Pages

Thursday, December 12, 2013

1971 දී කොළඹ නාගරික බල ප්‍රදේශයේ 50%-51% සිංහලයන්. අද 19% ක්‌ දක්‌වා අඩුවෙලා - ඉඳුරාගාරේ ධම්මරතන හිමි

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වැනි ලෝකෙම අල්ල ගත්තු බලවතුන්ට මේ පුංචි රට අල්ල ගන්න අවුරුදු තුන්සීයක්‌ පමණ ගියා. ඒ සිංහල ජාතියත් බුද්ධාගමත් ගහට පොත්ත වගේ බැඳිල තිබුණ නිසයි. අපේ මුල් බැසගෙන තිබූ ඒ සංස්‌කෘතියත් අපේ උරුමයත් අපේ කමත් නැවත ඇති කළ යුතු යෑයි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ''වෙනස්‌ වෙන්න සූදානම් වෙන්න'' යන තේමාව යටතේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙන් පරිශ්‍රයේදී ඊයේ (11 වැනිදා) පැවැති බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව එළි දැක්‌වීමේ මහෝත්සවයේදීය. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

මේ රටේ මුරදේවතාවන් හැටියට අපට වගකීමක්‌ තියෙනවා. රටත් ජාතියත් ආගමත් සංස්‌කෘතියත් රකින්න.

බුදු දහමත් සිංහල ජාතියත් කියන්නෙ දෙකක්‌ නොව එකක්‌. සිංහල සංස්‌කෘතිය බෞද්ධ සංස්‌කෘතිය කියන්නෙ දෙකක්‌ නොව එකක්‌. ගහට පොත්ත වගේ මස්‌වලට ලේ වගේ එකට එකතු වෙච්ච දෙයක්‌.

අපේ සංස්‌කෘතියත් සිංහල කමත් සුද්දො නැති කළා. අපේ කියන්න පුළුවන් හැමදේම නැති කළා. ආර්ථිකය, ඇඳුම් පැළඳුම් සිරිත් විරිත්, ගතිපැවතුම් හැමදේම නැති කළා.

අද අපේ මිනිස්‌සු සාදුකාර දෙන්නවත් නමස්‌කාර කරන්නවත් දන්නෙ නෑ. දහදෙනෙක්‌ තුණුරුවන් වඳින්නෙ දහ විදියකට. ඒ නැතිවුණු උරුමය බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු චාරිකාව එළිදැක්‌වීමට සුදුසුම බිම විද්‍යාලංකාරයයි.


''වෙනස්‌ වෙන්න - සූදානම් වෙන්න'' බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාව අග්ගමහා පණ්‌ඩිත පූජ්‍ය දවුල්දෙන ඥනිස්‌සර නාහිමිපාණන් විසින් ගිහියන් වෙනුවෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාට පිළිගැන්වූ අවස්‌ථාව. ඡායාරූප - ධම්මික සල්වතුර

මේ රටේ ඉන්නා සියලු දෙනාම නිදහස්‌ අධ්‍යාපනය භුක්‌ති විඳපු අය. නිදහස්‌ අධ්‍යාපන පනත සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහත්තයා ඉදිරිපත් කළ අවස්‌ථාවේ ඔහු ළඟින්ම හිටපු අයත් එයට විරුද්ධ වුණා. එදා අධ්‍යාපනය ලැබුවේ ගමේ ලොකු මිනිහගෙ දරුවෝ. ඒ වෙලාවේ කන්නන්ගර මහත්තයට විද්‍යාලංකාරෙ පිහිට ලැබුණා.


මුළු රටේම භික්‍ෂූන් වහන්සේ එකට එකතු වෙලා මේ පින්බිමේදී කන්නන්ගර මහත්තයට නිදහස්‌ අධ්‍යාපන පනත ගෙන එන්නට උදව් කළා.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණෝ

ශාසනයට එල්ලවන අභියෝග කෙළවරක්‌ නෑ. අන්තර් ජාලය හරහා ස්‌වාමීන් වහන්සේලාගේ ප්‍රතිරූපය විනාශ කරනවා. එක්‌ පුද්ගලයකු බෞද්ධ විරෝධී අයුරින් සංස්‌කෘතිය ඝාතනය කරමින් බෞද්ධ පොත් 33 ක්‌ අච්චු ගහල තියෙනවා. මේවා බලාගෙන නිද්‍රශීලීව සිටින්නද කියන්නේ. බුද්ධ ශාසනේම පහළ වෙලා සමහර කඳපණුවන් මේ මහා වෘක්‌ෂය බිම හෙලන්න හදනවා.

ලංකාවේ දරුවො කන්නෙ බොන්නෙ මොනවද කියල තීරණය කරන්නෙ අප නොවෙයි. දේශීය බීජ නිෂ්පාදනය අද අපේ අතේ නෑ. දරුවන්ගෙ වකුගඩු අක්‌මා විනාශ කරන පැණි බීම වර්ග රට පුරාම. මේවා දිහා බලාගෙන ඉන්නද කියන්නෙ.

මහා දාගැබ් වැව් අමුණු හදපු ජාතියක දරුවෙකුට අද මීටර් 100 ක්‌ දුවන්න බැරි තත්ත්වයකට පත්වෙලා. දුවගන්න බැරිව මැරී වැටෙනවා. මේවා බලාගෙන ඉන්නද කියන්නේ.

1971 දී කොළඹ නාගරික බල ප්‍රදේශයේ සියයට පනහක්‌, පනස්‌ එකක්‌ සිංහලයන්. අද ඒක සියයට 19 ක්‌ දක්‌වා අඩුවෙලා. එයින් සියයට දෙකක්‌ ව්‍යාජ නම් ජන සංයුතිය වෙනස්‌ කරලා. 2043 දී ඡන්දයක්‌ තිබ්බොත් සිංහලයන්ට බහුතරයක්‌ හිමිවන්නේ නෑ, හදපු ගුවන් තොටුපළවල් වරායවල් හයිවේ තව අවුරුදු තිහ හතළිහකින් අපේ නොවේවි. ලෝක ඉතිහාසයේ මහා ජාතියක්‌ ද්විතීය වෙලා තියෙනවානම් ඒ එකම රට අපේ රටත් සිංහල ජාතියත් පමණයි. මේවා දිහා බලාගෙන ඉන්නද කියන්නේ.

අපට නිවටයින්ව ඉන්න වේවි කියලා ධර්මපාලතුමා කියලා තියෙනවා අද ඒක වෙලා තියෙනවා. තියෙන විදිය හොඳ නැති හින්දා තියෙන විදියට වඩා වෙනසක්‌ ඕන හින්දා වෙනසක්‌ වෙන්න සූදානම් වෙන්න. ගිලිහී ගිය සංස්‌කෘතික උරුමය අනාගත පරපුරට දීලා මැරෙමු. මෙහිදී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝද අදහස්‌ දැක්‌වූහ.

මාස 6 ක පමණ කාලයක්‌ පුරා විවිධ ජන කණ්‌ඩායම් වල හා පොදු ජනතාවගේ අදහස්‌ යෝජනා කැටි කොට ගනිමින් ''වෙනස්‌ වෙන්න සූදානම් වෙන්න.'' බෞද්ධ සංස්‌කෘති පුනර්ජීවන කමිටු වාර්තාව එළිදැක්‌විය. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දවුල්දෙන ඥනිස්‌සර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මහා නායක හිමිවරුන් රැසක්‌ද, අමාත්‍ය විමල් වීරවංශ, ආචාර්ය ගුණදාස අමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක්‌ද එක්‌ වූහ.

ධම්මික සල්වතුර
http://www.divaina.com/2013/12/12/news26.html

සබැඳි ලිපි -
[

බෞද්ධ සංස්‌කෘතික පුනර්ජීවන කමිටු වාර්තාවෙන් විධායක ජනපති ධුරයට අලුත් නිර්දේශයක්‌http://denethharinna.blogspot.com/2013/12/blog-post_11.htmlසිංහල බෞද්ධ ව්‍යවස්ථාවක් ඕනෑ – මැදගම ධම්මානන්ද හිමිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_1509.html
]

0 comments: