Pages

Tuesday, November 5, 2013

"සිංහයන්" උතුරට එන විට ත්‍රස්‌තයන් භීතියෙන් වෙව්ලුවා - යුද හමුදාපති දයා රත්නායක

සිංහ රෙජිමේන්තුව උතුරට පැමිණෙන විට ත්‍රස්‌තවාදීන් භීතියට පත්වී වෙව්ලන තත්ත්වයක්‌ යුද සමයේ පැවැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක පැවැසීය.

එවන් ප්‍රෞඪත්වයක්‌ අභිමානයක්‌ හිමි සිංහ රෙජිමේන්තුව ප්‍රබලතම පාබල සටන් රෙජිමේන්තුවක්‌ ලෙස ඉටුකළ සේවය අති විශිෂ්ට යෑයිද හෙතෙම පැවැසීය.


ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවි පිදු නිලධාරීන් 143 දෙනකු සහ සෙබළුන් 3719 දෙනකු ඇතුළු රණවිරුන් 3852 දෙනකු සැමරීමේ වාර්ෂික ගුණානුස්‌මරණ ආගමික හා පුෂ්පෝපහාර පිංකම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් යුද හමුදාපතිවරයා එසේ පැවැසීය.


අඹේපුස්‌ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්‌ථානයේ රණවිරු ස්‌මාරකය අසල ඉකුත් 02 වැනිදා මෙම උත්සවය පැවැති අතර එහිදී යුද හමුදාපතිවරයා ඇතුළු රණවිරු ඥතීන් විසින් රණවිරු ස්‌මාරක අභියස පුෂ්පෝපහාර දක්‌වා දිවි පිදූ රණවිරුවන් වෙත ආචාරය පුද කරන ලදී.


එහිදී තවදුරටත් කතා කළ යුද හමුදාපතිවරයා මෙසේද පැවැසීය.


දෙදහස්‌ පන්සිය වසරක ඉතිහාසයේදී කිසිම අවස්‌ථාවක අපි මවුබිම යටත් කර ගන්න දෙස්‌ විදෙස්‌ කිසිම බලවේගයකට ඉඩ දුන්නේ නෑ. ඉදිරියට දෙන්නෙත් නෑ.


දශක තුනක එල්. ටී. ටී. ඊ. යුද්ධයේදී සිංහ රෙජිමේන්තුව විශාල කාර්යභාරයක්‌ ඉටුකරමින් ඉදිරියෙන්ම සිටි පාබල සටන් රෙජිමේන්තුවක්‌. එහිදී දිවි පිදූ සිංහල රණවිරුවන් අප කවදාවත් අමතක කරන්නේ නෑ. ඔවුන්ගේ බිරින්දැවරුන්, දූ දරුවන්, දෙමවුපියන්, ඥතීන් අමතක කරන්නෙත් නෑ. යුද්ධය අවසන් වී වසර 05 ක්‌ ගත වුණත් අපි ඔබ සැම අමතක නොකරන බව වසරක්‌ පාසා සිදු කරන මෙවන් රණවිරු ගුණ සැමරුම් උපහාර තුළින් තහවුරු වෙනවා. මෙය ඉතා සංවේදී අවස්‌ථාවක්‌. අපි රණවිරුවන්ගේ කැපවීම නිතර සිහිපත් කළ යුතුයි.


මෙවන් උත්සවයක්‌ පැවැත්වීම ගැන මම සිංහ රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලධාරීන්ට මගේ කෘතවේදීත්වය ප්‍රකාශ කර සිටිනවා. 57 වසරක ඉතිහාසයක්‌ තිබෙන සිංහ රෙජිමේන්තුව විනය, සංවිධානාත්මක බව, කැපවීම මෙන්ම සෙසු සේවාවලින්ද සන්නද්ධව සිටීම සතුටට කරුණක්‌."


මෙහිදී කතා කළ වන්නි ආරක්‍ෂක සේනා ආඥපති සහ සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිස්‌ පෙරේරා.


මවුබිම වෙනුවෙන් දිවිපිදූ සිංහ රණවිරුවන් සදා අමරණීයයි. සදා වන්දනීයයි. අපි නිරතුරුවම ඔවුන් සිහිපත් කරනවා. ඒ වගේම ඔවුන්ගේ ඥතීන් අමතක කරන්නෙත් නෑ. 2014 වසරේදී සිංහ රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළම රෙජිමේන්තුවක්‌ බවට පත්කිරීමට මම කටයුතු කරනවා.


යුද්ධයෙන් පූර්ණකාලීන ආබාධිත බවට පත්වූ සිංහ රණවිරුවන් වෙත තෑගි පිරිනැමීමද යුද හමුදාපතිවරයා අතින් මෙහිදී සිදුවිය.


එදින (02 දා) සර්ව රාත්‍රික පිරිත් සඡ්ජායනාවක්‌ සහ පසු දින සංඝගත දානමය පිංකමක්‌ පවත්වා දිවි පිදූ රණවිරුවන්ට පිං පැමිණවීමද සිදුකරන ලදී.


යුද හමුදා මාණ්‌ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වා, සිංහ රෙජිමේන්තු මධ්‍යස්‌ථාන සේනා විධායක බ්‍රිගේඩියර් ලලිත් රත්නායක, බ්‍රිගේඩියර් හරේන් පෙරේරා, බ්‍රිගේඩියර් පියල් වික්‍රමරත්න, බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග, බ්‍රිගේඩියර් පාලිත ප්‍රනාන්දු ඇතුළු සිංහ රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන ඩී. ඩබ්. හපුආරච්චි, ජාලිය නම්මුනි ඇතුළු විශ්‍රාමික නිලධාරීන් රැසක්‌ද මෙම අවස්‌ථාවට සහභාගි වූහ.


සිරිමෙවන් කස්‌තුරිආරච්චි

http://www.divaina.com/2013/11/05/news26.html

0 comments: