Pages

Wednesday, October 23, 2013

සංවර්ධනය පිළිබඳ අපගේ දැක්‌ම කොතරම් නිවැරැදිද?

1950 දී අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 89 කි. 2000 දී 881 කි. 2012 දී 2,923 කි. 1950 දී ජපානයෙහි එම තත්ත්වය ඇ. ඩො. 90 කි. 2000 දී 32,000 කි. 2012 දී 46,720 කි. ඒ අනුව අපි එක තැන පල්වෙද්දී ජපන්නු ලබා ඇත්තේ ශීඝ්‍ර දියුණුවකි. එහෙත් අප රටවල් දෙකම ආසියාතික රටවල්ය. ජපානය අපට වඩා 5.2 ක්‌ විශාලය. අපේ රටේ ජනගහනය මිලියන 20.6 කි. ජපානයෙහි මිලියන 128 කි. එය ප්‍රතිශතාත්මකව බලනවා නම් අපට වඩා 6.2 ක ගුණයකි. ඒ අනුව භූමි ප්‍රමාණයට සාපේක්‍ෂව බැලුවත් ජනගහනය අපට වඩා වැඩිය. භෞතික සම්පත් ලෙස අපට නැත්තේ ඉන්ධන සහ ඒ ආශ්‍රිත දේ මෙන්ම ලෝහ වැනි දේ පමණි. ජපානයින්ටත් එය එසේමය. අපේ භූමියේ පිහිටීම සහ ලොව තුළ කේන්ද්‍රස්‌ථාන වී ඇති සැටියෙන් ද ජපානයින්ට වැඩියෙන් අපි වාසනාවන්තයන් ද වෙමු. අපට ස්‌වභාවික විපත් සහ ආපදා අවමය. ජපානයින්ට එම තත්ත්වය අපට වැඩ සිය දහස්‌ ගුණයකින් වැඩිය. එනිසාම අපට වැඩ කරන්නට අවුරුද්දේ දින 365 ම හැකි වුවත් ඔවුන්ට දින 300 ට වඩා පූර්ණ කාලීන වශයෙන් වැඩ කිරීමේ හැකියාවක්‌ ද නැත. ඒවගේම ජපානයෝ කෘෂිකාර්මික සහ කාර්මික සංවර්ධනයකට උරුමකම් ඇති ජාතියකි. එයම පදනම් කරගෙන ගොඩ නැගුණ ජාතියකි. අපිටද ආවේනිකව පවතින්නේ එයමය. එහෙත් 1950 දී ඒක පුද්ගල ආදායමෙන් අපට වඩා එක ඩොලරයක පමණක්‌ ඉහළින් සිටි ජපානයෝ සංවර්ධනය අතින් මේ වන විට සිටින්නේ කොතැනද, අපි සිටින්නේ කොතැනද, කියා බලන විට එය අදහා ගන්නට නොහැකි විශාල ගැටලුවකි. අහසයි පොළවයි වැනිය. එපමණක්‌ නොව පසුගිය වසර 65 තුළ උද්ධමනය බින්දුවෙහි තබාගන්නට සමත් වූ එකම රට ජපානය වීමද සුවිශේෂීය.

ආර්ථිකය අතින් පමණක්‌ නොව ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය පැත්තෙන් බැලුවත්, තම අනන්‍යතාවයන් විනාශ කර නොගැනීම පැත්තෙන් බැලුවත්, ජපානයින් අපට වඩා සිය දහස්‌ වාරයක්‌ ඉදිරියෙන්ය. ඊට හේතුව කුමක්‌ද? දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඔවුන්ට ඇති වූ පීඩාකාරී තත්ත්වයද, එමතින් ගොඩ නැගෙන්නට ඇති වූ වුවමනාවද, එසේත් නැත්නම් රට ගොඩගන්නට ගනු ලැබුවා වූ ඥනාන්විත දේශපාලන තීන්දු තීරණද, එසේත් නැත්නම් වෙනත් අද්භූත හේතුවක්‌ද, කියා සොයා බලන්නට වටිනු ඇත. ඒ අනුව බැලූ බැල්මට වුවද පෙනෙන්නට ඇත්තේ ඔවුන් විසින් 50 දශකයේදී ගනු ලැබූ ඉතාමත්ම සරල, සෘජු සහ සමීපතම වූ ප්‍රායෝගික තීන්දු තීරණ කීපයක්‌ හේතු වී ඇති බව පමණි. ඒ හැරෙන්නට වෙනත් හේතුවක්‌ බල පා නොමැති බව ද පැහැදිලිය. එනිසා ඉහත සඳහන් කළ පරිදි ජපානයට බොහෝ සමාන කම් ඇති අපි ද සැසඳෙන්නට සහ ගැලපෙන්නට මෙන්ම ආදර්ශයට ගත යුතු වන්නේ ඔවුන්මය. ඉන්දියාව, චීනය, සිංගප්පූරුව හෝ ඇමරිකාව නොවේය.

ජපානයෝ මුළින්ම කර ඇත්තේ දේශීය නිෂ්පාදනයට, ඒ සඳහා වගුරන ශ්‍රමයට, දහදිය බිඳුවට සහ කැප කරන සේවයට, ඉතාමත්ම ඉහළ සහ ස්‌ථාවර වටිනාකමක්‌ හිමි කර දීමය. ඔවුන් එසේ කර ඇත්තේ විවිධාංගීකරණ වූ දළ ජාතික නිෂ්පාදනය වැඩි කර ගන්නට නම්, මිනිසුන් එකා වන්ව සෑම ක්‍ෂේත්‍රයක්‌ තුළම වැඩ කළ යුතුය යන බව අවබෝධයෙනි. එපරිදිම මිනිසුන් වැඩ කරන්නට නම්, ඔවුන්ගේ ශ්‍රමයට සහ නිපැයුමට ඉතා ඉහළ වටිනාකමක්‌ හිමි විය යුතුය යන අවබෝධයෙනි. ඒ අනුව ඔවුන් වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම් සැපයුම් න්‍යායට යට වෙමින් කිසි විටෙකත් ශ්‍රමිකයා සහ නිපැයුම වෙන්දේසි වන්නට සහ අව තක්‌සේරු වන්නට ඉඩ තබා නැත. එපමණක්‌ නොව ඊට සුදුසු වටපිටාව ද නිර්මාණය කර ඇත. එපමණක්‌ නොව ඊට ගැලපෙන දේශපාලන න්‍යාය පත්‍රය ද සම්පාදනය කර ඇත. එනිසාම ඕනෑම රටක්‌ රාජ්‍යයක්‌ තුළ පළමුවෙන්ම නිර්මාණය වන විරැකියාව නමැති අභියෝගය ජය ගන්නට ඔවුන් සමත් විය. දළ දේශීය නිෂ්පාදනය වැඩිකර ගන්නට ඔවුන් සමත් විය. ආනයනය අඩුකර අපනයනය වැඩි කර ගන්නට සමත් විය. එනිසාම විදේශ විනිමය කාන්දු වන හිල් වසා ගැනීමට සහ ශක්‌තිමත් ආර්ථික ගොඩ නැගීමේ ප්‍රබල අභියෝගය ජයගන්නට ද ඔවුන් සමත් විය. එපමණක්‌ නොව එම ශක්‌තිමත් ආර්ථිකය වැඩ කරන ජනයා අතරේ සාධාරණව බෙදී යැමට ද හේතු විය. එනිසා මානව හිමිකම්, සමාජ අරගල, බාහිර බලපෑම්, යනුවෙන් නම් කෙරෙන ඊළඟ අභියෝග තුනද අනෙකුත් අර්බුද සහ ප්‍රායෝගික ගැටලුද පහසුවෙන් ජය ගන්නට ඔවුන්ට හැකි විය. එහෙත් අපි කර ඇත්තේ කුමක්‌ද? වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම් සැපයුම් න්‍යායට යට වී අපගේ නිපැයුම සහ ශ්‍රමිකයාව වෙන්දේසි වීමට ඉඩ හැරීම සහ අවතක්‌සේරු වීමට ඉඩ හැරීම නොවේද, පහසුවෙන් වැඩි වටිනාකම හිමි වන අංශයකට, ක්‍ෂේත්‍රයකට හෝ වෘත්තියකට පමණක්‌ ශ්‍රමිකයාව තල්ලු කිරීම නොවේද, ඊට සාපේක්‍ෂව තරගකාරිත්වයක්‌ නිර්මාණය කර තැළෙන පෑගෙන එකා පෑගෙන්නට ඉඩ හැරීම නොවේද, එපරිදි විවිධාංගීකරණ නිෂ්පාදන ක්‍රියාවලියට වැට බැඳීම නොවේද, ශ්‍රමය, දහදිය බිඳුව සහ දේශීය නිපැයුම මෙන්ම පොදුවේ ගත්කල වැඩ කරන මිනිසුන් මායිම් නොකර නිකමුන් පෝෂණය කිරීම නොවේද, එනිසාම යාන වාහන යන්ත්‍රොaපකරණ තබා ඉඳිකට්‌ටක්‌ හෝ හරනෙල් කට්‌ටක්‌වත්, නිපදවා ගන්නට නොහැකි වටපිටාවක්‌ නිර්මාණය කර ගැනීම නොවේද, කෘෂිකර්ම ක්‍ෂේත්‍රයම අර්බුදයකට ලක්‌ කිරීම නොවේද, කර්මාන්ත කරුවන් සහ නව නිපැයුම් කරුවන් මොට කර දැමීම නොවේද, නිෂ්පාදනය කරන්නට හැකි ඒ සියලු දේ ආනයනය කිරීම නොවේද, මුලින්ම ජය ගත යුතුව තිබූ විරැකියාව නමැති අභියෝගය තව දුරටත් අභියෝගයක්‌ ලෙසින්ම තබා ගැනීම නොවේද, මෙපරිදි අපට ආර්ථිකය ශක්‌තිමත් කර ගන්නට හැකි වෙයිද, මානව හිමිකම් ආරක්‍ෂා කර ගන්නට හැකි වෙයිද, සමාජ අරගල නතර කරන්නට හැකි වෙයිද, බාහිර බලපෑම් වලට මුහුණ දෙන්නට හැකි වෙයිද, එම ප්‍රබල අභියෝග තබා සාමාන්‍ය අර්බුදයක්‌ හෝ ප්‍රායෝගික ගැටලුවක්‌වත් නිරාකරණය කර ගන්නට හැකි වෙයිද, බාලාංශ පංතියේ ප්‍රශ්නයක්‌වත් විස¹ ගන්නට හැකි වෙයිද, අපේ කම් කිසිවක්‌ රැකගන්නට හැකි වෙයිද, රට ඉදිරියෙන් දමාගෙන තිබෙන බෝඩ් ලෑල්ලට අනුව ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය ආරක්‍ෂා කර ගන්නට කවදාවත්ම හැකි වෙයිද, ජාතික එකමුතුවක්‌ ඇති වෙයිද, රට තුළ යහ පාලනයක්‌ ඇති වෙයිද, ඔය කියන දේශපාලන විසඳුම ලැබෙයිද, අපට එසේ කරන්නට නොහැකි ඇයි?

අපි හිතන පතන ආකාරය සරල නැත. එය සංකීර්ණ සහ බරපතළය. අපි සංවර්ධනය කරන්නට සිතන්නේද එපරිදිමය. අපි අපිට වැරදුන තැන් මොනවාද යන්න හඳුනා ගන්නට කවදාවත්ම උත්සාහ කරන්නේ නැත. කළයුතු දේ නොකළ යුතු දේ මොනවාද යන්න අපි හඳුනන්නේ නැත. එසේ කරන්නට උත්සාහ කරන්නේ නැත. අලුතෙන් සිතන්නට උත්සාහ කරන්නේ ද නැත. අපිට හැකියාව ඇත්තේ සහ අපි දන්නේ අඳුරේ අතපත ගාන්නට පමණි. සුපුරුදු වැරදි ස්‌ථාවරයන් තුළ රැඳෙමින් වැල යන පැත්තට මැස්‌ස ගහන්නට පමණි. අපි මෙතෙක්‌ කර ඇත්තේ සියලුම අවුල් වියවුල් බවට පත්කර ගැනීම පමණි. පස්‌ පව් සහ දුරාචාරය වැළඳ ගැනීම පමණි. අපේ කම් විකෘති කර ගැනීම පමණි. අපගේ සංවර්ධනය එයයි. එහෙත් ජපානයෝ දේශීය කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත වැඩි දියුණු කරගෙන ඇත. විවිධාංගීකරණ නිපැයුම් වැඩි දියුණු කරගෙන ඇත. ආනයනය සීමා කර අපනයනය වර්ධනය කරගෙන ඇත. තමුන්ගේ කම් සියල්ලම රැකගෙන ඇත. එසේ කර ඇත්තේ දේශීය නිපැයුමට සහ ඒ සඳහා යොදවන ශ්‍රමයට ඉතා ඉහළ වටිනාකමක්‌ ලබා දීමෙනි. එසේ කරන්නට හරස්‌ වන බාධක ඉවත් කිරීමෙනි. ඒ සඳහා ආදායම් සහ වැටුප් විෂමතා අවම කර ඇත. පොලී ප්‍රතිශතය බිංදුවක්‌ ලෙස තබමින් මුදල් විකුණන්නට සහ මවන්නට ඇති අවකාශය අහිමි කර ඇත. අතරමැදියන්, පොලී කාක්‌කන්, පෙට්‌ටි කඩ කාරයන්, ලොතරැයි වෙළෙඳුන්, ත්‍රීවීල් රියෑදුරන්, අතරේ වටිනා ශ්‍රමය නාස්‌ති වන්නට ඉඩ හැර නැත. ශ්‍රම බළකායෙන් 70% ටත් වැඩියෙන් නිෂ්පාදන ක්‍රියාවලියෙහි ඉබේටම නිරත වන තැනට වට පිටාව නිර්මාණය කර ඇත.

එසේ කරන්නට ජපානයෝ විවිධාකාර උපක්‍රම භාවිත කර නැත. අප මෙන් වැල යන පැත්තට මැස්‌ස ගසා නැත. ඉල්ලුම් සැපයුම් න්‍යායට යට වී නැත. වරින් වර බඩු මිල පහත දැමීමට උත්සාහ කර නැත. විවිධාකාර බදු අඩු වැඩිකර නැත. දස අතේ ණය වී නැත. කොළතුනේ සූදුව කෙලින්නා සේ මහ බැංකු තීන්දු තීරණ ගෙන නැත. ඔවුන් ඔවුන්ව රවටා ගන්නේ නැත. ඔවුන් කර ඇත්තේ දේශීය නිපැයුමට ඒ සඳහා කැප කරන ශ්‍රමයට සහ දහදිය බිඳුවට වැඩිම සහ ස්‌ථාවර වටිනාකමක්‌ ලබා දීම පමණි. ඒ සඳහා ඇති සියලු බාධක ඉවත් කිරීම පමණි. ඒ සඳහාගත යුතු සරල, සෘජු සහ සමීපතම දේශපාලන තීන්දු තීරණ කීපයක්‌ ගැනීම පමණි. එපරිදි ඔවුන් පහත සඳහන් පරිදි ක්‍රියා කර ඇති බව ද දැකගන්නට ඇත.

1. කම්කරුවෙකුගේ වැටුප යෙන් 10,000 ට සමාන කිරීම.

2. සේවක වැටුප් යෙන් 125,000 - 625,000 ත් අතර සීමා කිරීම.

3. ජීවන වියදම අභිභවා යන පරිදි කෘෂි නිෂ්පාදනයන්හි නියෑලෙන ගොවියෙකුගේ නිපැයුම් සඳහා මිලක්‌ තැබීම.

4. එපරිදිම කාර්මිකයකුගේ නිපැයුමට ද මිල නිගමනය කිරීම.

5. එපිරිදිම සේවා ගාස්‌තු සඳහා ද මිල නියම කිරීම.

6. පාරිභෝගික වැඩි විශ්වාසය තහවරු වන පරිදි සහ දේශීය නිපැයුම් සහ සේවාවන් ප්‍රමිති ගත කළ අතර, සමබර ආහාර වට්‌ටෝරු ගණනාවක්‌ හඳුන්වා දීම.

7. සියලුම දේශීය නිපැයුම්වලට ආදේශ වන ආනයනය සාපේක්‍ෂව සීමා කළ අතර අදාළ වටිනාකම් හිමි වන අපනයනයට පමණක්‌ පිවිසීම.

8. මහ බැංකු අණපනත් වලට යටත්ව, සියලුම මූල්‍ය ආයතන විසින් ගෙවනු ලබන සහ අය කරණු ලබන පොලී ප්‍රතිශතයන් දශම ගණන් දක්‌වා පහත හෙළා අනතුරුව ශුන්‍ය කිරීම.

9. රාජ්‍ය ආදායම ආවරණය කරගනු පිණිස 15% ක පාරිභෝගික පිරිවැටුම් (භාණ්‌ඩ සහ සේවා) බද්දක්‌ අඛණ්‌ඩව, අතපසුවකින් සහ මග හැරවීමකින් තොරව අය කරමින්, ඒක පුද්ගල වාර්ෂික ශුද්ධ ආදායම් යෙන් මිලියන හත අටකට සීමා කිරීම.

10. රාජ්‍ය සේවාවන් යහතින් පවත්වාගෙන යැම සඳහා වියදම් ආවරණය වන ලෙස පාරිභෝගික සේවා ගාස්‌තු නිගමනය කිරීම.

11. අත්‍යාවශ්‍ය ආනයනික භාණ්‌ඩ හෝ අමුද්‍රව්‍ය ලෙස සැලකෙන ඉන්ධන, ගෑස්‌, පොහොර යනාදිය සඳහා සහනාධාර ලබා නොදී රජය සතු විය යුතු සාධාරණ බදු පංගුව අය කිරීම.

12. අපේක්‍ෂිත සංවර්ධන ඉලක්‌ක සපුරා ගන්නා තුරු අධි සුඛෝපභෝගී භාණ්‌ඩ ආනයනය වැලැක්‌වීම සහ සුඛෝපභෝගී නොවන එරට නිෂ්පාදනය නොකෙරෙන අත්‍යාවශ්‍ය භාණ්‌ඩ සඳහා පමණක්‌ බදු ලිහිල් කිරීම.

13. ප්‍රමුඛතාවය ලබා දිය යුතු ග්‍රාමීය මට්‌ටමේ සංවර්ධන ඉලක්‌ක සපුරා ගන්නා තුරු, දස අතේ ණය වෙමින් නගරාසන්න වන මහා පරිමාණ ඉදිකිරීම් සහ දීර්ඝ කලකින් ඵල ලබන්නට අපේක්‍ෂිත, අවිනිශ්චිත, අතිරික්‌ත, දැවැන්ත මෙන්ම සංකීර්ණ ව්‍යාපෘති තාවකාලිකව නතර කර ඒ වෙනුවට කඩිනම්ව යහඵල ලබන්නට හැකි වන මධ්‍ය පරිමාණ සරල ව්‍යාපෘති ආදේශ කිරීම.

14. අප මෙන් සහල් සලාකය, ජනසවිය, සමෘද්ධිය, පිං පඩි වැනි සහනාධාර නොදී. දෙපයින් නැගී සිටින මිනිසෙක්‌ නිර්මාණය කළේය. 100% ක්‌ම සුබසාධනය සැපයීය.

15. අදාළ අලුත් නීති රීති සම්පාදනය කර, නීති රීති කඩ නොවන වටපිටාවක්‌ නිර්මාණය කරමින් දැඩි නීති රීති මතම ජනතාව පීඩනයට ලක්‌ නොකළේය.

බුද්ධිමත් ජපානයෝ විසින් මෙම තීන්දු තීරණ ගෙන ඇත්තේ 50 දශකයේදීමය. එනම් මෙහි මුළින්ම සඳහන් කළ පරිදි සියලු ශක්‌තීන් අතින් අපත් සමඟ කරට කර සිටි අවධියේමය. අපිත් එදා එවන් තීන්දු තීරණ ගත්තේනම් ආසියාවේ ආශ්චර්ය බවට පත් වන්නට තිබුණේ පනහ දශකයේ මුල් භාගයේදීමය. අපි දැන්වත් ඒ ගැන සිතන්නට අවශ්‍යය.

බී. එම්. එස්‌. බාලසූරිය
http://www.divaina.com/2013/10/23/feature01.html

0 comments: