Pages

Saturday, October 24, 2015

ලාරාට හා තෙන්දුල්කාර්ට වඩා අරවින්ද සුපිරිවන්නේ ඇයි?

පින්නදූවගේ අරවින්ද සිල්වා ඉකුත් 17 වැනිදා පනස්‌වැනි උපන් දිනය සැමරීය. සුප්‍රකට ටඡ්මහල එය නිර්මාණය කරනු ලැබූ මුල් වසර සියය තුළ ඉන්දියාවෙන් පිටත ලෝකය නොදැන සිටියා වගේම අරවින්ද ගේ ක්‍රීඩා මුල්කාලය තුළ ඔහු ගැන විශේෂ පිළිගැනීමක්‌ ලංකාවෙන් පිටත ලෝකය තුළ පැවැතියේ නැත. මෙය වෙනස්‌ වූයේ ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසුය.

ඉන්දියානු ක්‍රිකට්‌ ඉතිහාසඥ රාමචන්ද්‍ර ගුහා පවසන්නේ විවියන් රිචඩ්ට වඩා සුනිල් ගවස්‌කාර් සුපිරි ක්‍රීඩකයකු බවයි. රිචඩ් පන්දුවට දැඩිව පහරදුන් ප්‍රහාරක පිතිකරුවකු වුවත් ඔහු බටහිර ඉන්දීය සුපිරි පන්දු යවන්නන්ට මුහුණ දී නැති බව රාමචන්ද්‍ර කියයි. නමුත් සුනිල් ගවස්‌කාර් සුපිරි බටහිර ඉන්දීය වේගපන්දු යවන්නන් වන ගාර්නර්, මාෂල්, හෝල්ඩින් වැනි අයට මුහුණ දෙමින් ටෙස්‌ට්‌ ශතක 13 ක්‌ ලබාගෙන ඇත. ඒ කාලයේ සුපිරිම පන්දු යවන්නන් බලඇණිය සතු වූයේ කොදෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායමටය.

මේ අනුව බලන කල අරවින්ද යනු බ්‍රයන් ලාරාට හා සචින් තෙන්දුල්කාර්ට වඩා සුපිරි ක්‍රීඩකයෙකි. පකිස්‌තානයට එරෙහිව වැඩිම ටෙස්‌ට්‌ ශතක ලබාගෙන ඇත්තේ අරවින්ද බව බොහෝ දෙනා නොදනී. ඔහුගේ කාලයේ සුපිරිම පන්දු යවන බල ඇණිය සතුවූයේ පකිස්‌තානයටය. ඉම්රාන් ඛාන්, වසීම් අක්‍රම්, වකාර් යුනිස්‌ මෙන්ම අබ්දුල් කදීර් පන්දු යවද්දී අරවින්ද ඔවුනට එරෙහිව ප්‍රහාර දියත් කළේය.

ලාරා හා තෙන්දුල්කාර් යන දෙදෙනා ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය අරවින්දට වඩා ඉහළ විය හැකිය. නමුත් මොවුන් දෙදෙනා තම පිතිකරණයෙන් සිය මව් රටට ලෝක කුසලානය නම් දිනා දී නැත. නමුත් අරවින්ද එය ඉටුකර තිබේ. ශ්‍රී ලංකාව පකිස්‌ථානයට එරෙහිව ලබාගෙන ඇති ටෙස්‌ට්‌ ජයග්‍රහණ හයටම අරවින්දගේ සුපිරි පිතිකරණය හේතුවී ඇත. (ඔහු ක්‍රීඩා කරන කාලය තුළ)

මට මුලින්ම අරවින්ද ගැන අසන්නට ලැබුණේ දස හැවිරිදි වියේ පසුවනවිටය. 1985 අරවින්ද තම පළමු ශතකය පකිස්‌තානයට එරෙහිව වාර්තා කළේය. එහි විශේෂ අවස්‌ථා වීඩියෝ පටයෙන් නැරඹුවෙමි. ටෙස්‌ට්‌ තරග සජීවීව රූපවාහිනියේ විකාශය නොකරන ලද ඒ කාලයේ මා වාසය කළේ ඉන්දියාවේය.

ඉම්රාන් ඛාන් එවක සුපිරිම පන්දු යවන්නෙක්‌ විය. එහෙත් 19 හැවිරිදි අරවින්ද ඉම්රාන් ඛාන්ගේ පන්දු හමුවේ සිය ප්‍රහාරය දියත් කළේය. ෆයිසලාබාද් නුවර පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයේ ලකුණු 94 ක්‌ ලබාදී සිටි අරවින්ද ඉම්රාන් ඛාන් එවූ බවුන්සරයට හුක්‌ පහරකින් ලකුණු හයක්‌ ලබාගෙන සිය ශතකය වාර්තා කළේය. අරවින්ද හුක්‌පහර එල්ල කිරීමෙන් පසු ඉම්රාන් ඛාන් ඔහු අසලට පැමිණ ,ඇකක ඉaඑඑed, යනුවෙන් පැවසූ බව අරවින්දගේ චරිතාපදානයේ සඳහන්වී ඇත. සුපිරි දඟපන්දු යවන්නෙකු වූ අබ්දුල් කදීර් මෙන්ම වසීම් අක්‍රම්ටද මුහුණ දෙමින් මේ සංචාරයේදී ඔහු තවත් ශතකයක්‌ වාර්තා කළේය. නමුත් මේ ටෙස්‌ට්‌ තරග දෙකෙන්ම ලංකාව පරාජය විය. අරවින්ද සිය ක්‍රීඩා දිවිය තුළ පකිස්‌තානයට එරෙහිව ශතක අටක්‌ වාර්තා කර ඇත.

1986 වර්ෂයේ මැද භාගයේදී කොළඹ සිංහල ක්‍රීඩා සමාජයේ පුහුණුවීම්වල යෙදෙන මේ සුපිරි පිතිකරුවා මට සජීවීව දැකගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකාවට ක්‍රිකට්‌ ක්‍රීඩාවේ හිනිපෙත්තට නැගීමට අවස්‌ථාව ලැබුණේ 1996 දීය. ලෝක කුසලානය දිනූ රාත්‍රියේ ඔහු විකට්‌ටුවට පැමිණි ආකාරය අදද මට සිහිකළ හැකිය. ඔහු ලකුණු ගැනීම ආරම්භ කළේ ඕන් ඩ්‍රයිව් පහරකින් ලකුණු තුනක්‌ ලබාගනිමිනි. ෂේන් වොන්ට එරෙහිව අරවින්ද දක්‍ෂ ලෙස පිත්ත මෙහෙයවීය. තරගය අවසානයේදී වෝන්ට කිසිම විකට්‌ටුවක්‌ දවා ගැනීමට හැකි වූයේද නැත. 96 ජයග්‍රහණයෙන් පසුව මේ සුපිරි ක්‍රීඩකයාව පෞද්ගලිකව හඳුනා ගැනීමට අවස්‌ථාව උදාවිය. ඔහුගේ මෘදු හඬ පිතිකරණයේ ප්‍රහාරක බව මෙන් රළු නොවීය. ශ්‍රී ලංකා කණ්‌ඩායමේ භෞතික චිකිත්සක ලෙස කටයුතු කළ ඔස්‌ටේ්‍රලියානු ජාතික ඇලෙක්‌ස්‌ කොන්ටූරි පවසන්නේ අරවින්ද යනු මගේ හොඳම යහළුවා මෙන්ම ලොව හොඳම පිතිකරු බවය.

(නිර්ගුනන් තිරුචෙල්වම් විසින් 'දි සන්ඩේ අයිලන්ඩ්' පුවත්පතට ලියූ ලිපිය ඇසුරිනි).

චතුර පමුණුව
http://www.divaina.com/2015/10/25/sports02.html

0 comments: