟ යන බැවින් මට කිසිම දෙයක්‌ සිදුවන්නේ නැතැයි ද මම මෙහිදී කීවෙමි. එහෙත් මගේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ ඔහු, මා මගේ මුත්තා ළඟට කැඳවාගෙන ගියේය. ඔහු ද මා නොයා යුතු බව කීය. ඉක්‌බිතිව දෙදෙනාම රියකට නැගී මා ද සමඟ සුමංගල නා හිමියන් වෙතට ගියෝය. උන්වහන්සේද මට නොයන ලෙස උපදෙස්‌ දුන්හ. මෙහිදී කනගාටුව ප්‍රකාශ කළ මම, මගේ කර්මයට අනුන් මැදිහත් විය යුත්තේ මන්දැයි ඇසීමි. එවිට සුමංගල නා හිමියන් සිය දෙවැනියා වූ ගෞරවාර්හ අමරමෝලි ස්‌ථවිරයන් අමතා පිරිස සමඟ ගොස්‌ සෙන්පති ඕල්කට්‌තුමා, හමු වී කාරණය බේරුමක්‌ කරගන්නා ලෙස කීහ. ඉක්‌බිතිව අපි සියල්ලෝම එහි ගියෙමු. එහිදී සෙන්පති ඕල්කට්‌තුමා, පියාගේ කීමට විරුද්ධව මට යැමට කොහෙත්ම ඉඩ නොදෙන බව කෙළින්ම කීය. එවිට එතැනට දිවගෙන ආ බ්ලැවට්‌ස්‌කි මැතිනිය, මට යාමට ඉඩ නොදුනහොත් මා මිය යනු ඇතැයි ද කීවාය. එපමණක්‌ නොව මා අද්යාරයට යාම ගැන බිය නොවිය යුතු බවද සුරක්‌ෂිතව මාගේ ආපසු ඒම ගැන ඇය බලාගන්නා බවද කීවාය. යම් විදියකින් මට යන්නට ඉඩ නොදුනහොත් මා ඒකාන්තයෙන්ම මිය යනු ඇතැයිද පැවසුවාය. මාගේ පියා ඒ විට බිය විය. ඉක්‌බිති බ්ලැවට්‌ස්‌කි මැතිනියට මම භාර කරනු ලදිමි. ඈ තමා සමඟ මා අද්යාරයට කැදවාගෙන ගියාය. මම දින කීපයක්‌ එහි ගත කළෙමි. දිනක්‌ ඇයගේ කාමරයට මා කැඳවාගෙන මට හිඳගන්නට කියූ ඇය මා ගුප්ත විද්‍යා අධ්‍යයනය නොකළ යුතු බවද අවශ්‍ය සියල්ල අඩංගු පාලි භාෂාව මා ඉගෙන ගත යුතු බව ද මානව වර්ගයා වෙනුවෙන් මා වැඩ කළ යුතු බවද පවසා මට ආශිර්වාද කළාය. ඒ තැන් පටන් මගේ ජීවිතය මනුෂ්‍ය වර්ගයාගේ හිත සුව පිණිස කැප කිරීමට මම අධිෂ්ඨාන කර ගතිමි. ඒ කාලයේදී පරම විඥානාර්ථ වාතාවරණය, ගෞතම බුදුන් වහන්සේට හිමාලය ආචාර්යවරුන් ඇත්තා වූ ශ්‍රද්ධාව පෙන්නුම් කරන "පරම විඥානාර්ථවාදියා" සඟරාවේ ලිපිවලින් පෙනීයන පරිදි බුදුන් වහන්සේට හිමාල ආචාර්යවරුන් තුළ පවත්නා ශ්‍රද්ධා භක්‌තිය පිළිබඳ සුගන්ධයෙන් පිරී පැවතුණේය. මම කොළඹට ආපසු ආවෙමි. මාගේ පොරොන්දු මා හොදින් ඉටුකර තිබුණේය. සාංගමික රැස්‌වීමෙන් නොබෝ දිනකට පසුව 1885 දී බ්ලැවට්‌ස්‌කි මැතිනිය අද්යාරයේ සිට යුරෝපයට යාම සඳහා නැවේ නැංගාය. ඒ නැව යුරෝපයට යන අතරමඟදී කොළඹට පැමිණීමෙන් මම ඇය බැලීමට එහි ගියෙමි. ඒ අවුරුද්දේ ම නොවැම්බර් මාසයේදී දෙමවුපියන්ගේ ඉවත් වී කොළඹ පිහිටි පරම විඥානාර්ථ මූල ස්‌ථානයෙහි නතර වීමට මට දෙමවුපියන්ගේ අවසරය ලැබුණි. ඒ වන විට මට ආශිර්වාද කළ මගේ මව, බාල සොහොයුරන් දෙදෙනා නිසා නොවේ නම්, තමා ද මා සමඟ එකතු වන බව පැවසුවාය. පවුලේ වැඩිමලා වූ මා ඔහුගෙන් වෙන්වුවහොත්, කුඩා දරුවන් බලාගන්නේ කවරෙක්‌දැයි මගේ පියා ප්‍රශ්න කළේය. ඒ විට මම එකිනෙකා රැක බලා ගැනීමට එකිනෙකාගේ කර්ම ඇති බව කීවෙමි. අනතුරුව මගේ මුළු කාලයම ශාසනය වෙනුවෙන් කැපකිරීමට මා සිතාගෙන සිටින හෙයින් බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගතකරනු සඳහා නිවසින් ඉවත්වීමට මට අවසරය ඉල්ලා මම පියාට ලියුමක්‌ ලීවෙමි. එමෙන්ම පරම විඥානාර්ථ සමාගම බුද්ධාගමේ යහපත උදෙසා වැඩ කරන හෙයින් එම මූලස්‌ථානයේ ම නතර වී සිටීමට මා කැමති බව ද මාසයකට රුපියල් පහ ගණනේ මට ලැබෙන්නට සැලැස්‌සුවහොත් මනා බවද මම දැන්වීමි. මම මගේ පවුලෙන් ඉවත් වීමි. එතැන් පටන් මම මගේ සියලුම ආත්මාර්ථකාමී ඕනෑ එපාකම් ඉවතලමින් ඉමහත් භක්‌තියකින් මනුෂ්‍ය වර්ගයාගේ හිතසුව පිණිස වැඩ කරමින් සිටිමි. පරම විඥානාර්ථ සමාගමේද බුද්ධාගමේ අභිවෘද්ධිය සඳහා දිවා රාත්‍රී දෙකෙහිම මම වැඩ කළෙමි. 1886 පෙබරවාරි මාසයේදී සෙන්පති ඕල්කට්‌තුමාත් සි.ඩබ්. ලෙඩ්බීටර් මහතාත් බෞද්ධ අධ්‍යාපනික අරමුදලට ආධාර එකතු කරනු සඳහා කොළඹට පැමිණියහ. ඒ කල මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සේවකයෙකු, ලිපිකරුවෙකු මෙන් වැඩ කරමින් සිටියෙමි. මගේ දිවා ආහාරය නිවසේ සිට දිනපතාම මූලස්‌ථානයට එවනු ලැබීය. සෙන්පති ඕල්කට්‌තුමාට සිය චාරිකාවේදී කැටුව යාමට කෙනෙකු සිටියේ නැත. තම චාරිකාවේදි තමා සමඟ යැමට කිසිම බෞද්ධයෙකු කැමති නොවන්නේ නම් තම කාලය නාස්‌ති කිරීමෙන් පලක්‌ නැතැයි එතුමා කීවේය. තම පවුලෙන් ඉවත්වී ඕල්කට්‌ තුමා සමඟ යාමට කිසිම කෙනෙක්‌ සමාගමේ සිටියේ නැත. මෙය නම් මගේ රක්‌ෂාවෙන් ඉල්ලා අස්‌වීමෙන් තවත් පරිත්‍යාගයක්‌ කිරීමට අවස්‌ථාවකැයි මම කල්පනා කළෙමි. එතුමා සමඟ යාමට මම සූදානම් යෑයි මම ඕල්කට්‌තුමාට කීවෙමි. එකිනෙහිම මම තුන් මසක නිවාඩුවක්‌ ඉල්ලා අධ්‍යක්‌ෂකට ලිපියක්‌ ලියුවෙමි. කිසිම ප්‍රමාදයක්‌ නොමැතිව නිවාඩුව දෙන ලද්දේය. ඊට කලින් ලිපිකරු විභාගයට පෙනී සිටිද්දී ඒ විභාගයෙන් සමත් වුවහොත් රජයට නොබැඳෙන බවටද, මනුෂ්‍ය වර්ගයාගේ හිත සුව පිණිස මුළු හදින්ම ක්‍රියාකරන බවටද මම දිවුරා පොරොන්දු වී සිටියෙමි. ඒ කල මම කේ.එච්. මහතාගේ දැඩි අනුගාමිකයෙකු වී සිටියෙමි. ඔහුගේ නාමයෙන් සේවය කිරීමට මම අතිශයින් ප්‍රිය කළෙමි. සෙන්පති ඕල්කට්‌තුමාත්, ලෙඩ්බීටර් මහතාත්, මමත් ඔහුගේ රථයෙන් චාරිකාවට පිටත් වීමු. ඒ රථයෙහි තට්‌ටු දෙකක්‌ වීය. ඉහළ තට්‌ටුවෙහි ඒ දෙදෙනා නිදා ගත් අතර පහළ තට්‌ටුවෙහි මම නිදා ගත්තෙමි. මාස දෙකක කාලයක්‌ තිස්‌සේ අහිගුණ්‌ඨික ජීවිත ගත කළෙමු. ඔහු ලේඩ්බීටර් පිළිබඳව එච්.පී.බී.ට ලියන ලද ලියුම, එස්‌.පී. සීනට්‌ට ලියන ලද බ්ලැවට්‌ස්‌කි ලියුම්වල පළවිය. සෙන්පති ඕල්කට්‌තුමා ලංකාවෙන් බැහැර වී මදුරාසියට ගිය අතර, ලෙඩ්බීටර් සහ මම දිගටම චාරිකාවේ යෙදුණෙමු. රට අභ්‍යන්තරයේදී මට යටත් විජිත ලේකම්ගෙන් ලිපියක්‌ ලැබුණේය. මා විභාගයෙන් සමත් වී ඇති බවද රජයේ තනතුරකට මා පත්කර ඇති බවද ඒ ලියුමේ සඳහන් කර තිබුණි. ඒ කෙනෙහිම එයට පිළිතුරු ලිවූ මම මාගේ ආගම වෙනුවෙන් වැඩ කරන හෙයින් රජයේ සේවයෙන් ඉල්ලා අස්‌වන බව දැනුම් දුන්නෙමි. අප කොළඹට පෙරළා පැමිණි පසු මගේ පියා මට කථා කරමින් රජයේ තනතුර භාරගන්නා ලෙසද ඉන් ලැබෙන මුළු වේතනය පරම විඥානාර්ථ සමාගමට දෙන ලෙසද කීය. ඔහු මා යටත් විජිත ලේකම් වෙත ගෙන ගියේය. ලේකම් ඉල්ලා අස්‌වීමේ ලිපිය ආපසු ගන්නා ලෙස කීය. මම එය ප්‍රතික්‌ෂේප කළෙමි. ඉක්‌බිතිව ප්‍රබෝධයෙන් මම ඒ තැනින් ආවෙමි.

ඒ කාලයේදී හිමාලයානු ආචාර්යවරයෝ සත්‍යයක්‌ම වූහ. එච්.පී.බී. ඒ කල යුරෝපයේ වැඩ කරමින් සිටියේය. අද්යාරයේ සිටි ටී. සුබා රෝ, කූපර් - ඕක්‌ලි ප්‍රමුඛ ඒ පිරිස විසින් එච්.පී.බී. ටත් වඩා ගුප්ත විද්‍යාවන්හි දක්‌ෂයෙකැයි පිළිගනු ලැබීය. අද්යාරයේදී බුදුන් වහන්සේට ලැබී තිබුණ තැන කෙමෙන් ශංකරාචාර්යටත් ඔහුගේ අද්වෛත වාදයටත් ලැබෙමින් පැවතිනි. අද්යාරයේ ගුප්ත විද්‍යා කාමරය ගලවා දමන ලදී. එහි ගුරුවරු එ තැනින් ඉවත් වී ගොස්‌ සිටියහ. එච්.පී.බී. ලන්ඩනයේ තම ගුප්ත විද්‍යාත්මක පරම විඥානාර්ථ පාසල අරඹා තිබුණි. සුබා රෝ මිය ගොස්‌ සිටියේය. අද්යාරය ව්‍යාපාරික ස්‌ථානයක්‌ බවට පත්වී තිබුණි. එහි පුස්‌තකාලයක්‌ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණේය. පරම විඥානාර්ථවාදී සමාගම සාර්ථක කරගනු සඳහා බලවත් වෙහෙසකින් ලංකාවේ වැඩ කරගෙන ගියෙමි. මෙහිදී මට සී.පී. ගුණවර්ධන, විලියම්ස්‌ ආබ්‍රෑ, දොන් කරෝලිස්‌ හා වෙනත් ස්‌වල්ප දෙනෙකුන් ගේ නොමඳ සහයක්‌ ලැබුණි. මේ ව්‍යාපාරයට මුදල් ආධාර දුන් මගේ මුත්තා එහි සභාපතිවරයා වීය. කෙටි කැතිකීස්‌මයක්‌ සූදානම් කරන ලෙස ඕල්කට්‌තුමා ලෙඩිබීටර් ගෙන් ඉල්ලා සිටියේය. ලොකු එකෙන් ඔහු කෙටි එකක්‌ සම්පාදනය කළේය. ඉක්‌බිතිව සෙන්පති ඕල්කට්‌තුමා එය සිංහලයට පරිවර්තනය කරන ලෙස මට දැන්වූයෙන්, මම සුමංගල නා හිමියන්ගේද ආධාර ඇතිව එසේ කළෙමි. ලෙඩ්බීටර් විසින් සම්පාදනය කරන ලද එහි දෙවැනි කොටස බෞද්ධ ඉංග්‍රීසි පාසල් ගුරුවරුන් වූ ජේම්ස්‌ පෙරේරා සහ විමලසූරිය විසින් පරිවර්තනය කරන ලදී. මේ සංස්‌කරණ දෙකම, ණයකර නිකුත් කිරීමෙන් උපයා ගත් මුදලින් සෙන්පති තුමා පිහිට වූ බෞද්ධ මුද්‍රණාලය මඟින් මුද්‍රණය කරන ලදී. මගේ මුත්තාට එහි කොටස්‌ 50 ක්‌ තිබුණ අතර, අනෙක්‌ අයට ඊට වඩා අඩුවෙන් තිබුණි. මම ඒ එක්‌ එක්‌ අය වෙත ගොස්‌ තම තමන් ගේ කොටස්‌ සමාගමට පරිත්‍යාග කරන ලෙසට ඉල්ලා සිටියෙමි. මුලින්ම මගේ මුත්තා ළඟට ගිය මම ඔහුගේ කොටස්‌ සමාගමට පරිත්‍යාග කරවා ගැනීමෙන් පසු ඉතිරි වැඩ කොටස ලෙහෙසි විය. එක්‌ තැනැත්තෙකු හැර අන් සියලුම දෙනා තම තමන්ගේ කොටස්‌ සමාගමට පරිත්‍යාග කළහ. මෙයින් මුද්‍රණාලය බෞද්ධ පරම විඥානාර්ථ සමාගමේ දේපොලක්‌ බවට පත්විය. මම බොහෝ මහන්සියෙන් වැඩ කොට, "සඳරැස" ණය බරෙන් මුදවාගෙන ස්‌ථිර අඩිතාලමක පිහිටුවා ගතිමි. මම සෙන්පතිතුමාගේ රියෙන් බටහිර පළාතේ ගමෙන් ගමට යමෙන් අධ්‍යාපන ව්‍යාපාරය ජනප්‍රිය කරවීම සඳහා දේශනා පැවැත්වීමි. මේවන විට ලේඩිබීටර් මහතා සිය ඉරු දින පාසල් කොළඹ අරඹා තිබුණි. පසුව ශිෂ්‍යයන් ස්‌වල්ප දෙනෙකුට ඉගැන්වීම සඳහා ඉංග්‍රිසි පාසලක්‌ද ආරම්භ කළේය. ඒ ශිෂ්‍යයන්ගෙන් කෙනෙකු දැන් ප්‍රකට ජිනරාජදාස. ඔහු ජිනරාජදාසට මහත් සේ ඇලුම් කළේය. තමා සමඟ ඔහු ලන්ඩනයට යතොත් මැනවැයි ඔහු කල්පනා කළේය. එහෙත් ඔහු ගේ පියා එයට ඉඩ දුන්නේ නැත. එහෙත් කල් යාමේදී තරුණ ජිනරාජදාස රැගෙන යාමට ඔහු සමත්විය. නාහිමියන් සමඟ සාකච්ඡා කළ ලෙඩ්බීටර්, සත් අවුරුද්දකට පසුව තරුණයා කැටුව අවුත් භික්‌ෂු ශාසනයට ඇතුළුවන බව කීය. එහෙත් සත් අවුරුද්දක්‌ ලන්ඩනයේ ගත කළ ජිනරාජදාසට ලංකාව අමතක වූයේය. ඒ කාලය අවසානයේදී ලංකාවට ආපසු ඒම ඔහු ප්‍රතික්‌ෂේප කළේය. 

1889 දී ජපානයේ බෞද්ධයන්ට සෙන්පති ඕල්කට්‌තුමා ලංකාවේ ඉටුකළ සාර්ථක කාර්යභාරය ගැන දැන ගන්නට ලැබීමෙන් එතුමා ජපානයට කැඳවාගෙන යාමට ඔවුහු ජපන් නියෝජිතයෙකු එවූහ. 1888 දෙසැම්බර් මාසයේදී ඔහු කොළඹට පැමිණියේය.. ඔහු ආපසු යනතුරු මම ඔහුට සංග්‍රහ කළෙමි. මෙහිදී ඔහු මා ගැන කෙතරම් පැහැදුණේ ද යත් ඔහු සමඟ ජපානයට යාමට එන ලෙස ආරාධනා කළේය. ඔහු මා කැඳවාගෙන යාමට සෙන්පතිතුමාද පොළඹවා ගත්තෙන් අපි තිදෙන ජපානයට ගියෙමු. හිරු උදාවන ඒ රටෙහි සෙන්පති ඕල්කට්‌තුමා ජයග්‍රාහාත්මක අන්දමෙන් සංචාරය කළේය. Fortnightly Review සඟරාවේ පළ වී තිබුණු ලිපියක්‌ කියවීමෙන් 1887 දී මට ජපානයට යැමේ අදහසක්‌ පහළ වී තිබුණි. මේ අභිලාෂය 1889 දී ඉටුවිය. 1888 දී චිතගොංහි බෞද්ධයෝ "බෞද්ධ බන්ධු" යන නමෙන් ඉංග්‍රිසි මාධ්‍යයෙන් මාසිකයක්‌ ආරම්භ කළහ. ලංකාවේ බෞද්ධයන්ට ද ඉංග්‍රීසි සතිපතා ප්‍රකාශනයක්‌ ආරම්භ කිරීමට කාලය පැමිණ ඇතැයි මම කල්පනා කළෙමි. මම මගේ මිතුරන්ගෙන් රුපියල් දහය බැගින් එවන ලෙස ඉල්ලා සිටියෙමි. රුපියල් 300 ක්‌ එකතු වූ විට මම මදුරාසියෙන් ඉංග්‍රීසි අකුරු ගෙන්වා ගතිමි. අනතුරුවThe Buddhist සඟරාව 1888 දෙසැම්බර් මාසයේදී ලේඩ්බීටර් මහතාගේ සංස්‌කාරත්වයෙන් ආරම්භ කරන ලදී. එය "සදරැස" නමැති සිංහල පුවත්පතෙහි අතිරේකයක්‌ වශයෙන් නිකුත් කරන ලද්දේය. ලංකාවේදී මම සෙන්පති ඕල්කට්‌තුමා, ලෙඩ්බීටර් මහතා, සී.එෆ්. පවල් සහ ආචාර්ය ෙ-. බෝල්ස්‌ ඩැලි සමඟ වැඩ කළෙමි. 1890 දෙසැම්බර් මාසයේදී කොසෙන් ගුණරත්න නමැති ජපන් බෞද්ධ භික්‌ෂුව සමඟ මම අද්යාරයේ සම්මේලනයට සහභාගි වීම සඳහා ලංකාවෙන් පිටත් වී ගියෙමි. සම්මේලනයෙන් පසුව අපි දෙදෙනා ඉසිපතන, බරණැස හා බුද්ධගයා යන ස්‌ථානවලට වන්දනා ගමනක්‌ ගියෙමු. 1891 ජනවාරි මාසයේදී අපි එහි ළඟා වුණෙමු. මෙයින් මා ගේ ජීවත කාර්යයේ පළමුවන කොටස අවසන් වෙයි. 

(අනගාරික ධර්මපාලතුමන්, ශ්‍රී දේවමිත්ත නමින් පැවිදි බිමට සැපත්ව 1933 මැයි/ජුනි මහබෝධි සඟරාවට ලියන ලද මෙම ලිපිය එතුමන් විසින් ලියන ලද අවසන් ලිපිය වන්නේය. එම ලිපිය 1933 මැයි/ජූනි මහබෝධි කලාපයේ පළවන විට 1933 අප්‍රේල් මස 29 වන සෙනසුරාදා පස්‌වරු 3.00 ට බරණැස සාරානාත් මූලගන්ධකුටි විහාරයට මුහුණලා ඇති මහා බෝධි ගොඩනැගිල්ලේදී අපවත් වී සිටියහ.) ස්‌වයං චරිතාපදානයේ පළමු පරිච්ඡේදය පමණක්‌ නිමකරන්නට උන්වහන්සේට හැකිවිය. අනගාරික ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දිනය 2015 සැප්තැම්බර් 17 වෙනි දිනට යෙදී තිබේ. මෙම ලිපිය ඒ නිමිත්තෙන් පළ වෙන්නකි. 

අනගාරික ධර්මපාල තරුණ පදනමේ සභාපති 

විමලසේන කළුගමගේ

Pic Source

සබැඳි ලිපි -
[
අනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් - 2http://denethharinna.blogspot.com/2015/09/2.htmlඅනගාරික ධර්මපාලතුමන් අවසන්වරට ලියූ අවසන් නොකළ ස්‌වයං චරිතාපදානය - නොනිමි මෙහෙවරක සටහන් 1http://denethharinna.blogspot.com/2015/09/blog-post_84.htmlදම්පල් තුමාණෝ සිදු කළ මෙහෙවර සදානුස්‌මරණීයයිhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_33.htmlජාතික චින්තනය අවදි කළ ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2015/09/blog-post_59.htmlතම මව්බිමේ බොදුඋරුමය රැකගැනුමට බැරි නායකයන් ඇති රටක, ඉන්දියාව වැනි අබෞද්ධ විදෙස් රටක කළ දම්පල් මෙහෙය කෙසේ මිළ කරන්නද?http://denethharinna.blogspot.com/2014/09/blog-post_1.htmlඅනගාරික ධර්මපාලතුමන්ගේ ජීවිතය හා මෙහෙවර මහා වීර කාව්‍යයකි. පර්යේෂණාත්මක ප්‍රස්‌තුතයකි.http://denethharinna.blogspot.com/2014/09/blog-post_75.htmlඋඹලා සුද්දන්ට බයද? - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_17.htmlඅනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්නhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_99.htmlරටට ඔබින නිදහස් නිවහල් චින්තනය, දම්පල් චින්තනයයි!http://denethharinna.blogspot.com/2014/08/blog-post_91.htmlරට-දැය-සමය බැබළවීමට ජීවිතයම කැප කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_29.htmlඅමතක නොකරමු කිසිදා - සිත්හි රඳවමු හැමදා | සිරි දම්පල් උතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1336.htmlනිදා සිටි ජාතිය අවදි කළ මහා විරුවාණෝ අනගාරික ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8556.htmlඅනගාරික ධර්මපාල සිහ නාදය නැඟූ රටක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1887.htmlසියවසක අනාගතය පෙර දුටු මහා චින්තකයා - ධර්මපාලතුමාhttp://denethharinna.blogspot.com/2013/04/blog-post_8270.html
පුංචි ශ්‍රී ලංකාව වටා ලෝක බෞද්ධ බලවේගයක්‌ ගොඩනැගූ ධර්මපාලතුමා
http://denethharinna.blogspot.com/2012/09/blog-post_18.html
]

0 comments: