Pages

Tuesday, October 27, 2015

කඨීන චීවර පූජාව අටමහා කුසල්වලින් එකක්‌



වාර්ෂිකව පැවැත්වෙන කඨීන දානමය පූජාව බෞද්ධයින්ගේ උසස්‌ම පිංකමකි. මෙම පිංකම සඳහා ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වන්නේ භික්‌ෂූන් වහන්සේලා උදෙසා කරන චීවර පූජාවයි. කඨීන චීවර පූජාව යනු වස්‌ අවසානයේ දී භික්‌ෂූන් වහන්සේලා උදෙසා කරනු ලබන චීවර පූජාවයි. මෙම පිංකම ඉතා උත්කර්ෂවත් ලෙස සියලු විහාරස්‌ථානවල සිදුකරනු ලබයි. කඨීන චීවර පූජාව අටමහා කුසල්වලට අන්තර්ගත වන ප්‍රථම පිංකම ලෙස සඳහන් වේ.

උපසපන් භික්‌ෂූන් වහන්සේලා වස්‌සාන සෘතුවේ වස්‌ එළඹ එහි මුල් තුන්මස වස්‌ වසා වැඩසිටින කාලය ලෙස හඳුන්වයි. එහි ඊළඟ එළඹෙන මාසය චීවර මාසය නමින් හඳුන්වන්නේ එම මාසයේ කඨීන චීවර පූජා සිදුකරන නිසාය. කඨීන චීවර මාසය කුමක්‌ ද යන්න විනයෙ හි පරිවාර පාලියෙහි ද සඳහන් කර ඇත. 

"කඨීනස්‌ස අත්ථාරමාසො ජානිතබ්බෝති, වස්‌සානස්‌ස පච්හමො, මාසෝ ජාති තබ්බෝ" 

වස්‌සාන සෘතුවේ අවසාන මාසය කඨීනන්ථාර කාලය ලෙස දැනගත යුතුබව එහි සඳහන් කර ඇත.

තුන්පට සිවුරට අමතරව තවත් සිවුරක්‌ දැරීම සඳහා භික්‌ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ විසින් අවසර දී ඇත. ඒ සඳහා අවස්‌ථාව සලසා දී ඇත්තේ භික්‌ෂූන් වහන්සේලාට මුහුණපාන්නට සිදුවු එක්‌ අකරතැබ්බයක්‌ නිසාය. සාකේත නුවර වස්‌ කාලය තුළ වස්‌ එළඹුණු තිස්‌නමක්‌ පමණ වූ භද්දවග්ගිය භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ මහා පවාරණයෙන් පවාරණය කොට වස්‌ නිමවා බුදුරජාණන් වහන්සේ දැක වන්දනා මාන කිරීම සඳහා සැවැත්නුවර ඡේතවනාරාමයට වැඩම කිරීම සඳහා මාර්ගයට පිවිසියෝය. උන්වහන්සේලා වැඩම කරන අතරමගදී මහා වර්ෂාවකට හසුවූයෙන් සිවුරු තෙත බරිතව සමහරු ක්‌ලාන්ත ගතියෙන් ද බුදුරජාණන් වහන්සේ වෙත එළඹියෝය. උන්වහන්සේලාට සිදු වූ කරදරය පිළිබඳව දැනගත් බුදුරජාණන් වහන්සේ නැවත එවැනි අපහසුතාවන්ට පත් නොවන ආකාරයේ විසඳුමක්‌ සියලු භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් ලබාදෙන ලදී. එනම්, 'මහණෙනි, වස්‌ මස නිම කළ භික්‍ෂූන්ට කඨීනයක්‌ ඇතිරීම සඳහා අනුදනිමි' යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කඨීන චීවරයක්‌ පරිභෝග කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

"අනුජානාමි භික්‌ඛවේ වස්‌සං වුත්ථූනං, භික්‌ඛුනං කඨීනං අත්ථරිතුං" යනුවෙන් එය විනයෙහි සඳහන් කර ඇත. 

කඨීන චීවරයක්‌ ලැබීම සඳහා භික්‌ෂූන් වහන්සේ නමකට අවශ්‍ය සුදුසුකම් තිබිය යුතුය. 

* වස්‌සාන සෘතුවේ මුල් මාසය වන ඇසළ පෝයදා පොහොය කොට අව පෑළවිය දා වස්‌ එළඹීම තුන්මස මුළුල්ලේ ආරක්‌ෂාකොට තිබීම.
* වප් පුරපසොළොස්‌වක පුන්පෝය දා මහා පවාරණයෙන් පවාරණය කළ භික්‍ෂුවක්‌ වීම.
* සාමණේර භික්‍ෂූන්ට කඨීන චීවර පූජාවක්‌ සිදුකළ නොහැකිය.
* කඨීනය අතුරණු ලැබූ විහාරස්‌ථානය හැර වෙනත් විහාරස්‌ථානයක භික්‌ෂුවකට කඨීන චීවරය අයත් නොවේ.

මෙම විනය කර්මය ගරු විනය කර්මය බැවින් භිකෂූන් වහන්සේලා ආනිසංශ පහක්‌ ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එය මහාවග්ගපාලියෙහි කඨීනක්‌ඛන්ධයේ මෙසේ සඳහන් වේ.

1. අනාමන්තචාරය
2. අසමාදානචාරය
3. ගණභෝජනය
4. යාවදත්ථ චීවරය
5. යෝචතත්ථ චීවරුප්පාදය

දායක කාරකාදීන්ට ලැබෙන අනුසස්‌

කඨීන චීවර පූජාව සිදුකරන දායකකාරකාදීන්ට මෙලොව පරලොව දෙකම සඳහා කුසල් සිදුකරගත හැකිය. කඨීන පූජා පිංකමක තිබෙන කුසල ක්‍රියාවේ ශක්‌තිමත් බව පහත සඳහන් ගාථාවෙන් මනාව වැටහේ. 

"පඨවිරිව න ජාතු කම්පතේ
නචලති මේරු රිවාති වායුනා
වජිරමිව න භිඡ්ජතෙඝනං
තමිතමතො කඨීනන්ති වුච්චති"

යන ගාථා පාඨයට අනුව මහපොළව මෙන් කිසිකලෙකත් කම්පා නොවන මහාමේරුපර්වතය මෙන් සුළඟින් නොසෙල් වෙන වජිර පර්වතයමෙන් නොබිඳෙන ස්‌ථාවර ගරු පුණ්‍ය ක්‍රියාවක්‌ ලෙස කඨීන පූජාව සඳහන් කර ඇත. දායක දායිකාවන්ට ලැබෙන ආනිසංස පිළිබඳව සඳහන් වන නාගිතාපදානය දෙස බලන විට කඨීන පූජාවෙන් ලැබෙන ආනිසංස ඉතා ප්‍රබල බව මැනවින් පසක්‌ වේ. බුදුරජාණන් වහන්සේ ඡේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ දී නාගිත නම් කුමාරයෙක්‌ සිය ඥාති මිත්‍රයන් සමඟ බුදුරදුන් වෙත අවුත් දහම් අසා ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි උපසම්පදා බවට පත්විය. බුදුරජාණන් වහන්සේ සිය සර්වඥතා ඥානය මඟින් මෙම නාගිත ඇතුළු පිරිස පෙර භවයක කඨීන දානමය කුසල කර්මයක්‌ කළ අය බව දැනගත් සේක. මෙම පිරිස නොබෝ කලකින්ම විදසුන් වඩා අරහත් භාවයට පත් විය. මොවුන් කළ මෙම පුණ්‍ය කර්මය අන් අයට ද දැනගැනීමට සැලැස්‌වීම සුදුසු බව අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ ඒහි භික්‍ෂු භාවයෙන් පැවිදි බිමට පත් මහරහතන් වහන්සේලා සියක්‌ නමක්‌ අනවතප්ත විල් තෙරට රැස්‌කරවන ලෙස ආනන්ද හිමියන්ට උපදෙස්‌ ලබා දුන්හ. ඒ අනුව ආනන්ද හිමියන් විසින් මහරහතන් වහන්සේලා සියක්‌ නමක්‌ අනවතප්ත විල් තෙරට රැස්‌කරවන ලදී. බුදුරජාණන් වහන්සේ මෙම පිරිස අමතා ඔවුන් අතුරින් පෙර භවයක විශේෂ පිංකමක්‌ කළ භික්‍ෂුවක්‌ සිටී නම් එය ප්‍රකාශයට පත් කරන ලෙස දැන්වූහ. එම පිරිස අතුරින් නාගිත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඳ උන්වහන්සේ විසින් පෙර භවයක සිදු කළ විශේෂ පුණ්‍ය කර්මයක්‌ පිළිබඳව පහත දැක්‌වෙන ආකාරයට විස්‌තර කළ සේක. 

ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මම මෙයට කල්ප අනුඑකකට පෙර විපස්‌සි බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පත්ති කාලයේ දී බන්දුමතී නුවර උපන්නෙමි. එම කාලයේ දී මම දුගී මගී යාචකයින්ට දන් දීම් ආදිය සිදුකරන ලදී. දිනක්‌ මම බන්දුමතී නුවර රජු ඇතුළුමහා පිරිසට දහම් දෙසන විපස්‌සි බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා පැහැදිව උන්වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට වස්‌ වාසය කිරීම සඳහා ආරාධනා කළෙමි. උන්වහන්සේලාට වස්‌ වාසය කළ කාලය තුළ උවටැන් කර වස්‌ අවසානයේ දී කඨීන චීවර දානයක්‌ පිරිනැමුවෙමි. එම කුසල කර්මය නිසා මා සතර අපායට කිසිදා නොගිය අතර සදෙව් ලොව හා මිනිස්‌ ලොව පමණක්‌ උපත ලැබුවෙමි. නාගිත මහරහතන් වහන්සේ විසින් ලබන ලද අනේකවිධ දිව්‍ය හා මනුෂ්‍ය සම්පත් පිළිබඳව පහත සඳහන් අයුරින් තවදුරටත් රැස්‌ව සිටි පිරිසට ප්‍රකාශ කරන ලදී.

කඨීන දානං දත්වාන
සංඝේ ගුණ වරුත්ත මේ 
ඉතෝ තිංසේ මහා කප්පේ 
නාභිජානාමි දුග්ගතිං

උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයෙහි කඨීන චීවර දානයක්‌ පූජා කොට මහා කල්ප තිහක්‌ දුගතියක්‌ නොදුටුවෙමි.

උන්වහන්සේ කල්ප දහඅටක්‌ දෙව්ලොව උපත ලබන ලදී. තිස්‌එක්‌ වාරයක්‌ සක්‌ දෙවි වශයෙන් උපත ලබා දිව්‍ය රාජ්‍ය භාරව කටයුතු කරන ලදී. දෙවියන් වශයෙන් උපත ලබන අවස්‌ථාවලත් මනුෂ්‍යයින් වශයෙන් උපත ලබන අවස්‌ථාවලත්, අනෙක්‌ දෙවියන්ට හා මනුෂ්‍යයින්ට වඩා සැප සම්පත්වලින් ආඪ්‍යව උපත ලබා ඇත. මිනිස්‌ භවයක උපදින අවස්‌ථාවලදී කිසිදු පහත් කුලයක උපත නොලබා ඇති අතර ක්‍ෂත්‍රීය සහ බ්‍රාහ්මණ කුලවල පමණක්‌ උපත ලබා ඇත. දෙවියන් අතර උපදින විට අනෙක්‌ දෙවිවරුන්ගේ ප්‍රසාදයට ද මිනිසුන් අතර උපදින විට අන් මිනිසුන්ගේ ප්‍රසාදයට ද පත් වූ බව සඳහන් වේ. පසුව මේ භවයේ දී ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වී විදසුන් වඩා රහත් භාවයට පත්වීමට එම කඨීන පූජා පිංකම හේතු වූ බව තවදුරටත් සඳහන් කරන ලදී. මේ ආකාරයට නාගිත හිමියන් කඨීන චීවර පූජාවෙන් තමන් ලද සැප සම්පත් පිළිබඳව වර්ණනාවක්‌ කරන ලදී. මෙම නාගිත හිමියන්ගේ ප්‍රකාශය තුළින් වර්තමාන දායක දායිකාවන්ට ද කඨීන චීවර පූජාවකින් ලැබෙන ආනිසංස මැනවින් වටහා ගත හැකිය. එම නාගිත මහරහතන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගැනීමට ද දායක දායිකාවන්ට හැකියාව ඇත. 

කඨීන චීවර පූජාව සිදුකරන ආකාරය

කඨීන චීවර පූජාව සිදුකරන දින අලුයම එම වස්‌ත්‍රය පෙරහැරින් විහාරස්‌ථානයට වැඩම කරවීම චාරිත්‍රානුකූලව සිදුකරනු ලබයි. එම කඨින චීවරය සඳහා වූ වස්‌ත්‍රය මිල දී ගැනීමට විහාරස්‌ථානයේ සියලු දායක දායිකාවන් සම්බන්ධ කර ගැනීම සඳහා සියලු දෙනාගෙන්ම මුදල් සම්මාදන් කර ගැනීම සිරිතක්‌ වශයෙන් සිදුකරයි. එමඟින් එම කඨීන චීවර පූජාව එක්‌ පුද්ගලයෙකුට වුවද පූජා කළ හැකි වුවත් බෞද්ධ සම්ප්‍රදාය වන්නේ සියලු දෙනාම එකතු වී පිංකම් කිරීමයි. සියලු දෙනාගේම මුදල් එකතු කර කඨීන චීවරය මිලදී ගැනීම වනාහි උක්‌ත සිරිත ආරක්‍ෂා කිරීමක්‌ ලෙස හැඳින්විය හැකිය. 

මෙම දහම් පඬුර ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයන් වන DSI නිවසිනි.

පූජ්‍ය බෝගමුවේ ධීරානන්ද හිමි - සහකාර ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිටිපන, උතුර හෝමාගම, සම්බන්ධීකරණය - අචලා ජයසූරිය

Pic Source

0 comments: