Pages

Tuesday, November 12, 2013

කරුණානිධිගේ මාළු දේශපාලනය සහ ඉන්දියාව තේරුම් ගැනීම

ඉන්දියානු අගමැති මන්මෝහන් සිං පිළිබඳ සැබෑම තත්ත්වය නම් ඔහු පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට සහභාගි වීමට අවංකවම කැමැත්තෙන් සිsටි බවයි. විද්‍යාර්ථියකු සහ ලේඛකයකු වූද කීර්තිමත් අර්ථ ශාස්‌ත්‍රඥයකු වූද ඔක්‌ස්‌ෆර්ඩ් ආදි ශිෂ්‍යයකු වූද, මේ නිරහංකාර සීක ජාතිකයා අවසන් මොහොතේදී වෙනස්‌ වූයේ තමිල්නාඩු වාසී දෙමළ අන්තවාදීන්ගේ දේශපාලන තර්ජනය නිසා බව අපි විශ්වාස කරමු. අගමැති සිං, ශ්‍රී ලංකාවට නොපැමිණීමේ තීරණය ගැනීමට පෙර ඉන්දියාවේ මුදල් ඇමැති පී. සිදම්බරම් තමිල්නාඩුවට ගොස්‌ මාළු මුදලාලිගේ මුදලින් දේශපාලනය කරන මුතුවේල් කරුණානිධි සමග පැයක සාකච්ඡාවක්‌ කළේය. අගමැති සිං ලංකාවට ගියොත් ඊළඟ මහ මැතිවරණයේදී සෝනියා ගාන්ධි මහත්මියගේ කොංග්‍රස්‌ පක්‍ෂයට කිසිදු සහයක්‌ නොදෙන බවය. මේ පණිවුඩය රැගෙන නවදිල්ලියට එන පී. සිදම්බරම් රජිව් ගාන්ධිගේ දේශපාලන ගෝලයකු වන අතර මතු යම් දවසක කොංග්‍රස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ යටතේ ඉන්දියානු අගමැති වීමට තරම් පළපුරුද්දක්‌ තිබෙන දෙමළ ජාතිකයෙකි. ඔහුට කොංග්‍රස්‌ පක්‍ෂයේ පැවැත්ම අත්‍යවශ්‍යය. ඔහුගේ උපදෙස වන්නේ ඊළඟ ඡන්දයෙන් පසු ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට තමිල්නාඩුව හොඳින් තබාගත යුතු බවය. කෙසේ වුවද ඉන්දියාවේ ආරක්‍ෂක ලේකම් ශිව ෂංකර් මෙනන් කියා සිටියේ අගමැති සිං පොදු රාජ්‍ය මණ්‌ඩල රැස්‌වීම සඳහා ලංකාවට යා යුතු බවය. අන්තිම තීන්දුවට අනුව, ඉන්දියන් විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් නියෝජිත පිරිසක්‌ද සමග ලංකාවට පැමිණ සමුළුවට සහභාගි වනවා ඇත. බලන්න, ඉන්දියාවේ ජනවාර්ගික විවිධත්වයේ ස්‌වභාවය. ඒ රටේ ජනාධිපති විජය රඡ්ජුරුවන්ගේ වාසභූමිය වූ බෙංගාලයට අයත් "බෙංගාලි" ජාතික ප්‍රනාබ් මුඛර්ජිය. වාසභූමියට සහ වංශයට අනුව ඔහු අපේ මීමුත්තා වූ සිංහබාහුගේ ඥතියෙකි. ඉන්දියාවේ උප ජනාධිපති මොහොමඩ් හමීඩ් අන්සාරි ඉස්‌ලාම් දහම අදහන මුස්‌ලිම්වරයෙකි. ආණ්‌ඩු පක්‍ෂයේ නායක සෝනියා ගාන්ධි ඉතාලි ජන්මයක්‌ ඇති හින්දු බැතිමතියකි. මීළඟ අගමැති වීමට බලා සිටින නරේන්ද්‍ර මෝඩි ඉතා ශක්‌තිමත් හින්දු අන්තවාදියෙකි. මුදල් ඇමැති සිදම්බරම් දෙමළය. විදේශ ඇමැති කුර්ෂීඩ් මුස්‌ලිම්ය. එහෙත් වඩාත්ම වැදගත් කාරණය වන්නේ අවසාන ඵලයේදී මේ සියලු දෙනාම ඉන්දියානුවන් වීමය. ඔවුන් පාකිස්‌තානය සමග යුද්ධයට යන්නේ ජනවාර්ගික මට්‌ටමින් නොව "ඉන්දියානු" පොදු චින්තනය ඇතිවය.

ඉන්දියානු අගමැති මෙහි නොපැමිණීම ප්‍රශ්නයක්‌ද? එය අපට කිසිදු ආකාරයක ප්‍රශ්නයක්‌ වන්නේ නැත. ඔහු මෙහි ආවේ නම් කොංග්‍රස්‌ පක්‍ෂය මුහුණ දෙන ප්‍රශ්නය එයට වඩා දරුණුය. මේ අතර ජනතා විමුක්‌ති පෙරමුණ සහ එක්‌සත් ජාතික පක්‍ෂයද සමුළුව වර්ජනය කරන බව දැනුම් දී තිබේ. එය නම් විශාල ප්‍රශ්නයකි. මේ නිසා සමහර විට පොදු රාජ්‍ය මණ්‌ඩලය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වී විසුරුවා හැරීමට පවා සිදු වනවා ඇත· පසුගිය වසර 20 තුළ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළු වාර 10 කින් 05 කට ඉන්දියන් අගමැති කෙනෙකු ගොස්‌ නැත. එක්‌ අවස්‌ථාවකදී පමණක්‌ ඉන්දියන් උප ජනාධිපති එයට සහභාගි විය. මෙය සභාග ආණ්‌ඩු පවතින හැම රටකම තිබෙන ප්‍රශ්නයකි. එකෙක්‌ ගමනක්‌ යන විට අනෙකා තරහා නම් ඒ ගමන යන්නට සිදුවන්නේ නැත. 1970-77 කාලය තුළ ලංකාව පාලනය කළ සමගි පෙරමුණු රජය එවැනි අවාසනාවන්ත සභාගයකි. කොමියුනිස්‌ට්‌, සමසමාජ, ශ්‍රී.ල.නි.ප, එජාප ඇතුළු පක්‍ෂ බර ගණනක්‌ එහි තිබිණ. චන්ද්‍රිකාගේ පොදුජන එක්‌සත් පෙරමුණටද සුළු පක්‍ෂවලින් ගැලවීමක්‌ තිබුණේ නැත. ඒ ආණ්‌ඩුව පාලනය කළේ ජනතා විමුක්‌ති පෙරමුණය. එහෙත් 1977 දී බලයට පත් ඡේ. ආර්. ජයවර්ධන තුනෙන් දෙකක හෝ හතරෙන් තුනක නොව හයෙන් පහක බලයක්‌ ඇතිව නොසෙල්විය හැකි ගල් කණුවක්‌ සේ තිබිණ. රාජපක්‍ෂ ආණ්‌ඩුවද විශාල සභාගයකි. කිසිදු ඡන්ද පදනමක්‌ නැති මේසයක්‌ සහ පුටුවක්‌ පමණක්‌ ඇති කාර්යාලයටද ගෙවල් කුලී ගෙවා නැති පක්‍ෂද එහි ඇත. අප ඉන්දියාව වී නම් අපට ගන්නට සිදු වන්නේද අද මන්මෝහන් සිං ගත් තීන්දුවමය. මේ නිසා ඉන්දියාව සමග විරසක නොවිය යුතු අතර එරට තවදුරටත් අපේ වැඩිමහලු සහෝදරයාය. 

http://www.divaina.com/2013/11/11/editor.html

0 comments: