Pages

Saturday, October 24, 2015

ශ්‍රීමත් සිරිල් ද සොයියා ගැන වැඩි දෙනා නොදත් කතාවක්‌

ශ්‍රී ලංකාද්වීපයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ගිහි බෞද්ධ නායකයන් අතරින් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්හට හිමිවන්නේ අද්විතීය ස්‌ථානයකි. ඔහු කළ අනභිභවනීය සේවාවන් අතර කළුතර බෝධීන් වහන්සේ සංරක්‌ෂණයට ගත් උත්සාහය වැදගත් තැනක්‌ ගනියි. සම්බුද්ධ ශාසනයටත් ලක්‌වාසී බෞද්ධ ජන සමාජයටත් අගනා මෙහෙවරක්‌ කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් මෙලොව උපත ලබන්නේ ක්‍රි. ව. 1896 ඔක්‌තෝබර් 26 වැනි දින ගාලු දිස්‌ත්‍රික්‌කයේ බෙන්තර වලල්ලාවිට කෝරළයේ බළපිටිය මැතිවරණ කොට්‌ඨාසයේ වැලිතොට ග්‍රාමයේදීය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා ගාලු දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ නොව තුන් හෙළයම අලෝකවත් කළ වීර ලංකා පුත්‍රයෙකි. ඔහු මුලින්ම අකුරු කළේ මාතර ශාන්ත තෝමස්‌ විද්‍යාලයේය. ටික කලකින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වසරක පමණ කාලයක්‌ අකුරු කළ එතුමා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වී අධ්‍යාපන කටයුතු කළේය. කේම්බ්‍රිඡ් සීනියර් විභාගයෙන් සමත්වූ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා නීතිය හැදෑරීම සඳහා නීති විද්‍යාලයට ඇතුළත් විය. නීතිඥ විභාගයෙන් සමත්වූ ඔහු විද්‍යාලයෙන් සමුගෙන 1921 දී මුලින්ම සේවය සඳහා පැමිණියේ බළපිටිය පොලිස්‌ උසාවියටය. බළපිටිය අධිකරණයෙන් සේවය ඇරඹූ ඔහු වැඩිකල් යන්නට පෙර දෛවය විසින් මෙහෙයවන ලද්දේ වැලිතොටින් කළුතොටටය. ඔහු වැඩිකල් යන්නට මත්තෙන් අවංක, දක්‌ෂ නීතිඥවරයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්වූයේය.

ඉංග්‍රීසි ආධිපත්‍යය පැවැති මේ දිනවල කළුතර බෝධීන් වහන්සේට මලක්‌ පහනක්‌ පුදන්නටවත් කිසිවකුට ඉඩ ලැබුණේ නැත. කළුතර ඒජන්ත තැන පොලිසිය ලවා මුරකරුවා ලවා වන්දනාවට යන එන බෞද්ධ ජනතාව පන්නා දැමුමේය. මේ සිද්ධිය සැළවුණු පසු නීතිඥ සිරිල් ද සොයිසා මැතිතුමා බලහත්කාරයෙන් එම ස්‌ථානයේ මල් ආසනයක්‌ සෑදෙව්වේය. එසේ ආරම්භ කළ සේවාව එතුමා නොනවත්වා ඉදිරියටම කරගෙන ගියේය. කළුතර බෝධීන් වහන්සේට අරක්‌ගත් දෙවි කෙනකුගේ ඇල්ම බැල්ම තමන්ට ලැබෙන නිසා බෝධීන් වහන්සේගේ සංවර්ධනය දිනෙන් දිනම සාර්ථක වන බව ඔහු විශ්වාස කළේය. කළුතර බෝධීන් වහන්සේ කේන්ද්‍ර කරගෙන ඔහු සම්බුද්ධ ශාසනයේ ප්‍රගමනය වෙනුවෙන් සුවිශාල සේවාවක්‌ කළේය. විශේෂයෙන්ම එතුමාගේ දැක්‌ම බවට පත් කළුතර බෝධීන් වහන්සේ අවට සුන්දර පරිසරයක්‌ නිර්මාණය කිරීමත් බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන අයට නිදහසේ එම කටයුතු කිරීමටත් අද අවකාශ ලැබී තිබේ. ලංකාවේ ප්‍රමුඛ පෙළේ බෞද්ධ ආගමික ස්‌ථානයක්‌ ලෙසට කළුතර බෝධීන් වහන්සේ පත්ව ඇත. බෞද්ධ පුනර්ජීවනය පමණක්‌ නොව ජන සමාජයේ දියුණුවද ඔහු අපේක්‌ෂා කර ඇත. ඒ වෙනුවෙන් ඔහු සුවිශාල වැඩ කොටසක්‌ සිදුකොට ඇත. සමාජ මෙහෙවර තම රැකියාවෙන් ලබන වේතනයෙන් පමණක්‌ කළ නොහැකි බව අවබෝධ කරගත් ඔහු "ස්‌වර්ණපාලී" නමින් බස්‌ සමාගමක්‌ ආරම්භ කළ අතර එම බස්‌ සේවය පසු කාලයේ "සවුත් වෙස්‌ටර්න්" බස්‌ ව්‍යාපාරය බවට පරිවර්තනය කළේය. දකුණු කෙළවර දක්‌වා ධාවනය වූ මෙම බස්‌ සේවය දිනෙන් දිනම දියුණුවට පත්විය. ඔහු කළුතර බෝධීන් වහන්සේ පසුකර යන ඔවුන්ගේ බස්‌වල මගීන්ට කළුතර බෝධීන් වහන්සේට පඬුරක්‌ පූජා කරන ලෙසට ආයාචනා කළේය. ඔහු එමගින් අපේක්‌ෂා කළේ බෞද්ධ ජනතාව තුළ ශ්‍රද්ධාව ඇති කිරීමත් කළුතර බෝධීන් වහන්සේ සංරක්‌ෂණය සඳහා ජනතා සහාය ලබා ගැනීමත් වන්නට ඇත. මෙම බස්‌ සමාගම මගින් ජනතා සේවය උපරිමයෙන් ඔහු කළ අතර එමගින් ලැබූ ආදායම ද සම්බුද්ධ ශාසනයේ දියුණුවට හා ජනතා සේවයට වැය කළේය. "ධම්මෝ හවේ රක්‌ඛති ධම්ම චාරී" යන බුදු වදනට අනුව ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාට වැඩි කලක්‌ ගතවන්නට පෙර රටේ පාලකයෝද, බෞද්ධ භික්‌ෂූන් වහන්සේද, විවිධ ව්‍යාපාරිකයෝද පැහැදුණි.

තවද ඔහු කතරගම කිරි වෙහෙරේ ප්‍රතිසංස්‌කරණ කටයුතුවලදී ද මුල්වී කටයුතු කරමින් එහි දියුණුවට විශාල දායකත්වයක්‌ ලබාදී ඇත. එපමණක්‌ නොව බෙල්ලන්විල රජමහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය, බම්බලපිටිය වජිරාරාමය හා කළුවාමෝදර කඩරද විහාරය ආදී විහාරස්‌ථානයන්හි දියුණුව වෙනුවෙන් ද සුවිසල් දායකත්වයක්‌ ඔහු ලබාදී ඇත.

1956 දී බලයට පත්වූ බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ රජය 1958 දී බස්‌ ව්‍යාපාරය ජනසතු කළේය. එම අවස්‌ථාවේදී "සවුත්වෙස්‌ටර්න්" බස්‌ සමාගමට අයිති බස්‌ රථයන්හි පැරණි ටයර් ඉවත්කර අලුත් ටයර් යොදා දීමට තරම් ඔහු දානපතියෙක්‌ විය. එමගින්ද ඔහු අපේක්‌ෂා කළේ ජනතා සේවයයි. ආත්මාර්ථය පිටුදැක පරාර්ථය වෙනුවෙන් ක්‍රියා කළ පුද්ගලයෙක්‌ ලෙස ද ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් හැඳින්විය හැකිය.

ශ්‍රීමත් සිරිල් ද සොයියා මැතිතුමන්ගේ ඉදිරි දැක්‌ම ප්‍රඥගෝචර බවින් යුක්‌ත විය. රුපියල් මිලියන 200 ක භාරකාර අරමුදලක්‌ පිහිටුවීම එයට සාක්‌ෂි දරයි. එයින් ලබන පොලිය සම්බුද්ධ ශාසනයේ චිරස්‌තිථිය වෙනුවෙන් කැපකළ යුතු බවද ඔහුගේ දැක්‌ම බවට පත්විය. මෙවන් උදාර සේවාවක්‌ කළ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන් සදානුස්‌මරණීය වන්නේය. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ට නිවන් සුව ලැබේවා.

ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මාහිමි

සබැඳි ලිපි -
[
මහ මෙහෙවරක නියමුවා වූ සැබෑ බෞද්ධ නායකයා - ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/10/blog-post_23.htmlඅසිරිමත් මගක ගිය ශ්‍රීමත් සිරිල් ද සොයිසාhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_9224.html
]

0 comments: