Pages

Thursday, October 29, 2015

චීනය සරණ යන බ්‍රිතාන්‍යය සහ බ්‍රිතාන්‍යයයේ සරණ යන චීන විරෝධී යටත්විජිත ගැත්තන්ගේ කරුමය

1805මුළු ලන්ඩන් නුවර පුරා රතු පළස් එළා, රතු ධජ පතාක ලෙළවා රතු ඇඳුමින් සැරසුණු රාජරාජ මහාමාත්‍යාදීන්ගේ නොමසුරු පිය තෙපුල් මැද රාජ දෝලාවෙන් රැජින ද සමග ක්‍ෂී ජනපතිවරයා ලන්ඩනයේ වීථි සංචාරය කරන විට මේ පශ්චාත්නූතන ඇත්ත ලෝකයේ දසුනක් ද එසේත් නැතිනම් සීත ඍතුවේ සිහිනයක භයානක ජවනිකාවක් දැයි පරීක්‍ෂා කිරීමට කෙනෙකු මදක් නවතින්නට ඇත. විශේෂයෙන් ජනපති ඔබාමා එසේ කරන්නට ඇත. එහෙත් ඒ ඇත්ත ය. තිත්ත ඇත්ත ය. පෙරදා අබිං දී රැවටූ චීනා අද එසේ කළ රැජිනගේ දෑතින් ම දෝළා පෙරහරින් බකිංහැම් මාලිගයට ‘වඩමවා’ එහි සකල විධ මල් අතුළ සුවඳ ගැල් වූ අසුන් මත හිඳුවා ඉනික්බිති ව රැ දෙකක් එහි ‘සතපවා’ සියළු ගරුසරින් පුදන දසුන් සත්‍ය ඒවා බව ඔබාමා ද කෙරී ද පසුව දැනගත්හ.

chineseචීන ජනාධිපති ක්‍ෂීට බ්‍රිතාන්‍යයේ දී දුන් දැවැන්ත පිළිගැනීම හා ගෞරව ප්‍රධානයන්ගෙන් අඩක් වත් ඊට පෙර එරටට පැමිණි ජනාධිපති ඔබාමාට නොලැබී යාම මගින් අර්ථවත් කරන්නේ නව ලොව යථාර්ථයයි. ඇමරිකාව විසින් නිමක් නැති අනවශ්‍ය යුද්ධවලට ඇද දමන ලදු ව දැන් එහි දැවැන්ත ආර්ථික හා දේශපාලන කරුමය ගෙවා දමන්නේ බ්‍රිතාන්‍ය ජනතාව ම ය. ඉන් ගොඩ ඒමට නම් කටින් බතල ගෙනෙන ඇමරිකාව නොව අතින් බතල හිටිවන චීනය පසුපස යා යුතු බව මහා බ්‍රිතාන්‍ය තේරුම් ගෙන තිබීම එම යථාර්ථයේ ප්‍රතිඵලයයි.

‍‍චීන ජනාධිපතිවරයා පසුගිය සතියේ බ්‍රිතාන්‍යට ගොස් පවුම් බිලියන 30ක ආයෝජන සඳහා ඩේවිඩ් කැමරන් සමග ගිවිසුම් අත්සන් කළේ ය. එම ආයෝජන අතර බ්‍රිතාන්‍යයේ ඇතැමුන් පමණක් නොව ඇමරිකානු පාලනය පවා කිසියම් දුරකට සොලවා ලූ පවුම් බිලියන 6.5ක න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම් ගිවිසුමක් ද තිබුණි. න්‍යෂ්ටික බලශක්තිය වැනි ජාතික වශයෙන් අතිශය වැදගත් ක්‍ෂේත්‍රයක් චීන ආයෝජනයක් වීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තුළ නොයෙක් විවේචන තිබුණි. එහෙත් එවන් දෙයකට තාක්‍ෂණය ද මුදල් ද ඇති අනෙකෙක් ලොව නැති හෙයින්, යථාර්ථය තේරුම් ගත් කැමරන් ඊට මුහුණ දුන්නේ ය.

ඇමරිකාව අද හුදු රටවල් 64ක පමණක් ප්‍රධානතම වෙළඳ සහචරයා වන විට චීනය රටවල් 123ක ලොකුම වෙළඳ සහචරයා වීම තුළින් පෙන්වන්නේ ලොව ‍වෙනස් ව තිබෙන අපූරුවයි. අප කලාපය ගතහොත් මේ ඊයේ පෙරේදා පමණක් චීනය ඉන්දියාවේ ඩො.බි 22ක ද පාකිස්ථානයේ ඩො.බි 46ක ද ආයෝජන ගිවිසුම් අත්සන් කළේ ය. මෙවන් පසුබිමක ය අප රට විසින් ‍ඩො.බි 1.6 ආයෝජනයක් වන පෝර්ට් සිටි ව්‍යාපෘථිය නවතා දමා චීනයට නොයෙක් අවලාද නගමින් බැණ අඬ ගසන්නේ. පෝර්ට් සිටිය එපා කියමින් සරත් ඉද්දමල්ගොඩ නම් කතෝලික පියනම හා නිර්මාල් රංජිත් වැනි අය පෙත්සමක් අත්සන් කරනු අපි මේ ඊයේ පෙරේ දා ද දුටිමු. මුළු ලොව ම චීන සහායෙන් ගොඩ ඒම‍ට උත්සහ කරද්දී වත්මන් ආණ්ඩුව හා එහි මැක්කන් ඊට අකුල් හෙළීම දේශද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේ කුමන පදනමකින් ද? ඇමරිකාව නැමැති පුපුරායන්ට ඔන්න මෙන්න ඇති අසාර්ථක රාජ්‍යයේ අඳුරු ගැත්තෙකු නොවී නව ලොවට අවදි වන්නට අතීතයේ ජීවත් වන වත්මන් රජයට හා යටත්විජිත බ්‍රිතාන්‍ය සිය ෆැන්ටසිය කරගත් ‘වාමාංශික’ ඇමරිකානු කඳපණුවන්ට ප්‍රඥාව පහළ වන්නේ කවදා ද?

කථිකාචාර්ය මහින්ද පතිරණ
Colombo Today

3 comments:

ඉයන් said...

බලශක්ති අවශ්‍යතාවය දි‍යුණු රටවල ප්‍රධාන ප්‍රශ්ණයකි. එම අවශ්‍යතාවයන් සඳහා යුරෝපයේ රටවල් රුසියාව මත වැඩිවශයෙන් රඳාපැවතීමත් ඔවුනට ප්‍රශ්ණයකි. ඒ සඳහා චීන රජයෙන් අයෝජන ලබා ගැනීම හරි දෙයක් බව සත්‍යයකි. ලංකාවේද බලශක්තිය, උසස් අධ්‍යාපනය, කර්මාන්ත අඩුවීම ප්‍රශ්ණ වේ. ඒවා විසඳීමට උදව් ලබා ගත්තා නම් ලංකාවේ පාලකයන්ට වරදක් කිව නොහැක. එසේ වූවත් ඔවුන් චීනයෙන් ලබා ගත්තේ සියයට අටක පොලියට ණයය. එසේ කලේ ඔවුන් විසින්ම ව්‍යාපෘති කිරීමෙන් ගසා කෑමටය. හම්බන්තොට වරාය දියකඩනය සහ ගබඩා පමණක් ඉදිකර ඉතිරි මුදල් තව 50,000 කට උසස් අධ්‍යාපන අවස්ථා ඇතිකිරීමට යොදාගත්තේ නම් වහලුන් පිටරට නොයවා උගතුන් යැවීමට තිබිණි.

කවදාවත් තාප බලාගාර සාදා නොතිබූ ආයතනයකට නෝරච්චෝලේ නොදී චීනයෙන් කෙලින්ම අයෝජනයක් ලෙස ලබාගෙන විදුලිය මිලදී ගැනීමකට ගියා නම් ඒවායෙන් ගසා කෑමට සහ ගල් අඟුරු මිලදී ගැනීමෙන් ගසා කෑමට නොහැකි වීමට ඉඩ තිබුණ බව වැටහුණු අය කළේ කුමක් දැයි සැවොම දනී.

එමනිසා බටහිර රටවල් කරන අකාරයට විනිවිද පෙනෙන අකාරයෙන් රට අවශ්‍ය දේ මහජනයාට බරක් නොවන ලෙස ලබා ගැනීමත් රට පරම්පරා ගණනකට ණයකිරීමත් අතර වෙනස තේරුම් ගත යුතුය. ශතවර්ෂ ගණනක සිට පැවති ලංකා චීන සම්බන්ධතා ප්‍රයෝජනයට ගනිමින් කළ හැකිව තිබූ බොහෝදේ වෙනුවට කිහිප දෙනෙකුට කොමිසන් සඳහා කළ දේවල් ගැන බොහෝ දෙනෙක් දනිති.

Anonymous said...

'siyayta ataka poliyata' - manasgaatha, boru godak! ( IHATHA COMMENT EKA )

Anonymous said...

ජ්යාතියන්තර නය ගනුදෙනුවල පොලී අනුපාත ගැන අවභෝදයක් නොමැති Ian මේ පුවත ගැන comment කර ඔහුගේ නොදැනුවත්කම සහ මුග්ධ බව ප්‍රදර්ෂණය කර ඇත. මීට පසු comment කිරීමට පෙර දත්ත ගැන දැනුවත් වන්න .