මම අක්‌කටත් කතා කරල ඒ වෙළෙන්දාව පෙන්නුවා. ඇස් දෙක නොපෙනුනත් ඒ මනුස්‌සයා ජීවත් වෙන්න ගන්න උත්සාහය ගැන අපි දෙන්නටම දුක හිතුනා. එදා තමයි අන්ධ මිනිස්‌සු වෙනුවෙන් අලුත් දෙයක් කරන්න ඕන කියල අපි හිතුවෙ.
අක්‌කා තමයි මේ නිර්මාණය කරන්න මූලික අඩිතාලම දැම්මේ. පරිගණකයක කී බෝඩ් එකේ බේල් ක්‍රමය තිබුණට අනෙක් සාමාන්‍ය මිනිස්‌සු වගේ අන්ධ පුද්ගලයන්ට පරිගණකය හසුරුවන්න මෘදුකාංගයක් තිබුණෙ නෑ.
අපිට ඒක අලුතින් නිර්මාණය කරන්න පුළුවන් වුණා. 2012 වසරේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ තරගයෙන් මේ නිර්මාණය ජයග්‍රහණය කළ නිසා ඒ වසරේදීම ඇමරිකාවේ පැවති INTEL INEF අන්තර්ජාතික තරගයට අපි මේ මෘදුකාංගය නව නිර්මාණයක් ලෙස ඉදිරිපත් කළා. හිතුවා වගේම අපේ නිර්මාණය ඇගයීමට ලක්‌වෙලා ජයග්‍රහණයක් ලැබුවා.
කවිෂ්ක කියන්නේ ඒ සියල්ල මේ ගමන පැමිණීමට විශාල උත්තේජනයක් වූ බවය. මේ පුංචි නිර්මාණකරුවා එතැනින් නොනැවතීමට තීරණය කළේ ඒ නිසාය. පාසල් අධ්‍යාපන වැඩකටයුතු කෙරෙන අතරතුර ඔහු ඒ පැමිණි ගමන් මගේම තවත් ඉදිරි පිම්මක් පැමිණීමට කාලය ඉඩ සොයාගත්තේය. ගැටවර වියේ හිතට එන ක්‍රියාශීලී සිතිවිලි තමාට අවනත කර මුදා හැරියේ ඒ අලුත් නිපැයුම සාර්ථක කරගන්නා තුරු වීර්යය වැඩීමටය. නුවණ මෙහෙය වූයේ එයටය.
අන්ධ අයට හැදුව පරිගණක මෘදුකාංගය සාර්ථක වුණ නිසා මම හිතුවා ඒ පැත්තෙන්ම ඉස්‌සරහට යන්න. මුලින් මම සොයා බැලුවා අන්ධ පුද්ගලයන්ට තිබෙන ප්‍රශ්න හා අපහසුතා මොනවද කියල. එතනදී ලැබුණ තොරතුරු අනුව තමයි අන්ධ පුද්ගලයන්ට වීඩියෝ ක්‍රීඩාවල යෙදීමේ උපකරණයක් නිර්මාණය කරන්න ඕන කියල හිතුවෙ.
මම හිතුවෙ නෑ මේ අවුරුද්දෙ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ නව නිර්මාණ තරගයට පෙර මේ උපකරණය නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියල. නමුත් ඒක කරගන්න පුළුවන් වුණා වගේම මගේ නිර්මාණය තමයි කනිෂ්ඨ අංශයේ නව නිපැයුම් විස්‌සක් අතරින් ප්‍රථම ස්‌ථානය දිනාගත්තෙ.
කවිෂ්ක එසේ කීවේ දැඩි උද්‍යෝගිමත් බවකිනි. ඔහු නිර්මාණය කළ මේ අලුත් උපකරණය ගැන දැන් ඔහුට අලුත් සංකල්පයක්‌ද තිබේ. මේ අලුත් නිමැවුමේ ක්‍රියාකාරීත්වය ගැන පහදමින් කනිෂ්ක ඒ ගැනද පැවසුවේය.
මේක දිවට සංවේදී වන උපකරණයක්. මේකෙන් අන්ධ පුද්ගලයන්ට වීඩියෝ ක්‍රීඩාවල නිරතවෙන්න පුළුවන් වෙන්නෙ උපකරණයේ සවිකර තිබෙන "සෙන්සර්" එක නිසා. අන්ධ පුද්ගලයෙක් මේ උපකරණය සකස් කරගෙන පරිගණකයේ වීඩියෝ ක්‍රීඩාවල නිරත වෙනකොට පරිගණක තිරයෙ මැවෙන රූප උපකරණය මගින් දිව සංවේදී ඉලෙක්‌ට්‍රොඩ හරහා විද්යුත් ආරෝපන මොළයට යවනවා. එම රූප මොළයේ පිටපත් කරගැනීම නිසා ඔහු තීරයේ දිස්‌වන රූප හඳුනා ගන්නවා. මේ නිසා අන්ධ පුද්ගලයන්ට මේ උපකරණයෙන් එක්‌තරා ආකාරයකට පෙනීමක් ලබාදෙනවා කියල කියන්න පුළුවන්.
කවිෂ්ක කියන්නෙ ඇත්තකි. දෙනෙත් අන්ධ මිනිසුන් ලෝකය හඳුනගන්නෙ දෙයක් අතපත ගෑමෙන් හෝ කනට ඇසෙන ශබ්දයෙනි. ශබ්දයට සංවේදීව ලෝකය හඳුනාගැනීමට වුවද ඔවුනට දීර්ඝ කාලීන අද්දැකීම් තිබිය යුතුය. එයින් තොරව අන්ධ මිනිසුන් ලෝකය දකින ක්‍රමයක් අප අසා නැත.
කවිෂ්ක තාම පුංචි කොලුගැටයෙක්‌ය. කඳාන මැසනඩ් පාසලේ ඔහු තාම ඉගෙන ගන්නේ දසවන පංතියේය. පුංචි උනත් ඔහුගෙ සිතුවිල්ල තුළින්, ඉපැදුනු නිර්මාණය ප්‍රජාවකට විපුල ඵල ගෙන දෙන ලොවක් වටින වැඩක්‌ය. ගමක් නොව රටක් දියුණුව කරා යන්නේ මෙවැනි අංකුර නිර්මාණකරුවන් නිසි මඟ යවා ඒ ජාතිය ඔවුන්ගෙන් වැඩ ගැනීමට දක්‌වන සමත්කම මතය.
කොරියාව නවසිය අනූව වන විටත් අන්ත දුප්පත් රටක්‌ය. ඔවුන්ට කන්න නැතිව සිටියදී සහල් සහ බෙහෙත් යෑව්වේ අපේ රටින්ය. අනූව දශකයට පසු කොරියාව ආර්ථික අතින් යෝධ පිම්මක් පැන්නේය.
ඒ දියුණුවේ එක් සාධකයක් නම් ඔවුන්ගෙ වැඩකරන ජනතාවය. අනෙක චීන තාක්‌ෂණය රට තුළට ගෙන ඔවුන්ගේම දේ නිපදවීමට උපන් හපන් පෑ නිර්මාණ නිසි තැන තබා ඔවුන්ව ආරක්‌ෂා කරගත් නිසාය.
තිස්‌ස ගුණතිලක | පසුබිම් තොරතුරු සහ ඡායාරූප කඳාන රුක්‌මන් පිංතු සහ පමුණුගම එස්. කේ. ඡේ. කුරේරා
http://www.divaina.com/2013/12/08/feature06.html






0 comments:
Post a Comment