Pages

Monday, December 16, 2013

හතලිස්‌ වසරක සේවයෙන් විශ්‍රාම යන ප්‍රතිපත්තිගරුක පොලිස්‌ නිලධාරියා - ගාමිණී සිල්වා

පොලිස්‌ නිලධාරීන්ගේ ආදරයට ගෞරවයට පාත්‍රවෙමින් රාජකාරි කිරීම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන්නේය. පොලිස්‌ පොඩ්ඩන්ගේ මෙන්ම ඉහළ නිලධාරීන්ගේද ගෞරවයට පාත්‍රවෙමින් රාජකාරි කළ උසස්‌ පොලිස්‌ නිලධාරීන් පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ ඉතාම විරලය.

පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම බහුතරයක්‌ ජනතාවගේ ආදර ගෞරවයට පාත්‍රවෙමින් 39 වසරක්‌ පොලිස්‌ දෙපාර්තමේන්තුවේ අඛණ්‌ඩව සේවා කාලයක්‌ සම්පූර්ණ කළ ගාමිණී සිල්වා මහතා ඉකුත් 03 වැනිදා පොලිස්‌ සේවයට සමුදුන්නේය. ගාමිණී සිල්වා නැමැති හසල දැනුමක්‌ ඇති සෘජුව රාජකාරි කළ නිලධාරියා විශ්‍රාම යැම පොලිස්‌ දෙපාර්තමේන්තුවට දැරිය නොහැකි පාඩුවක්‌ විය.

බොහෝ උසස්‌ නිලධාරීන් පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ ජනප්‍රිය චරිත නොවන්නේය. පොලිස්‌ පොඩ්ඩන් මුහුණපාන මානුෂික ගැටලු හමුවේ සංවේදී නොවීම, පහල නිලධාරීන් තලාපෙලාගෙන ඔවුන් අපහසුතාවට පත් කරගෙන සිටීම උසස්‌ පොලිස්‌ නිලධාරීන් දෙපාර්තමේන්තුව තුළ ජනප්‍රිය නොවීමට හේතු වන්නේය.

එවන් නිලධාරීන් විශ්‍රාම යන දිනය එළඹෙන්නේ කවදාදැයි සිතමින් බහුතරයක්‌ නිලධාරීහු ඇඟිලි ගනිමින් සිටිති. එහෙත් ගාමිණී සිල්වා මහතා විශ්‍රාමයැමට සූදානම් වෙද්දී සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස්‌වූ දෙයකි.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ පහලම නිලධාරියාගේ සිට උසස්‌ නිලධාරියා දක්‌වා බහුතරයක්‌ දෙනා විමසිලිමත් වූයේ ගාමිණී සිල්වා මහතාට සේවා දිගුවක්‌ ලබා දෙන්නේද ඒ කොපමණ කාලයකට ද යන්න පිළිබඳවයි.

සිය සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු මොහොතක්‌වත් පොලිස්‌ සේවයේ රැදී සිටීමට ගාමිණී සිල්වා මහතා උනන්දු වුණේ නැත. එහෙත් පොලිස්‌ දෙපාර්තමේන්තුවට ඔහුගේ සේවය තව තවත් අවශ්‍යව තිබුණේය.

උතුරේ පැවැති පළාත් සභා මැතිවරණය අවසන් වනතුරු විශ්‍රාම නොයවා ගාමිණී සිල්වා මහතාගේ සේවය තවදුරටත් ලබා ගැනීමට පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා කටයුතු කළේ ඔහුගෙන් ලැබෙන සේවයේ වටිනාකම හො¹කාරවම දැන සිටි නිසාය.

1953 සැප්තැම්බර් මස 03 වැනිදා මහනුවර පූජාපිටිය බොක්‌කාවල ග්‍රාමයේ උපත ලැබූ සරත් ගාමිණී සිල්වා උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු ලෙස පොලිස්‌ දෙපාර්තමේන්තුවට එක්‌වන්නේය. ඒ 1974 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වැනිදාය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරමින් විවිධ ප්‍රදේශවල සේවය කළ ගාමිණී සිල්වා මහතා වඩාත් ජනප්‍රිය වන්නේ ගම්පහ ප්‍රදේශයේ රාජකාරි සඳහා එක්‌වීමෙන් පසුවය.

අපරාධ විමර්ශනය කිරීමේදී මෙන්ම සැකකරුවන් හඳුනා ගැනීමේදී ඉතාම තීක්‍ෂණ බුද්ධියකින් කටයුතු කළ හෙතෙම පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළ නොමැකෙන නාමයක්‌ සටහන් කළේය.

ගම්පහ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා ලෙස රාජකාරියට එක්‌වීමෙන් පසු ගාමිණී සිල්වා මහතා ක්‍රියාත්මක කළ විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ප්‍රදේශවාසීන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වුණේය. මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළ හරහා ගම්පහ ප්‍රදේශයේ සොරකම්, ගෙවල් බිඳුම්, කොල්ලකෑම් සම්පූර්ණයෙන්ම පාහේ නතර කර ගැනීමට හැකි විය.

පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, අත්තනගල්ල අධිකරණයේ සිදුවූ මිනීමැරුමට සම්බන්ධ සැකකරු ජපානයට ගොස්‌ අත්අඩංගුවට ගැනීම ඇතුළු තවත් පරීක්‍ෂණ රැසක්‌ ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළ ගාමිණී සිල්වා ඒ හරහා විශාල ජනාදරයක්‌ දිනා ගත්තේය. සිය දක්‍ෂතා නිසාම ඉතාම කෙටි කාලයක්‌ තුළ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි තනතුර දක්‌වාම උසස්‌වීම් ලබා ගැනීමට ඔහුට හැකි විය.

1986 වර්ෂයේ මන්නාරම අඩම්පන් ප්‍රදේශයේදී කොටි ත්‍රස්‌තවාදීන් සමඟ මුහුණට මුහුණලා කෙරුණු මාරාන්තික සටනින් ජය ගැනීමට ගාමිණී සිල්වා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමට හැකි විය. මන්නාරම මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයා ලෙස ඔහු කළ සේවය එවකට පොලිස්‌පතිවරයාගේ මෙන්ම ඉහළ නිලධාරීන්ගේ පැසසුමට ලක්‌ කෙරිණි.

1995 වර්ෂයේ වව්නියාව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ලෙස හෙතෙම කටයුතු කරද්දී එවකට ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැතිවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.

ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැතිවරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්‌පතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය කොටි පාලන බල ප්‍රදේශයකදී කාර්මික දොෂයකට ලක්‌ව ගොඩබෑමට සිදු විය.

රත්වත්තේ මහතාගේ මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ජීවිත අනතුරට ලක්‌ව තිබූ අතර ඔවුන් බේරා ගැනීමට කොටි පාලන ප්‍රදේශය වෙත යැමට සමහර උසස්‌ නිලධාරීහු අදිමදි කළහ. ඒ අවස්‌ථාවේ සිය ජීවිතය ගැන පවා සැලකිල්ලට නොගත් ගාමිණී සිල්වා මහතා පොලිස්‌ කණ්‌ඩායමක්‌ සමඟ කොටි පාලන ප්‍රදේශය වෙත ගොස්‌ රත්වත්තේ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් බේරාගෙන නිරුපද්‍රිතව රජයේ පාලන ප්‍රදේශයට පැමිණියේය.

මෙවැනි විරෝදාර ක්‍රියාවන්වලින් තව තවත් ජනප්‍රියත්වයට පත්වූ ගාමිණී සිල්වා මහතා පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙත විශාල ගෞරවයක්‌ අත්කර දුන්නේය. හලාවත කොට්‌ඨාසය භාරව කටයුතු කරද්දී 1998 වර්ශයේ තලවිල ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ මහාපරිමාණ හෙරොයින් ජාවාරම මර්දනය කිරීමටද ගාමිණී සිල්වා මහතාට හැකි විය.

2002 වර්ෂයේ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ලෙසත් 2010 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති තනතුරක්‌ දක්‌වාත් උසස්‌වීම් ලැබූ ගාමිණී සිල්වා මහතා පොලිස්‌ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අංශ කීපයකම රාජකාරි කළේය.

අක්‍රමිකතාවන්ගෙන් පිරුණු එවකට පොලිස්‌ පිරිස්‌පාලන අංශය ඉතාම ක්‍රමවත් අංශයක්‌ දක්‌වා ගෙන ඒමට පුරෝගාමීව කටයුතු කළේ ගාමිණී සිල්වා මහතාය.

තමන් රාජකාරි කරන ස්‌ථානය ඉතාම ක්‍රමවත්ව තබා ගැනීම ගාමිණී සිල්වා මහතාගේ පුරුද්දක්‌ විය. එම ස්‌ථානයෙන් කෙරෙන රාජකාරි පවා ඉතාම ක්‍රමවත්ව පිළිවෙළකට කිරීමට ඔහු හැම විටම උත්සාහ කළේය.

පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කැප කළ සේවා කාලයෙන් වැඩි කොටසක්‌ උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ අතිදුෂ්කර ප්‍රදේශවල රාජකාරි කිරීමට ගාමිණී සිල්වා මහතා කටයුතු කළේය. මොනතරම් දුෂ්කර ජීවිතයක්‌ ගත කළද කොයිම අවස්‌ථාවකදීවත් එම ක්‍රියාන්විත ප්‍රදේශවලින් වෙනත් ප්‍රදේශ වෙත මාරු වීමට ඔහු උත්සාහ කළේ නැත. තමන්ට ලබාදුන් ප්‍රදේශයේ පැවරූ රාජකාරිය කිසිවකුටත් කරදරයක්‌ නොකර කරගෙන යැමට ගාමිණී සිල්වා මහතා හැම විටම උත්සාහ කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ලෙස විශ්‍රාම යන තුරුම මේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩි කාල සීමාවක්‌ රාජකාරි කළේ උතුරු ප්‍රදේශයේය. තමන්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන පොලිස්‌ නිලධාරියකු වේවා සාමාන්‍ය පුද්ගලයකු වේවා ඔහුට හැකි උපරිම සාධාරණයක්‌ කරදීමට මේ නිහතමානී පොලිස්‌ නිලධාරියා පියවර ගත්තේය.

දූෂිත දේශපාලනඥයන්, ප්‍රභූන් ලෙස වැජඹෙමින් විවිධ අපරාධවල නිරතවන පුද්ගලයන් ඉදිරියේ නොනැමුණු මේ නිලධාරියා හැම විටම සෘජු ප්‍රතිපත්ති අනුගමනය කළේය. අපරාධකාරයන්ට කොයිම අවස්‌ථාවකදීවත් ඔහුගෙන් සහනයක්‌ ලැබුණේ නැත. විනය විරෝධී ක්‍රියාවන්ට හසුවන ඇතැම් නිලධාරීන්aට හැකි උපරිම දඩුවම් ලබා දුන්නද ඔවුන්ගේ රැකියාව අහිමිවන තැනට වැඩ කළේ නැත.

හැකි හැම අවස්‌ථාවකදීම මොනයම් හෝ දඬුවමක්‌ ලබාදී ඒ නිලධාරියා සුමගට ගැනීමට ගාමිණී සිල්වා මහතා කටයුතු කළේය. ඔහුගේ උතුම් ගතිගුණ නිසා සුමගට ආ නිලධාරීන් විශාල පිරිසක්‌ මේ වන විටත් නීතිගරුක නිලධාරීන් ලෙස පොලිස්‌ සේවයේ රාජකාරි කරමින් සිටියි.

ගාමිණී සිල්වා නම් වූ නීතිගරුක නිලධාරියා හැම විටම මාධ්‍ය සමඟ ඉතාම සුහදව කටයුතු කළේය. මාධ්‍ය සංචාර සඳහා උතුරු ප්‍රදේශයට යන මාධ්‍යවේදීන් වැඩි දෙනෙක්‌ ගාමිණී සිල්වා මහතා හමුවීමට අමතක නොකළේ ඔහු මාධ්‍යවේදීන් සමඟ කටයුතු කළ මිත්‍රශීලී බව නිසාය.

ඔහු පොලිස්‌aපතිවරයකු නොවුණද පොලිස්‌පතිවරයකු වීමට අවශ්‍ය කරන සියලුම සුදුසුකම් සම්පූර්ණ කරගෙන සිටියේය. පරිපාලනයේ දක්‍ෂතාව, නීතිගරුක බව, සෘජු පාලනය, අපරාධ මර්දනයේ ලා ඇති හසල අත්දැකීම, දෙපාර්තමේන්තුවේ සිටින සියලුම නිලධාරීන් සමග සුහදව කටයුතු කිරීමට ඇති හැකියාව ගාමිණී සිල්වා නම්වූ චරිතය පොලිස්‌පති ධුරයට තිබූ සුදුසුකම් ලෙස පෙන්නුම් කළේය.

අසාධාරණය ඉදිරියේ නොනැමෙන චරිතයක්‌ වූ නිසා ඔහුට ලැබෙන්නට තිබූ නිලතල වරප්‍රසාද නොලැබී ගියේය.

පොලිස්‌ දෙපාර්තමේන්තුවටම මහත් වූ ගෞරවයක්‌ ගෙනදුන් මේ සුවිශේෂී නිලධාරියා පිළිබඳව සඳහන් කළයුතු දැ බොහෝය. 

ගාමිණී සිල්වා නම්වූ ඒ චරිතය මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවටම ආදර්ශයක්‌ විය. මේ වනවිට විශ්‍රාම සුවයෙන් පසුවන ඔහුට "දිවයින" පුවත්පතෙන්ද සුභා ශිංසනය හිමිවන්නේ ඔහු හතළිස්‌ වසරක කාලයක්‌ තිස්‌සේ පොලිස්‌ දෙපාර්තමේන්තුවටත් රටටත් කළ සේවය නිසාමය.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/12/15/feature17.html

0 comments: