Pages

Thursday, October 29, 2015

කඳුරට නවගම්මාන යටිතල පහසුකම් අමාත්‍යාංශය නිසා උඩරට සිංහල ජනතාවගේ ගම්මාන අහිමිවීමේ අවදානමක්‌!

Related imageශ්‍රී ලංකාවේ මෙතෙක්‌ නොතිබුණු අමාත්‍යාංශයක්‌ කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය නමින් පිහිටුවීමෙන් බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පන්නා දමන ලද උඩරට සිංහල ජනතාවට තවදුරටත් සිංහල ගම්මාන අහිමිකිරීමේ පියවරක්‌ බව සිංහලේ මහජන පෙරමුණ ත්‍රෙනිකායික මහා නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ වෙත සංදේශයක්‌ මගින් පවසා තිබේ.

කඳුරට රාජ්‍ය සහ පෞද්ගලික වැවිලි සමාගම්වලට යට කර ඇත්තේ සිංහලේ පාරම්පරික සිංහල ගම්මාන බවත් ඒවා වැවිලි ව්‍යාපාර බවට පත්කරනු ලැබුවේ ඒවායේ ජීවත්වූ ජනගහනය ගම්මාන පිටින්ම ඝාතනය කරදැමීමෙන් හා පලවා හැරීමෙන් යෑයි මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කැර ඇති සංදේශයක සිංහලේ මහජන පෙරමුණ සඳහන් කර තිබේ.

සිංහල ගම්මානවලට බ්‍රිතාන්‍යයන් සිදු කළ විනාශය රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා විසින් 1817 නොවැම්බර් 15 වැනි දින එංගලන්ත ආණ්‌ඩුවට යවන ලද රහස්‍ය ලිපියක ඇතුළත් කර තිබෙන බව සංදේශයේ සඳහන් වෙයි.

පසුව 1848 අගෝස්‌තු 11 වැනිදා ටොරින්ංටන් ආණ්‌ඩුකාරයා එංගලන්ත ආණ්‌ඩුවට යෑවූ රහස්‍ය ලිපියකද සිංහලයාට සහ සිංහල ගම්මානවලට සිදු කළ විනාශය ද සංදේශය මගින් මහා සංඝරත්නයට සිහිපත් කර තිබේ.

මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කරන ලද සංදේශයෙහි සිංහලේ මහජන පෙරමුණේ ඉල්ලීම් කීපයක්‌ ඇතුළත්වේ. එම ඉල්ලීම් මෙසේය. 

කඳුරට නව ගම්මාන අමාත්‍යාංශය වහා අහෝසි කිරීම, සිංහලයන්ගේ පාරම්පරික ගම්මාන කඳුරට සිංහලයනට යළි ලබාදීම, ජාතිය මර්දනය කිරීම සඳහා ඉංග්‍රීසින් විසින් ගෙන්වන ලද දෙමළ ජනයා සිංහලේ පදිංචිවීමට කැමැත්තේ නම් ඔවුන් සිංහල බවට පත් කිරීම.

සිංහලේ මහජන පෙරමුණේ සභාපති ආචාර්ය දිලන්ත විතානගේ සහ ලේකම් ආචාර්ය නාත් අමරකෝන් යන මහත්වරුන්ගේද ස්‌වර්ණහංස පදනමේ ගාල්ලගේ පුණ්‍යවර්ධන, ලන්ඩන්හි සිංහල පදනමේ කමල් රාජපක්‍ෂ සහ ලන්ඩන්හි සිංහල දේශහිතෛෂී පෙරමුණේ එල්. සී. සමරරත්න යන මහත්වරුන්ගේ නමින් සකස්‌ කරන ලද සංදේශය ගාල්ලගේ පුණ්‍යවර්ධන මහතා මල්වතු අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ, අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක වේඩරුවේ ශ්‍රී උපාලි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ වෙත, රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක පණ්‌ඩිත නාපාන පේමසිරි ස්‌වාමින්ද්‍රයන්වහන්සේට සන්දේශයේ පිටපත පිළිගැන්වූ බව ගාල්ලගේ පුණ්‍යවර්ධන මහතා පැවසීය.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2015/10/28/news18.html

Pic Source

0 comments: