Pages

Sunday, November 10, 2013

පපුවේ වම්පස වේදනාව මතුවන්නේ හෘදයාබාධයකටද?

පපුවේ වම් පස කොටසේ වේදනාවක්‌ ඇති වන විට අපට නිතැතින්ම සිහියට නැගෙන්නේ හෘදයාබාධයක්‌ දැයි කියාය. එසේ සිතෙන්නේ හෘදය වස්‌තුව පිහිටා ඇත්තේ පපුවේ වම් පස කොටසේ බැවිනි.

හෘදය වස්‌තුව අප සිරුරේ ඇති වැදගත්ම ඉන්ද්‍රියයකි. මව් කුසයේදී සති 12 ක්‌ පිරුණු කල ඇතිවන හදවතේ පළමු ගැස්‌ම අවසන් වනුයේ මරණයට පත් වීමෙනි.

වයස අවුරුදු 75 ක්‌ ආයු වැළඳීමේ වාසනාව ලද මිනිසකුගේ හදවත එම කාල පරිච්ඡේදය තුළ දශලක්‍ෂ 25 වාරයක්‌ ස්‌පන්දනය වනු ඇත.

හදවතට තමුන් ලෙඩ යෑයි කියා නවතින්නට වරම් නැත. පෝෂණය මදියෑයි කියා වැඩ වරන්නට අයිතියක්‌ නැත. වැඩ වැඩි යෑයි කියා නිකම් සිටින්නට හැකියාවක්‌ නැත. හෘදය විසින් ශරීරය පුරා දිනකට රුධිරය ගැලුම් 5000 ක්‌ ධාවනය කරවයි.

රුධිරයෙන් පිරී පැවතියත් හදවතට තම ක්‍රියා කාරිත්වය සඳහා අවශ්‍ය රුධිරය සපයා ගැනීමට සිදුව ඇත්තේ මිලි මීටරයකටත් වඩා අඩු විශ්කම්භයකින් යුත් කිරීටක ධමනි දෙකකිනි.

මෙම කිරීටක ධමනි දෙක මගින් හෘදය වෙත ලැබෙන රුධිරය අඩාල වුවහොත් හෘදයාබාධයක්‌ හෙවත් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ වීමක්‌ සිදුවේ.

කිරීටක ධමනි තුළින් රුධිර ගමනාගමනය අඩාල වන්නේ එම ධමනි ඇතුළත විෂ්කම්භය පටුවීමෙනි. බොහෝවිට එය සිදු වන්නේ එම ධමනි ඇතුළත මේදය තැන්පත් වීමෙනි.

මෙම මේදය තැන්පත් වූ ප්‍රදේශයේ රුධිර කැටි ගැසීම ඇතිවීමේ අවස්‌ථාව වැඩිය. මෙලෙස රුධිර කැටියක්‌ ඇතිවූ විට එයට 'ත්‍රොම්බෝසියාව' යෑයි කියනු ලැබේ.

කිරීටක ධමනියක්‌ තුළ රුධිර කැටියක්‌ ඇතිවූ විට හෘදයට රුධිරය සැපයුම අඩාල වේ. ඉන් අනතුරට පත් හෘදයේ කොටස්‌ මියයයි. හෘදයාබාධයක්‌ ලෙස හැඳින්වෙන්නේ මෙම තත්ත්වයයි.

හෘදයාබාධයක ලක්‍ෂණ

හෘදයාබාධයක්‌ මතුවූ විට එහි වේදනාව පපුව මැදින් ආරම්භවේ. එම වේදනාව පපුව තෙරපන්නා බඳුය. ඉන් මහා විශාලබරක්‌ පපුවට තැබුවා වැනි වේදනාවක්‌ හටගනී. එම වේදනාව ඉතා දැඩිය. හෘදයා බාධය නිසා හටගන්නා වේදනාව වම් අත පහළට හෝ හක්‌ක දෙසට හෝ විහිදී යා හැකිය. පිට ප්‍රදේශයේ උරපතු ඇට දෙක අතරට ද පැතිරයා හැකිය. බඩේ දැවිල්ලක්‌ මතුවිය හැකිය. මෙම වේදනාව මිනිත්තු කිහිපයක්‌ පවතී.

මෙම වේදනාවන් සමඟ අධිකව දහදිය දැමීම, වමනය හා ඔක්‌කාරය, පපුවේ ගැස්‌ම, හිස කරකැවිල්ල සහ හුස්‌ම ගැනීමේ අපහසුතාවය මතුවේ.

හෘදයාබාධ නොවන පපුවේ වේදනා

පපුවේ ඇතිවන සෑම වේදනාවක්‌ම හෘදය නිසා මතුවන වේදනාවක්‌ නොවේ. පපුව මතුපිට සමෙහි, මස්‌ පිඬු තුළ, ඉළ ඇට වලින් ප්ලුරාවෙන් හා පෙනහැල්ලෙන් ඇතිවන වේදනාවන්ද පවතී.

එම වේදනාවන් හුස්‌ම ඉහළ පහළ ගන්නාවිට දැඩිවේ. අල්පෙනෙති තුඩකින් අනින්නාක්‌ බඳු වේදනාවක්‌ මතුවේ. කඩියකු කන්නාක්‌ බඳු වේදනාවක්‌ මතුවේ.

මෙම වේදනාවන් හෘදයාබාධයක්‌ නිසා මතුවන වේදනාව නොවේ. හෘදයාබාධයක්‌ සඳහා පපුවේ වම් පැත්තෙන් වේදනාවක්‌ මතුවන්නේ ඉතා කලාතුරකිනි.

හෘදයා බාධයකදී ඇතිවන වේදනාව ක්‍ෂණයකින් ඇතිවී නැතිවී නොයයි. එය එක දිගට මිනිත්තු කිහිපයක්‌ පවතී.

හෘදයාබාධ ඇතිවිය හැකි අය

අපගේ සිරුරේ වටිනාම ඉන්ද්‍රියන් අතර පළමු තැන හෘදයවස්‌තුව පවතී. එනිසාම අපි එයට හෘදය යෑයි පමණක්‌ නොකියා වස්‌තුව යන විශේෂණ පදයද එක්‌කරන්නෙමු. වස්‌තුව යනු වටිනා දෙයකි. අක්‌මා වස්‌තුව, පෙනහැලි වස්‌තුව, වකුගඩු වස්‌තුව යෑයි එම ඉන්ද්‍රියන්ට නොකියන්නේ හෘදය මේ සියල්ලටම වඩා වටිනා නිසාය. නමුත් ඒ බව දැන දැනම බොහෝදෙනා හෘදය වස්‌තුවට ආරක්‍ෂාව ලබා නොදේ. දුම්පානය කරති. තෙල් සහිත ආහාරපාන අධිකව අනුභව කරති. දියවැඩියාව පාලනය කර ගැනීමට උනන්දු නොවෙති. අධික රුධිර පීඩනය පාලනය සඳහා කටයුතු නොකරති. ව්‍යායාමවල නොයෙදෙති. ඉතා දැඩි ලෙස මානසික පීඩාවන්ට ගොදුරුව සිටිති.

විවේකය, විනෝදාස්‌වාදය සඳහා යොමු නොවෙති. මෙවැනි චර්යාවන් සහිත පුද්ගලයන් අධික තරබාරුවෙන් දියවැඩියා රෝගයෙන්, අධි රුධිර පීඩනයෙන් පෙළීම නිසා හෘදයට රුධිරය ගෙනයන කිරීටක ධමනි වල අභ්‍යන්තර විශ්කම්භය ඉතා ඉක්‌මනින් පටුවීමට ලක්‌වේ.

මීට අමතරව උපත් පාලන පෙති භාවිත කරන කාන්තාවන්, අධික කෝපි පානය කරන පුද්ගලයන් උපත් බර අඩු අයටද හෘදයාබාධවලට ලක්‌වීමේ ඉඩකඩ වැඩිය.

කෙසේ වෙතත් හෘදයාබාධයක්‌ ඇතිවන්නේ මෙම එක්‌ කරුණක්‌ මුල්කරගෙන නොවේ. කරුණු කිහිපයක්‌ ඒ සඳහා බලපෑ යුතුය.

දුම් පානය පමණක්‌ හෘදයාබාධයකට බලපාන්නේ නැත. දුම් පානය කරන්නා අධි රුධිර පීඩනයෙන් පෙළෙයි නම් දියවැඩියා රෝගයට ගොදුරුව සිටියි නම් අධික තරබාරුවෙන් යුක්‌ත නම්, එම තැනැත්තාට හෘදයාබාධයක්‌ ඇතිවීම සඳහා අවශ්‍ය බහු සාධක පවතී.

දුම් පානය කරන පුද්ගලයකුට හෘදයාබාධයක්‌ ඇතිවීමේ අවදානම තුන් ගුණයකින් පවතී. එනිසා අධි රුධිර පීඩනයෙන්, දියවැඩියාවෙන් පෙළෙන්නෙක්‌ දුම්පානය කරයි නම් එම තැනැත්තාට හෘදයාබාධයක්‌ වැළඳීමේ අවදානම හයගුණයක්‌ (3+3 = 6) නොව නව ගුණයකින් (3x3 = 9) ඉහළගොස්‌ තිබේ.

එසේම මෙම අනතුරුදායක සාධක යම් පුද්ගලයෙක්‌ කෙරෙහි බලපෑම සඳහා එම තැනැත්තාගේ ජානමය ලක්‍ෂණද වැදගත්ය.

උපදෙස්‌ - හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක

උපාලි ද සේරම්
http://www.divaina.com/2013/11/10/feature02.html

3 comments:

Eranda Hemal Weerasinghe Pathirana said...

බොහොම ස්තුතියි වැදගත් ලිපියක් පලකලාට.........

දෙනෙත් හරින්න ! said...

ස්තුතියි!

Jake said...

Watinawa post eka