Pages

Monday, December 16, 2013

නරේන්ද්‍ර මෝඩි හා ශ්‍රී ලංකාව

පසුගියදා රාජස්‌ථාන්, මධ්‍ය ප්‍රදේශ් හා දිල්ලිය ඇතුළු ඉන්දීය ප්‍රාන්ත 4 ක පවත්වනු ලැබූ ප්‍රාන්ත සභා ඡන්දවලින් පසු 2014 ඉන්දීය මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්‍ෂය ඉන්දියාවේ පාලක පක්‍ෂය බවට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව පෙනේ. කොංග්‍රස්‌ පක්‍ෂය එම ප්‍රාන්ත හතරේම ඉතා දරුණු දේශපාලන පසුබෑමකට ලක්‌වී ඇත. භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා වන්නේ දැනට ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමැති වන නරේන්ද්‍ර මෝඩිය. භාරතීය ජනතා පක්‍ෂයේ මේ ජයග්‍රහණවලට හේතුව වන්නේ ද බොහෝ දුරට ඔහුගේ නායකත්වයයි. නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති වුවහොත් ලංකාවට ඉන් ඇති වන ආනිශංස මොනවාදැයි සලකා බැලීම වටී. ලංකාවට මේ අවස්‌ථාවේදී ද්වීපාර්ශ්වික මට්‌ටමින් (එනම් මේ රටවල් දෙක පමණක්‌ ගත් කල) බරපතළ ප්‍රශ්න කිසිවක්‌ නැත. තිබෙන එකම ප්‍රශ්නය වන්නේ සදා කල් පවතින පෝක්‌ සමුද්‍ර සන්දියේ මාළු කොල්ලය පමණි.

මෑත කාලයේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර බරපතළ ප්‍රශ්න පැන නැගී ඇත්තේ බහු පාර්ශ්වීය ජාත්‍යන්තර සංවිධාන තුළය. තමිල්නාඩුවේ බලපෑම යටතේ ඉන්දීය ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව දෙවරක්‌ ඡන්දය ප්‍රකාශ කොට ඇත. එමෙන්ම තමිල්නාඩුවේ බලපෑම යටතේ ඉන්දීය අගමැතිවරයා කොළඹ පැවැති චෝගම් සමුළුවට ද පැමිණීමෙන් වැළකී සිටියේය. මේ තත්ත්වය නම් නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය ආණ්‌ඩුවක්‌ යටතේ පැහැදිලි වෙනසකට භාජනය වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව කිව යුතුය. එසේ වන්නේ නරේන්ද්‍ර මෝඩිට තමිල්නාඩුවෙන් එන බලපෑම අඩුවන නිසා නොව ඔහුට පුද්ගලිකවත් භාරතීය ජනතා පක්‍ෂයට පොදුවේත් ඇති වෙනත් ප්‍රශ්නත් නිසාය.

පසුගිය වකවානුවේ සියලුම බටහිර රටවල් හා විශේෂයෙන්ම ඇමරිකා එක්‌සත් ජනපදය ලංකාව දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක සිටියේය. නමුත් මෑත කාලයේ ශ්‍රී ලංකාවට බටහිර රටවල් වලින් එල්ල වූ සියලුම අඩන්තේට්‌ටම්වලට වඩා සිය ගුණයක්‌ බරපතළ අඩන්තේට්‌ටම් නරේන්ද්‍ර මෝඩිට පුද්ගලිකවත්, භාරතීය ජනතා පක්‍ෂයට පොදුවේත් බටහිර රටවල් වෙතින්ම එල්ලවී ඇත. ඉන්දියාවේ කොංග්‍රස්‌ පක්‍ෂ නායකයන් බටහිර රටවල මිත්‍රයන්ය. නමුත් නරේන්ද්‍ර මෝඩි බලයට පැමිණීමටත් පෙර ඇමරිකාව විසින් ඔහු සතුරකු හැටියට නම් කොට ඇත. එම නිසා මානව හිමිකම් කවුන්සිලය වැනි බහුපාර්ශ්වීය සංවිධාන තුළ ඉන්දියාවට බටහිර රටවල් සමග ලංකාවට එරෙහිව සහයෝගයෙන් කටයුතු කිරීම ඔවුන්ට අතිශයින්ම අවදානම් සහගත කාරණයක්‌ වනු ඇත. උදාහරණයක්‌ වශයෙන් ඉන්දියාව මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශන මණ්‌ඩලයක්‌ පත් කිරීමට පක්‍ෂව ඡන්දය දුන්නොත් ඒ ක්‍රියාමාර්ගයම ඉන්දියාවට එරෙහිව ද භාවිතා වීමේ අවදානමක්‌ තිබේ. නරේන්ද්‍ර මෝඩි යනු ලංකාවේ රාජපක්‍ෂලාටත් වැඩිය බටහිර දඩයමට ලක්‌වූ අයෙකි.

ඇමරිකාව විසින් රාජපක්‍ෂ ආණ්‌ඩුවට මොන චෝදනාව කළත් කිසිදාක මේ ආණ්‌ඩුවේ ප්‍රධාන නිලධාරියකුට ඇමරිකාවට ඇතුළුවීමට වීසා බලපත්‍රයක්‌ නොදී සිටියේ නැත. නමුත් 2005 තරම් ඈතකදී සිට නරේන්ද්‍ර මෝඩිට ඇමරිකාවට පය තැබීම තහනම්ය. ඔහුට දී තිබුණු වීසා බලපත්‍රයකුත් ඇමරිකාව අවලංගු කළේය. ඒ ඔහු ඉන්දියාව තුළ මානව අයිතීන් උල්ලංඝණය කරනවාය යන චෝදනාව මතය. එමෙන්ම ඇමරිකාව රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව එ.ජා. සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගත්තත් කිසිදාක ඇමරිකානු ව්‍යවස්‌ථාදායකය වන කොංග්‍රස්‌ මණ්‌ඩලය තුළ රාජපක්‍ෂ ආණ්‌ඩුවට එරෙහිව යෝජනා සම්මත කරගෙන නැත. නමුත් මීට සති හතරකට පමණ පෙර 2013 නොවැම්බර් 18 වැනිදා ඇමරිකාවේ රිපබ්ලිකන් පක්‍ෂය හා ඩිමොක්‍රටික්‌ පක්‍ෂය යන පක්‍ෂ දෙකම නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්‌ කොංග්‍රස්‌ මණ්‌ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය තුළ නරේන්ද්‍ර මෝඩිටත් භාරතීය ජනතා පක්‍ෂයටත් එරෙහි යෝජනාවක්‌ සභාගත කළේය.

ඉන්දියාව යනු දකුණු ආසියාවේ ප්‍රාදේශීය බලවතාය. එය ලෝකයේ ඇති විශාලතම රටවල් කීපයෙන් එකකි. වැඩිම ජනගහනයක්‌ සිටින දෙවන රට ඉන්දියාවයි. එය න්‍යෂ්ටික බලවතෙකි. එවැනි රටක අගමැති අපේක්‍ෂකයා හැටියට ප්‍රධාන දේශපාලන පක්‍ෂයක්‌ විසින් නම්කොට ඇති පුද්ගලයකුට හා ඔහුගේ දේශපාලන පක්‍ෂයට එරෙහිව මේ ආකාරයට යෝජනාවක්‌ සභාගත කිරීමට ඇමරිකානු දේශපාලනඥයන්ට හයියක්‌ ලැබුණේ කොතනින්දැයි බොහෝ අය කල්පනා කරනු ඇත. පසුගිය ජුලි මාසයේදී ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 65 දෙනකු විසින් නරේන්ද්‍ර මෝඩිටත් භාරතීය ජනතා පක්‍ෂයටත් එරෙහිව "කේලාම්" කියමින් ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමාට පෙත්සමක්‌ යවන ලදී. මේ පෙත්සමේ ඔවුන් කළ එක ඉල්ලීමක්‌ වූයේ නරේන්ද්‍ර මෝඩිට ඇති ඇමරිකානු වීසා තහනම දිගටම පවත්වාගෙන යන ලෙසය. ඉන්දීය දේශපාලනඥයන් මොන තරම් පහත් අඩියකට වැටී ඇද්දැයි මින් ඉතා මැනවින් පෙනේ. ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 65 දෙනකු කරන ඉල්ලීමක්‌ ඇමරිකාව විසින් ප්‍රයෝජනයට නොගෙන සිටීවි යෑයි කිසිවකුට බලාපොරොත්තු විය හැකිද? ඉන්දීය නිදහස්‌ සටනේ පුරෝගාමීන් වූ මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, වල්ලබායි පටේල් වැනි අය අද ජීවතුන් අතර සිටියා නම් ඔවුන්ගේ අනුප්‍රාප්තිකයන් මේ ආකාරයට තමන්ගේ අයකුට එරෙහිව ඇමරිකාවට කේලාම් කියනු දුටුවහොත් කුමක්‌ සිදු වන්නට ඉඩ තිබේද?

ඒ කෙසේ වෙතත් පසුගිය නොවැම්බර් 18 වැනිදා ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ අංක 417 දරණ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ජෝ පිට්‌ස්‌ නමැති රිපබ්ලිකන් පාක්‍ෂික මන්ත්‍රීවරයාය. ඔහු සමග රිපබ්ලිකන් පක්‍ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස්‌ දෙනකු ද ඩිමොක්‍රටික්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 9 දෙනකු ද මේ යෝජනාවේ යෝජකයන් හැටියට ඉදිරිපත් වී සිටියේය. මේ අනුව අපට පෙනී යන්නේ ඇමරිකාවේ ප්‍රධාන පක්‍ෂ දෙකම නරේන්ද්‍ර මෝඩි හා භාරතීය ජනතා පක්‍ෂය සම්බන්ධයෙන් එකම මතයක සිටින බවයි. ඒ අනුව ඇමරිකාවේ ආණ්‌ඩු වෙනසක්‌ ඇති වුවත් මොවුන් සම්බන්ධයෙන් තිබෙන මතය වෙනස්‌ වන්නේ නැත.

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයේ නරේන්ද්‍ර මෝඩිට හා ඔහුගේ පක්‍ෂයට එරෙහිව ඉදිරිපත් කරන ලද යෝජනාවේ විශාල චෝදනා වැළක්‌ විය. "ඉන්දියාවේ ආගමික සුළුතරයන්ගේ අයිතීන් රැකීම" යන මැයෙන් මෙම යෝජනාව ඉදිරිපත්කොට තිබිණි. එහි සඳහන් වූ චෝදනා අතර 1992 දෙසැම්බර් 6 වැනිදා අයෝධ්‍යාවේ 16 වන ශත වර්ෂයට අයත් ඓතිහාසික මුස්‌ලිම් දේවස්‌ථානය විනාශ කිරීම, ගුජරාටි ප්‍රාන්තයේ 2002 පෙබරවාරි 27 වැනිදායින් පසු ආරම්භ වූ මුස්‌ලිම් විරෝධී කෝලාහලය, ගුජරාටි ප්‍රාන්තයේ ක්‍රිස්‌තියානි ලබ්දිකයන්ට එල්ල වන අඩන්තේට්‌ටම් හා ක්‍රිස්‌තියානි පල්ලි විනාශ කිරීම වැනි චෝදනා විය. මෙවැනි දේවල්වලට නරේන්ද්‍ර මෝඩි පුද්ගලිකව වගකිවයුතු බවත් කියා තිබිණි. එමෙන්ම 2007 දෙසැම්බර් මාසයේදී ඔදීෂා ප්‍රාන්තයේ ඇතිවූ ක්‍රිස්‌තියානි විරෝධී කෝලාහලයන්, උත්තර ප්‍රදේශයේ 2013 අගෝස්‌තු මාසයේ සිදුවූ මුස්‌ලිම් විරෝධී කෝලාහලයන් සියල්ල නරේන්ද්‍ර මෝඩිගේ පිටින්ම යවා ඇත. එපමණක්‌ ද නොව ගුජරාටය ඇතුළු ඇතැම් ඉන්දීය ප්‍රාන්තවල ඇති සදාචාර විරෝධී ලෙස ආගම් වෙනස්‌ කරවීමේ නීතිවලින් සිදු වන්නේ එක්‌ ආගමක සිට තවත් ආගමකට වෙනස්‌වීම වැළැක්‌වීම යෑයි කියමින් චෝදනා කරන මෙම යෝජනාව එම නීති හකුලාගෙන ඕනෑම ආගමක්‌ නිදහසේ වෙනස්‌ කිරීමට ඇති අයිතිය තහවුරු කළ යුතු බවද කියයි. එමෙන්ම ඉන්දියාවේ නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලය 2005 සිට නරේන්ද්‍ර මෝඩිට එරෙහිව ඇමරිකානු ආණ්‌ඩුව විසින් පනවා තිබෙන වීසා තහනම ද ප්‍රසංශාවට ලක්‌ කළ අතර 2014 මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්‍ෂයට ඡන්දය නොදෙන මෙන් ඉන්දීය ජනතාවගෙන් කළ ඉල්ලීමක්‌ ද විය.

මෙකී යෝජනාව කොංග්‍රස්‌ මණ්‌ඩලයට ඉදිරිපත් වූයේ නරේන්ද්‍ර මෝඩි භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂකයා හැටියට ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. ඒ අවස්‌ථාවේදී ඇමරිකාව සිතන්නට ඇත්තේ ප්‍රධාන පක්‍ෂ දෙක සමතුලිත තත්ත්වයක සිටින බවත් මෙවැනි යෝජනා සම්මත කිරීමෙන් භාරතීය ජනතා පක්‍ෂය පරාජය කළ හැකි බවත් විය හැක. නමුත් පසුගිය සතියේ කොංග්‍රස්‌ පක්‍ෂයේ අන්ත පරාජය හමුවේ දැන් ඇමරිකාව පස්‌ස ගහන තත්ත්වයක්‌ ඇතිවී තිබේ. රිපබ්ලිකන් පක්‍ෂයේ හිටපු රාජ්‍ය ලේකම්වරියක්‌ වන කොන්ඩලීසා රයිස්‌, නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ අගමැති වුවහොත් "යටගියාව අමතක කොට" ඔහු සමග වැඩ කිරීමට සූදානම් බව දැනටම ප්‍රකාශ කොට ඇත. එමෙන්ම නොවැම්බර් 18 වැනිදා කොංග්‍රස්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන ලද ඉහත කී යෝජනාවත් හෙමින් සීරුවේ ඔවුන් අතහැර දමනු ඇත. එසේ වුවත් බටහිර රටවල් හා භාරතීය ජනතා පක්‍ෂය අතර මේ ප්‍රශ්නය දිගටම පවතිනු ඇත.

ඇමරිකාව ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමැති නරේන්ද්‍ර මෝඩිට මේ ආකාරයට සැලකුවත් ඔවුන් තමිල්නාඩුවේ ජයලලිතා ජයරාම්ට සලකන්නේ මිතුරියක්‌ හැටියටය. ඉන්දියාවේ ඇති බෙදීම් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරි කාලයේදී ඉන්දීය දේශපාලනයට ඇමරිකානු ඇඟිලි ගැසීම් බෙහෙවින්ම වැඩි වනු ඇත. මේ හේතූන් නිසා මෝඩිගේ නායකත්වයෙන් යුත් ආණ්‌ඩුවක්‌ මානව හිමිකම් කවුන්සිලය තුළ වෙනත් රටවල් දඩයම් කරන යෝජනාවලට ඡන්දය නොදී සිටීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇත. එයින් ලංකාවට මානව හිමිකම් කවුන්සිලය තුළ එල්ල වන පීඩනය බෙහෙවින්ම අඩුවීමට ඉඩ ඇත. එසේ වුවත් භාරතීය ජනතා පක්‍ෂයට තනිවම ඉන්දීය පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක්‌ ලබාගැනීමට අසීරු වන නිසා ඔවුන් ද කොංග්‍රස්‌ පක්‍ෂය මෙන්ම තමිල්නාඩුවේ දේශපාලන පක්‍ෂ මත රඳා පැවතීමට සිදු වනු ඇත. මෙහි ඇති අවදානම වන්නේ බහු පාර්ශ්වීය ජාත්‍යන්තර සංවිධාන තුළ ලංකාවට එරෙහිව ඡන්දය දීමෙන් තමිල්නාඩු පක්‍ෂ සතුටු කිරීමට නොහැකි තැන ඔවුන්ව සතුටු කිරීමට නරේන්ද්‍ර මෝඩි ගේ ආණ්‌ඩුවක්‌ කුමන ආකාරයේ පියවර ගනු ඇත් ද යන්නයි. තමන්ගේ පක්‍ෂය 2014 මහ මැතිවරණය තනිවම තරග කරන බව ජයලලිතා ජයරාම් දැනටම ප්‍රකාශයට පත්කොට තිබේ. ඒ මැතිවරණයෙන් පසු තමාට ලැබෙන ආසන වැඩිම ඉල්ලුම්කරුට ලබාදීමටය. තමාගේ සහයෝගය වෙනුවෙන් ජයලලිතා ඉල්ලන පිදේනියේ ලංකාවත් තිබෙන බව අපට සිතා ගත හැක. එවිට භාරතීය ජනතා පක්‍ෂය ගන්නා පියවර කුමක්‌ද? තමිල්නාඩුව සතුටු කිරීම සඳහා භාරතීය ජනතා පක්‍ෂයේ ආණ්‌ඩුවත් ලංකාවට එරෙහිව ද්වි පාර්ශ්වික මට්‌ටමින් නොයෙක්‌ අඩන්තේට්‌ටම් කිරීමට ඉඩ ඇති බව අප අවබෝධ කරගත යුතුය. මේ හේතුව නිසා ලංකාවට චීනය සමග ඇති සම්බන්ධය ඉදිරියේදී තවදුරටත් වැදගත් වනු ඇත.

ඩී. එස්‌. සේනානායක මහතාගේ විදේශ ප්‍රතිපත්තිය ගැන මීට දශක ගණනාවකට පෙර ඡේ. ආර්. ජයවර්ධන විසින් ලියන ලද ලිපියකින් පැහැදිලි කරනු ලැබුවේ ඩී. එස්‌. සේනානායක බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු ලංකාවේ පවත්වා ගත්තේ ඉන්දියාවෙන් එන තර්ජන වළක්‌වා ගැනීමට බවයි. නමුත් චීනය ඩී. එස්‌. සේනානායකගේ යුගයේ සිට ලංකාවේ සියලුම ආණ්‌ඩුවලට උදවු කොට ඇත. ඔවුන් ඡේ. ආර්. ජයවර්ධනටත්, මහින්ද රාජපක්‍ෂටත් එක ලෙස උදවු කොට තිබේ. එමෙන්ම චීනයට ද ලංකාව වැදගත්ය. ලංකාවේ මිත්‍රකම නොමැතිව ඉන්දීය සාගරය හරහා වැටී ඇති චීන නැව් මාර්ග තම විරුද්ධවාදීන්ගේ ආධිපත්‍යයට යට වනු ඇත. එම නිසා නරේන්ද්‍ර මෝඩිගේ ආණ්‌ඩුවකින් ආරක්‍ෂාවීම සඳහා චීනය සමග ඇති සම්බන්ධය තවත් තහවුරු විය යුතුය.

ඉන්දියාව පාලනය කිරීමට පැහැදිලි බහුතරයක්‌ නොලැබීම තුළින් නරේන්ද්‍ර මෝඩි ජයලලිතා ජයරාම්ගේ සිරකරුවකු බවට පත්වීම ලංකාවට ප්‍රශ්නයක්‌ වනවා සේම ඉන්දියාවට ද කියා නිම කළ නොහැකි තරම් ෙ€දවාචකයක්‌ වන බවද කිව යුතුය. ඉන්දියාවට දැන් අවශ්‍ය වී ඇත්තේ ඒ රට විනාශ කරන නොයෙක්‌ බෙදුම්වාදී ප්‍රවණතා මෙල්ල කළ හැකි වැලඩ්මීර් පුටින් වැනි ශක්‌තිමත් නායකයෙකි. අද නරේන්ද්‍ර මෝඩි මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ ඔහු මේ වන තෙක්‌ කෙලින් කතා කළ, එඩිතරව තීරණ ගත්, ජනප්‍රියවාදයට යට නොවූ, ඡන්ද ලබාගැනීමට ඕනෑම දෙයකට එකඟ නොවන, සෘජු නායකයෙක්‌ වූ නිසාය. ඉන්දීය මධ්‍යම ආණ්‌ඩුව පසුගිය දශක තුන මුළුල්ලේ ක්‍රමයෙන් දුර්වල වී ප්‍රාන්තවල බලය එන්න එන්නම වැඩිවීමේ ව්‍යාධියට පිළියම් කොට ඉන්දියාව නැවතත් කෙලින් කර තැබිය හැකි එකම නායකයා වූයේ නරේන්ද්‍ර මෝඩිය. නමුත් ඔහුට ද ඉන්දියාවේ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඉන්දියාව විනාශ කිරීමට මාන බලන තමිල්නාඩු බලවේග සමග සන්ධානගත වීම නිසා ඔහුට ද කෙලින් කතා නොකොට ඇදයට ගමන් කිරීමට සිදුවනු ඇත. නරේන්ද්‍ර මෝඩි ගුජරාටයට පුටින් කෙනකු වුවත් ඉන්දියාවට පුටින් කෙනකු වීමට නොහැකි වනු ඇත්තේ මේ නිසාය.

වම් ඉවුර - සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2013/12/16/feature01.html

Pic Source

සබැඳි ලිපි -
[
නරේන්ද්‍ර මෝඩිගේ ශ්‍රී ලංකාවhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_5199.html
]

0 comments: