Pages

Saturday, October 24, 2015

ඔබේ නිවස පිහිටි බිම්කඩ, සසරේ ඔබ දහස්‌ වරක්‌ මිහිදන්වූ සුසානයම නොවේද? මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

ආහාරය, ඖෂධ ප්‍රත්‍යවෙක්‌ෂාවෙන් පරිහරණය කරනවා වගේම කුටිය, නිවසද සිහියෙන් යුතුව පරිහරණය කරන්න කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සුබෝපභෝගී මන්දිරයක ජීවත්වෙන පිංවතා එම මන්දිරය කෙරෙහි ඇතිකරගෙන තිබෙන තෘෂ්ණාවම, පොල්අතු පැලේ ජීවත්වන පිංවතාත් තම පොල් අතු පැළ කෙරෙහි ඇති කරගෙන තිබෙනවාය කියලා. තෘෂ්ණාව හේතුවෙන් මනුෂ්‍යයා තුළ සකස්‌වෙන සිතුවිලිවල සංකීර්ණභාවය නිසාම ඉදිවන සුඛෝපභෝගී නිවාස නිසා, නිවස කියන කාරණය මනුෂ්‍යයාට මාර බිමක්‌ බවට පත්වී තිබෙනවා. 

නිවස උදෙසා යටකරන අතිවිශාල ධනයත්, නිවස නඩත්තුවත්, ගෘහ අලංකාරයත් හේතුවෙන් මනුෂ්‍යයාට නිවස ප්‍රත්‍යවේක්‌ෂාවෙන් පරිහරණය කිරීම කියන කාරණය අමතක වී යනවා. වර්තමාන සමාජයේ ප්‍රත්‍යවෙක්‌ෂාව කියන වචනයේ අර්ථය ජීවිතයට එකතුකර නොගත් මනුෂ්‍යයෝ මැරෙන මොහොතේ තම නිවස කෙරෙහි තෘෂ්ණාවෙන් පරදත්තඋපජීවී ප්‍රේතයින් ලෙස ඉපදීමත් එම නිවෙස්‌ වලට ගෙම්බන්, හූනන් ලෙස ඉපදීමත් සුලභ සිද්ධියක්‌ බවට පත්වී තිබෙනවා. එම නිසා පිංවත් ඔබ ඔබේ නිවස, කුටිය පරිහරණය කරන්නේ කාමච්ජන්දයන් වඩවා ගැනීම සඳහා නොව අව්,වැසි, පිණි ආදියෙන් මැසි, මදුරුවන්, සර්පයන්ගෙන් ආරක්‍ෂාවී කුසල් මාර්ගය ශක්‌තිමත් කර ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගැනීමටය කියන කාරණය නුවනින් දකින්න. 

ඔබේ සුබෝපභෝගී නිවස පිහිටි බිම්කඩ අතීතයේ ඔබ දස දහස්‌ වාරයක්‌ මැරි වළදැමු සුසාන භූමිය හැටියට දකින්න ඔබ දක්‍ෂවෙන්න. පිංවත් ඔබ රාත්‍රියට නිදි යහනේ සැතපෙන විට අතීතයේ ඔබව මහිදන් කළ සුසානභූමියක්‌ මත සැතපෙනවාය කියන කාරණය නුවනින් දකිමින් නින්දට යන්න. එවිට එම රාත්‍රිය පුරාම ඔබට ධුතාංග ශීලයක අර්ථයක්‌ ද යම් ප්‍රමාණයකට වැඩෙනු ඇත. පිංවත් ඔබ දකින අතීත නිවාස ප්‍රත්‍යවෙක්‌ෂාව තුළින් වර්තමාන නිවස කෙරෙහි ඇති තෘෂ්ණාව හීන කරගැනීමට උත්සුකවන්න. 

අතීතයේ පිංවත් ඔබ රාජ රාජ මහාමාත්‍යයන් හැටියට ඉපදෙන වෙලාවේ ඔබ හිමි කරගෙන සිටි සුබෝපභෝගී මන්දිර නුවනින් දකින්න. බෝධිසත්වයින් මහසුදස්‌සන නැමති සක්‌විති රජු ලෙස රජ කරන සමයෙහි දිව්‍යතලයන්ට අධිපති ශක්‍ර දෙවියන්ගේ නියමයෙන් දිව්‍යතලයේ වැඩසිටින විස්‌කම් දෙවිපුත් මහසුදස්‌සන රජුට දහම්පාය නම් ගෙයක්‌ මැව්වාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විස්‌කම් දෙවිපුත් මැවු දහම් පාය දිගින් යොදුනක්‌ පළලින් අඩ යොදුනක්‌ විශාලය. මෙම දහම්පායේ බිත්ති, ගෙබිම, රනින්ද, රිදියෙන්ද, පළිගුවලින්ද හැදුවාවූ ගඩොලින් නිමකරල තිබෙන්නේ. මේ දහම්පායේ සෑම කුළුනක්‌ම, සෑම පියගැට පෙළක්‌ම රනින්, රිදියෙන්, පළිගුවෙන් තමයි නිමවෙලා තිබෙන්නේ. මහාසුදස්‌සන රජුගේ අතීත කුසල් ශක්‌තියේ ඵලයයි විස්‌කම් දෙවිපුත් මැවු දහම්පාය නැමති නිවස. මෙම නිවස යමෙක්‌ දකින්නේද ඔහුගේ ඇස්‌ අදුරු කරනවා වලාකුළු පහවු අහසේ ඇති හිරු දෙස යම්සේ බැලිය නොහැකිද රනින්, රිදියෙන්, පළිගුවෙන් කළ දහම් පායේ දීප්තිය නිසාම යමෙකුට දහම්පාය දෙස එක එල්ලේ බැලිය නොහැකියයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේසා අසිරිමත් දහම්පාය නම් නිවසක්‌ අනිත්‍යභාවයට පත්වී ගියාය කියල බුදුරජාණන් වහන්සේ දේශණාකරනවා. අතීතයේ පිංවත් ඔබම ජීවත්වු මෙවන් අසිරිමත් මන්දිරයක්‌ වෙනස්‌වී ගියානම්, අහිමිවී ගියානම් ඒ සංස්‌කාර අනිත්‍යවී ගියානම් වර්තමානයේ ඔබ පරිහරණය කරන ඔය නිවස සෙල්ලම් ගෙදරක්‌ නේද? අතීත නිවාස ප්‍රත්‍යවෙක්‌ෂාව තුළින් වර්තමාන නිවස කෙරෙහි ධර්මයේ අර්ථය මතුකරගන්න. 

ඉහත සටහන කියවන විට ඔබට ප්‍රශ්ණයක්‌ මතුවෙන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයේ රජකම් කරපු මහසුදස්‌සන බෝධිසත්ව සක්‌විති රජුට දිව්‍යතලයේ විස්‌කම් දෙවිපුත් දහම්පාය නිවස මැව්වෙ කොහොමද කියල. මේකට තමයි කුසලයේ ශක්‌තිය කියන්නේ, දිව්‍යතලයේ ශක්‍රයා යම් පිනකින් කුසලයකින් පොහොසත්ද සක්‌විති රජු කෙනෙක්‌ද එවැනිම පිනකින් පොහොසත් කෙනෙක්‌. ඒ නිසාමයි ශක්‍රයාට දිව්‍යතලයේ උරුම සම්පත් සක්‌විති රජු මනුෂ්‍යලෝකයේදී දෙවියන්ගේ මැවීම තුළින්ම ලබන්නේ. 

අතීතයේ ඔබ සශ්‍රික දිව්‍යතලවල දෙවියෙක්‌ දිව්‍යංගනාවක්‌ හැටියට ඉපදුන වෙලාවේ මොනතරම් අසිරිමත් දිව්‍යවිමාන, දිව්‍ය මන්දිර මගේ කරගෙන ඔබ ජීවත්වෙන්න ඇතිද? ආටානාටිය සුත්‍රයේදී සඳහන් වෙනවා දිව්‍යතලයේ වැඩසිටින සතරවරම් දෙවිවරුන්ගේ එක මහේශාක්‍ය දෙවියෙක්‌වන වෙසමුණි දිව්‍ය රජුන්ට අහසේ මවන ලද ආටානාටය, කුසිනාටාය, පරකුසිනාටාය යෑයි දිව්‍ය නගරයන් තිබෙනවාය කියල. පරකුසිනාට නුවරට උතුරු දෙසින් කපිවන්ත නම් නුවරක්‌ද නවනවතිය නම් නුවරක්‌ද, ජනොඝ නම් නුවරක්‌ද, ආලකමන්දා නම් රාජධානියක්‌ ද තිබෙනවා කියලා. මේ සියල්ල දිව්‍යතලයේ වෙසමුණි දිව්‍යරජු යටතේ පවතින දිව්‍ය රාජධානියයි. මෙම රාජධානියේ විසිතුරු මල් උයනක්‌ තිබෙනවා. එම මල් උයනේ භගලවතීනම් රනින් නිමවු මන්දිරයක්‌ තිබෙනවා. එම දිව්‍ය මල් උයනේ දිව්‍ය පක්‍ෂීන් බෝහමයක්‌ සිටිනවා. දිව්‍ය මොනරුන්, කොස්‌වාලිහිනින්, කෝකිලයන්ගේ නාදයෙන් කුල්මත්වු නිති ඵලදරණ වෘක්‌ෂයෝ එහි තිබෙනවා. එහි මල් ගොමුවල ජීව, ජීව යෑයි හඩනඟන ජීවජීවක නම් පක්‌ෂියෙක්‌ද උට්‌ඨවචිත්ත නම් පක්‌ෂියෙක්‌ ද වළිකුකුලෝද රන් කකුළුවෝද පොකඛරසාතක නම් පක්‌ෂිහුද ගිරවුන් සැළලිහිණියන් දන්ඩමානවක නම් පක්‌ෂීන්ද නිරතුරුවම වෙසමුණි දිව්‍ය රජුගේ දිව්‍ය මන්දිරය, දිව්‍ය මල් උයන විසිතුරුයි කියල ආටානාටි සුත්‍රයේ සදහන් වෙනවා. මෙවන් විසිතුරු දිව්‍ය මන්දිරවල ඔබ අතීතයේ ජීවත් වුණා නම් ඒ විසිතුරු සංස්‌කාරයන් අනිත්‍යවී ගියානම් මේ මොහොතේ ඔබ ජීවත්වන නිවස කෙරෙහි කුමන තෘෂ්ණාවක්‌ ඇතිකොටගන්නද? ඒ නිසා තෘෂ්ණාවෙන් තොරව නිවස පරිහරණය කරන්න.

සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් නිවස පරිහරණය කරන්න. ඔබේ වසඟයේ තබා ගතනොහැකි දෙයක්‌ වශයෙන් දකිමින් නිවස පරිහරණය කරන්න. එසේ නොවුණොත් නිවස නිසාම පිංවත් ඔබ නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනයකර ගන්නවා. ඉහත ආකාරයටම ඔබ පරිහරණය කරන ඇඳුම් පැළඳුම් ද ප්‍රත්‍යවේක්‌ෂ නුවනින් යුතුව පරිහරණය කරන්න. 

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/10/25/feature05.html

0 comments: