Pages

Saturday, October 24, 2015

ඓතිහාසික සීනුක්‌කුගලත් සුන්! විකුණුම් කරු. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව - ඉතිං තව මොන කතාද...!

පුරාවස්‌තු කොල්ලය මේ රටට අරුමයක්‌ නොවේ. පුරාවස්‌තු කොල්ලකරුවන්ගේ අශිෂ්ඨ පුරාවස්‌තු සංහාරක ඉතිහාසය රටේ ඉතිහාසය තරම්ම පැරණිය. අසූහාර දහසක්‌ දාගැබ් තිබී යෑයි බොදු ජන වහරේ පැණෙනා බිමක කොල්ලකරුවන් විසින් ගර්භය නොසිඳන ලද පුරාණ දාගැබක්‌ වේනම් ඒ දැදිගම කොටවෙහෙර පමණක්‌ බව කියෑවේ. 

එහෙත් ඒ අතීත සංහාරකයෝ දාගැබ් ගර්භ පහරා කොල්ල කෑ හැකි යමක්‌ කොල්ලකාගෙන ගියා මිස පුරාවස්‌තු රක්‌ෂා කිරීම ස්‌වකීය බඩරස්‌සා කරගෙන මිනිස්‌සුන්ගේ බදු මුදලින් පඩි නොගත්හ. ගර්භ සිඳ කළ අශ්ලීල කොල්ලය විද්‍යාත්මක පදනමක පිහිටා තහවුරු කිරීමේ ජඩකම නොකළහ. ඒ ව්‍යසනය සඟවා තබා ගැනීම සඳහා ලිපිගොනු යාවත්කාලීන නොකළහ. ව්‍යාජ වාර්තා සකස්‌ නොකළහ. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අත්සන් කොපිකර හොර අත්සන් නොගැසූහ. සියලු ජඩකම් වලින් අනතුරුව මහත්වරු සේ වෙස්‌මුහුණු බඳින්නට නොසැරසුනහ.

එවැනි අශීලාචාර මනුෂ්‍ය අර්ධයන් කළ හෙණ ගහන අපරාධ ඔවුන්ගේ ශාස්‌ත්‍රීය රෙදි පල්ලෙන් විටෙක බේරී වැටෙයි. මේ එවැනි නින්දිත ව්‍යසනයක්‌ පිළිබඳ කතාවකි.

සීනුක්‌කුගල හෙවත් හමික්‌කුවගල

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ, බැල්ලගස්‌වැව ග්‍රාම සේවක කොට්‌ඨාශයට අයත් සීනුක්‌කුගල හෙවත් හමික්‌කුවගල නැමැති පුරාවිද්‍යා ස්‌ථානයක්‌ සහිත ගල් පවුවක්‌ තිබුණේය. මේ ස්‌ථානයේ පෞරාණික දාගැබ් ගොඩැල්ලක පාදමක්‌ හා පුරාණ ඉදිකිරීම් පිළිබඳ සාක්‌ෂි දරන කේතුකාවාට සහිත ස්‌ථානයක්‌ වූයේය. අතීත ගම්මු හමික්‌කුවගල නැග මේ දාගැබ් ගොඩැල්ල වන්දනා කළහයි පැවසුණි. 

ඉංග්‍රීසි අධිරාජ්‍යය සමයේදී යටත් විජිත මිනින්දෝරුවරු මුළු රටම මැන්නාහ. එකල ඔවුහු රටේ පුරාවිද්‍යා ස්‌ථාන ඇතුළු වැදගත් තැන් ස්‌වකීය මිනුම් කාර්යයේ කොටසක්‌ ලෙස සලකා සිතියම්වල සලකුණුකොට තැබූහ. හිමික්‌කුවගල නැමැති ගල් පව්වේ වූ දාගැබ් පාදම සහිත පුරාවිද්‍යා ස්‌ථානය ඒ අතීත මිනින්දෝරුවරු හම්බන්තොට අඟලේ සිතියමට ඇතුළත්කර තිබුණාහ. එබැවින් හිමික්‌කුවගල පුරාවිද්‍යා ස්‌ථානයක්‌ වූ බවටත් එහි පෞරාණික දාගැබක නටබුන් වූ බවටත් අමුතුවෙන් තහවුරු කළයුතු වාර්තාවන් අවශ්‍ය නොවීය. හරියටම ගාල්ල කොටුව පුරාවිද්‍යා කාර්යාලයේ බිත්ති හතරට උඩින් පියස්‌සක්‌ තිබෙන බවට තහවුරු කිරීමට අමුතු ලියවිලි අවශ්‍ය නොවනවා සේය.

එහෙත් ඔබ මේ කතාව කියන විට හිමික්‌කුව ගලේ ඓතිහාසික පුරාවිද්‍යා ස්‌ථානයක්‌ නැත. එම පෞරාණික ජාතික උරුමය ඩෝසර් කර විනාශකර දමා තිබේ. පුරා වසර 12 ක්‌ තිස්‌සේ මේ භූමියේ ගල් කඩනා ගල්කොරිකාරයෙක්‌ හා ඒ ගල්කොරිකාරයා විසින් මිලට ගනු ලැබූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දුගී අධ්‍යාත්මයක්‌ සහිත හිඟන්නන් පිරිසක්‌ විසින් මේ ඓතිහාසික උරුමය වනසා දමා තිබේ. 

මේ මොහොත වනවිට සිද්ධිය සම්බන්ධව පරීක්‌ෂණයක්‌ පැවැත්වෙමින් ඇතැයි පැවසේ. ඒ පරීක්‌ෂණය සිදුවන ආකාරය පිළිබඳව දැන් ප්‍රශ්න කෙරෙමින් ඇත. එබැවින් මේ ව්‍යසනය සිදුවන අයුරු පිළිබඳ සිහි කැඳවීමක්‌ කරතැබීම බොහෝ දේ අමතකවන පුරාවිද්‍යා අධ්‍යාක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකටත් වැදගත් වනු ඇතැයි සිතේ. සිද්ධි පෙළේ සංක්‌ෂිප්තය මෙසේය.

සීනුක්‌කුගල සංහාරය

සීනුක්‌කුගල හෙවත් මික්‌කුවගල ගල්පවුව පිහිටි භූමිය අයත්වන්නේ මහවැලි අධිකාරියටය. මේ ගල් නිධියේ ගල් කැඩීම සඳහා මුලින්ම ගල්කොරිකාරයෙක්‌ විසින් මහවැලි අධිකාරියෙන් ඉල්ලුම් කරන්නේ වර්ෂ 2003 දීය. එහෙත් මේ ස්‌ථානයේ ගල්කොරියක්‌ පවත්වා ගැනීමට ගමේ පැරණි ගම්මු මෙන්ම එවකට බල්ලගැස්‌වැව ග්‍රාමසේවා නිලධාරීවරයා විරුද්ධ වූයේය. ඔවුන් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ මේ භූමියේ පුරාවිද්‍යා ස්‌මාරකයන්හි පිහිටීමය. 

ග්‍රාමසේවක නිලධාරීවරයා මෙතැන පුරාවිද්‍යා වටිනාකමක්‌ සහිත ස්‌ථානයක්‌ බව කීවේය. පුරාණ හම්බන්තොට අඟලේ සිතියම මේ ස්‌ථානයේ පුරාවස්‌තු ඇති බවට සලකුණුකොට තිබුණේය. එහෙත් ගල්කොරි කාරයා විසින් විසිකරනු ලබන කටු ලොවා ඊට පෙම් බැඳි සුනඛයෙකුට නොදෙවෙනි වූ එවක මෙම ස්‌ථානය නිරීක්‌ෂණය කළ පුරාවිද්‍යා ගවේෂණ යාචකයා එහි පුරාවස්‌තු නැති බවට වාර්තාවක්‌ ලබාදී ඔහුට බලපත්‍රයක්‌ දීමට කටයුතු කළේය. මේ අපරාධය සිදුවන්නේ වර්ෂ 2003.11.17 දාය. ඔහු වාර්තාවේ සඳහන් කරන්නේ මෙම ස්‌ථානයේ ස්‌මාරකයක්‌ තබා ස්‌මාරකයක සලකුණක්‌වත් නොමැති බවය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එය පිළිගත්තේය. ඉතින් ගල්කොරි කාරයා විසින් ගල් කඩාගෙන ගියේය. වැඩේට අවහිරයක්‌ වූ බල්ලගස්‌වැව ග්‍රමසේවක තැනට ස්‌ථාන මාරුවක්‌ ලැබුණේය.

වර්ෂ 2006.11.14 දින පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් දෙදෙනක්‌ විසින් මේ ස්‌ථානය ගවේෂණය කළෝය. 2003 දී මෙම ස්‌ථානය ගවේෂණය කළ නිලධාරියා නුදුටු පුරාවිද්‍යා නටබුන් එම ගවේෂණ නිලධාරීහු දුටහ. අනතුරුව ඔවුහු මෙම ස්‌ථානයේ ගල් කැඩීම සඳහා අවසර ලබා දිය නොහැකි බවට වන නිර්දේශ සහිතව දකුණු පළාත් ප්‍රාදේශීය සහකාර අධ්‍යක්‌ෂ වෙත වාර්තාවක්‌ යොමු කරනු ලැබූහ. ඒ අනුව ගල්කොරිය වහාම නතර කිරීම සඳහා වර්ෂ 2006.11.16 දින එවකට සිටි ප්‍රාදේශීය සහකාර අධ්‍යක්‌ෂ වරයා ප්‍රාදේශීය ලේකම්වෙත ලිපියක්‌ යෑවීය.

අනතුරුව ප්‍රාදේශීය සහකාර අධ්‍යක්‌ෂ තැන පුද්ගලිකවම මෙම පුරාවිද්‍යා ස්‌ථානයට ගියේය. ගොස්‌ සියෑසින්ම දාගැබ් ගොඩැල්ල බැලුවේය. මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන මිනුම් ත්‍රිකොණයක්‌ සේ සලකුණු කළ දාගැබ හඳුනා ගත්තේය. එහෙත් කුමක්‌ හෝ හේතුවක්‌ නිසා වර්ෂ 2006.12.01 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් අමතමින් හිමික්‌කුව ගල මතුපිට ඇති පුරාණ ස්‌ථූපයේ පාදම්ගොඩැල්ලත්, කේතුකාවාටය සහිත ස්‌ථානයත් කේන්ද්‍රකොටගෙන අඩි 50 සීමාවක ගල් කැඩීම හා බෝර දැමීම සිදු නොකළයුතු බවට අවධාරණය කර දැඩි කොන්දේසි මත ගල් කැඩීමට අවසර ලබා දුන්නේය. නමුත් 2003 වසරේදී මේ ස්‌ථානය බලපත්‍ර ලබාදීම අනුමත කළ ගවේෂණ නිලධාරියාගේ අවියත් හැසිරීම විමසන්නට ඒ වස්‌ථාවේ පුරාවිද්‍යා දෙපාර්ත මේන්තුවට අමතක විය.

වර්ෂ 2008 දී නැවත පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීවරුන් දෙපළක්‌ මෙම භූමිය පරීක්‌ෂා කළහ. ඔවුහු ස්‌ථුපය, වැසි ජලය එක්‌වන ස්‌වභාවික ගල්කෙමක සලකුණු, වෙනත් පුරාවිද්‍යා ගොඩැල්ලක නටබුන් හඳුනා ගත්හ. ඔවුන් එම ස්‌ථානය දකින විට වර්ෂ 2006 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලකුණු කළ සීමාව දක්‌වා ගල කඩා තිබිණි. එබැවින් කිසිම ඉල්ලුම්කරුවෙකුට මෙම ස්‌ථානයේ ගල් කැඩීමට අවසර නොදිය යුතු බවත්, බලපත්‍රය උල්ලංඝනය කරමින් ගල් කැණීම් කරන ව්‍යාපාරිකයාගේ බලපත්‍රය අහෝසි කළ යුතු බවටත් ගවේෂණ වාර්තාවෙන් නිර්දේශ විය. එම වාර්තාව නිර්දේශ කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්ෂ 2008.11.03 දා හිමික්‌කුවගල කැඩීම තහනම් කළේය.

අනතුරුව පෙළගැහෙන සිද්ධි මේ රටේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක්‌ පවත්වා ගත යුත්තේ කුමන පදනමක්‌ මතදැයි අපට අපෙන්ම ප්‍රශ්න කරන්නට පොළඹවන්නේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වර්ෂ 2008 දී තහනම් කළ හිමික්‌කුව ගලේ ගල් කැඩීමට එම වාර්තාවෙන්ම බලපත්‍ර අහෝසි කිරීමට යෝජනා කළ ගල්කොරිකාරයා අයෑදුම් කරන්නේය. මේ අයෑදුම් කිරීම කරන්නේ වර්ෂ 2011.1.9 දාය.

වර්ෂ 2003 දී මෙම ස්‌ථානය නිරීක්‌ෂණය කළ පුරාවිද්‍යා යාචකයෙක්‌ හිමික්‌කුවගල අවට කිසිම පුරාවිද්‍යා සාධකයක්‌ නොමැති බව කියා ගල් කැඩීමට බලපත්‍ර ලබා දෙන්නේ මේ ගල්කොරි කාරයා වෙතය. ඒ දුගියා වර්ෂ 2011 වනවිට ප්‍රාදේශීය ගවේෂණ නිලධාරියාව සිටියේය. ඔහු විසින් නැවත 2011.02.11 දින මෙම පුරාවිද්‍යා ස්‌ථානය පරීක්‌ෂා කරන්නේය. පරීක්‌ෂා කර ජාති අන්ධයෙක්‌වත් නොදෙන ආකාරයේ නිර්දේශයක්‌ දුන්නේය. නැවතත් එම නිර්දේශයේ වූයේ මේ ගල් පව්වෙහි කිසිම පුරාවිද්‍යා සාධකයක්‌ නොමැති බැවින් ගල් කැඩීමට අවසර දීම සුදුසු බවය. පුරාවිද්‍යා දෙපාර්තමේනතුව එය මන්දබුද්ධිකව පිළිගත්තේය.

ස්‌වකීය අධ්‍යාත්මය ගණිකාවක්‌කොට ලබාදුන් මේ වාර්තාවත් සමග ගල්කොරිය පවත්වා ගැනීමට ගල්කොරි කරුවාට අවසර ලැබිණි. සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ මේ පර්වත මුදුනේ රක්‌ෂා වී තිබූ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්‌ විසින්ම ආරක්‌ෂා කරගැනීමට අරගල කළ, පුරාණ දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේම කාලකණ්‌ණියෙක්‌ ලබාදුන් ලයිෂන් පිට ඩෝසර් දමා විනාශ කර දැමිනි. 2003 සිට මෙම කලුගල සඳහා බලපත්‍ර ලබාගත් ගල්කොරිකාරයා නීති විරෝධී ලෙස කලුගල විවිධ ආයතන වලට විකුණා ඇති බවත් හෙළිවිය. දාගැබ් ගොඩැල්ල ඉවත් කිරීමෙන් පසු ඔහු වෙනත් ආයතනයකට නැවත ගල බදු දී තිබිණි.

වර්ෂ 2013.10.29 දා මෙම ස්‌ථානය පරීක්‌ෂා කළ දකුණු පළාත් ප්‍රාදේ ශීය අධ්‍යක්‌ෂවරියට මිනුම්දෝරු දෙපාර්තමේන්තුව මගිනුත් ත්‍රිකොණමිතික ස්‌ථානයක්‌ සේ සලකුණුකර තිබූ ඒ ඓතිහාසික දාගැබ් ගොඩැල්ල දැකගත නොහැකි විය. යළිත් කිසිදා කිසිවෙක්‌ ඒ පුරාවිද්‍යා ස්‌ථානය දකින්නේ නැත. 

මේ ව්‍යසනය පිළිබඳ මාධ්‍ය හරහා දිගින් දිගටම කෙරුණ ප්‍රශ්න කෙරිනි. පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝණය කිරීම සම්බන්ධව ගල්කොරිකාරයා විෂයෙහි නීතිය ක්‍රියාත්මක විය. මේ සිද්ධියට සම්බන්ධ පුරාවිද්‍යා ගවේෂණ යාචකයා පුරාවස්‌තු විනාශයට අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ වැඩ තහනමකට ලක්‌විය. ඔහු යළිත් වර්ෂ 2015 දී සේවයේ පිහිටුවනු ලැබුවේ විධිමත් විනය පරීක්‌ෂණයක්‌ පැවැත්වීමේ පදනම මතය.

දැන් මේ විනය පරීක්‌ෂණය පැවැත්වෙන ආකාරය සම්බන්ධව ප්‍රශ්න කෙරෙමින් ඇත. මෙම ගල් පර්වතය කැඩීම සඳහා එවකට හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කර ඇති හම්/ප්‍රා.ලේ./ආ/06/10/03/3 හා 2011.02.07 දිනැති ලිපියේ අත්සන පිළිබඳ සැක මතු වී ඇතැයි පැවසේ. තවත් ව්‍යාජ ලේඛණ පිළිබඳ කියෑවෙමින් තිබේ.

මේ විනය පරීක්‌ෂණය මෙහෙයවන හිටපු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා නොදන්නවා මුත් රට මෙවන් කාලකණ්‌ණි සිද්ධි සම්බන්ධව සිටින්නේ අවධියෙනි. මේ පෙළ විමසනවිට සිදුවූ අලුගුත්තේරුකමේ ප්‍රමාණය පිළිබඳ තක්‌සේරුවක්‌ මේ රටට ආදරය කරන මිනිස්‌සුන්ට තිබේ. බැලු බැල්මටම වැටහෙන මේ තුච්ඡ ගනුදෙනු සිදුවන්නේ පරණ යකඩ කඩයක නොවන බව කොයි පින්වතාත් තේරුම් ගත යුතුය. එව සිදුවන්නේ මේ රටේ උත්තුංග ජාතික උරුමය රක්‌ෂා කිරීමේ වගකීම සහිත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළය. මුන් ගල්කොරිකාරයන්ට විකුණන්නේ අඹුවන්ගෙන් දෑවැද්දට ලත් බූදල නොව, අනාගත පරම්පරාව වෙනුවෙන් රක්‌ෂා කළ යුතු ජාතික උරුමය ය. අප කම්පනයට පත් කරන්නේ ඒ යථාර්ථය ය.

මේ චෞරයන් අරභයා රටේ පුරවැසියන් විෂයෙහි ක්‍රියාත්මකවන පුරාවිද්‍යා ආඥා පනත බලාත්මක නොවන්නට හේතුවක්‌ නැත. පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ විශේෂිත ජීවීන් පිරිසක්‌ සිටිය හැකි නොවන බැවිනි.

සිදුවන සියල්ල දෙස මේ රටේ මිනිසුන් විමසිලිමත් බව මේ පින්වත් මහත්වරුන්ට කරුණාවෙන් මතක්‌ කර දිය යුතුව ඇත්තේ එබැවිනි.

ජානක ලියනආරච්චි

0 comments: