Pages

Monday, November 4, 2013

පුරාවිද්‍යා බිංකුන්ඩන්ගේ ගර්භ ශාන්තිය - මැණික්‌ 157ක්‌ හොරෙන් හංගන්න හදලා

මැණික්‌ හමුවූ බවට පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්ටත් දැණුම්දී නෑ...

සර්වඥ ධාතු පුරාවිද්‍යා සේප්පු ඇතුළේ...

අහවල් දෙයක්‌ කියන්නට අවශ්‍යදැයි තවම වැටහෙන්නේ නැත. අපට තේරුම් ගන්නට ඇත්තේ ගෙදර ගෑණුන්ගේ ආරක්‌ෂාව ස`දහා මුරට තබා ආවේ පට්‌ට පඳුරු සල්ලාලයන් බව දැනෙන විට පෙරහැර ගොස්‌ හමාර බව පමණය. 

අහිංසක මනුස්‌සයෙක්‌ තමුන්ගේ ගෙදර මිදුලේ ලි`දක්‌ හාරමින් සිටින විටදීත් පොලිසිය සමග පැමිණ කුදලාගෙන යන, උන්ව රිමාන්ඩ් කරන, උන්ව උසාවි ඉදිරිපත් කර අච්චු කරන, පුරාවිද්‍යා ආඥ පනත සුරතෙහි මිටිකොට ගෙන පුරා වස්‌තු රක්‌ෂා කිරීම සඳහා ප්‍රාග් ඓතිහාසික ගල් ආයුධයකින් පෙකණිවැල කපා ලෝකයට බිහිවුවාක්‌ සේ හැසිරෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ නල්ලමලේ පුරාවිද්‍යාඥයන් ගල්කොරිකාර පාදඩයන්ගේ මුදලට යටවී ජාතික උරුමයට කළ විනාශය පිළිබඳ මේ රටට කිවයුතු දීර්ඝ කතාවක්‌ අප සතුව තිබේ. එය ඉතිහාසයේ ලේඛණගතවීම සඳහා හෝ ඉදිරියේදී සටහන්වනු ඇත.

ඒ අතරතුර ශාස්‌ත්‍රීය පුරාවස්‌තු හොරකමක සැක උපදවන සැලසුමක්‌ පොතුවිල් වලට නුදුරු නීලගිරි මහා සෑයෙන් ඇසෙමින් තිබෙන්නේය. එහි කැණීම් කරන ප්‍රධාන කැණීම් නිලධාරියා ඇතුළු පිරිස මේ අකටයුත්ත කරන්නට උත්සාහ කළ ආකාරය ගැන රටට සැක ඉපදෙන්නේ ඒ පිළිබඳව වන පොලිස්‌ කටඋත්තර විමසීමේදීය.

නීලගිරියේ කැණීම

නීලගිරි මහා සෑය සංරක්‌ෂණය කිරීම ස`දහා මීට කලකට පෙර සිට පුරාවිද්‍යා කැණීමක්‌ පවත්වාගෙන යන්නේය. මෑත ඉතිහාසයේ වැඩිම පුරාවස්‌තු ප්‍රමාණයක්‌ හමුවන පුරාවිද්‍යා භූමිය වන්නේ නීලගිරියය. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මෑත කාලයේදී මාධ්‍ය සංදර්ශන පවත්වන්නේත් මෙම නීලගිරිය කැණීම් වලින් හමුවන ධාතු කරඬු ඇතුළු පුරාවස්‌තු මුල්කරගෙනය. 

වරෙක නීලගිරියේ සධාතුක කර`ඩු සහිත මංජුසා මාධ්‍ය හමුවේ විවර වුයේය. එම කර`ඩුවල තැන්පත් කළ, රන් පත්හි ඔතා තිබු සර්වඥ ධාතූන්වහන්සේලා හමුවුයේය. වැඩිදුරටත් ඒවායේ ධාතු වෙත්දැයි පරීක්‌ෂා කරන්ට මේ පුරාවිද්‍යාඥයෝ ධාතු සහිත කුඩා මංජුසා පරමාණුක බලශක්‌ති අධිකාරියට යවා ස්‌කෑන් කළහ. කර`ඩුවල ධාතු ඇති බව තහවුරු කරගත් පසු එම කර`ඩු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේප්පු වල දැමුහ. වේදනාවෙන් කියන්නේ එම සර්වඥ ධාතූන්වහන්සේලා මේ වනවිටත් වැඩසිටින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලොකර් තුළ බවය.

අපේ සංස්‌කෘතියේ උත්තුංගවූත් පාරිශුද්ධවූත් වන්දනා සංකල්පය පහළවන්නේ ධාතු වන්දනා මුල් කරගෙනය. අතීත රාජ්‍ය උරුමය තහවුරු කළ සංකේතය වුයේ දළදාවය. බෞද්ධයෝ ධාතු දකින්නේත්, උන් වහන්සේලා වන්දනා කරන්නේත් ජීවනමාන බුදුන් වන්දනා කරන ලෙසය. ඒ උත්තර සංකල්පය තවමත් අපේ හදවත්තුළ දිදුලමින් ඇති ආකාරය මීට මාස ගණනකට පෙර කපිලවස්‌තුපුරයෙන් ධාතූන්වහන්සේලා වැඩමවූ මොහොතේ නන් දෙසින් ගලා ආ ජන ගඟෙන් ප්‍රකට වුයේය. ඓතිහාසික ලෝකයේ උසම ගඩොල් ස්‌මාරකය නිර්මාණය වන්නේ සර්වඥ ධාතූන් අභිනන්දනය කරන බොදු බැතිමතුන්ගේ හදවත් වල නින්නාද දෙන ශ්‍රද්ධාවේ ප්‍රකාශනයක්‌ ලෙසය. රුවන්මැලි මහා සෑයත්, අභයගිරියත් ඒ ආශ්‍රිතව නිර්මාණය වන ලාංකීය වාස්‌තු කලා සම්ප්‍රදායත් ලෝකයට කියන්නේ මේ ධාතු වන්දනා සංකල්පයේ ඓතිහාසික උත්කර්ෂයමය. පුරාවිද්‍යාවේ උගන්වන පුරාවස්‌තු වලට ලඝූ කළ නොහැකි මහා සංස්‌කෘතික හරයක්‌ කැටිකොටගත් වන්දනීය සංකල්පීය ගැඹුරක්‌ සර්වඥ ධාතු විෂයෙහි තිබිණි. මාධ්‍ය ගෙන්වා නීලගිරි මහා සෑයේ ධාතු සංදර්ශන පවත්වන විට සියක්‌ රියන් උසට දාගැබ් තැනුවේ අබටැක්‌ පමණ වන මේ උත්තම ධාතූන් වහන්සේලා අභිනන්දනය කරන්නට නොවේදැයි මොවුන්ට දැනුනේ නැත. යුග ගණනාවක්‌ පුරා වන්දනාවට පාත්‍ර වූ මේ උත්තම ධාතුන් වහන්සේලා හාරා ඉවත් කළ පසු ඉතිරිවන නීලගිරිය ඓතිහාසික ගඩොල්ගොඩක්‌ පමණක්‌ වන බව මොවුන්ට දැනී තිබුණේ නැත. විශ්ව විද්‍යාල උපාධියකින් පසු දැනුමේ සප්ත මහා සාගරය තරණය කළේයෑයි සිතා විද්‍යාඥයන්ට ඇඳගෙන සිටින්නේ මෙවැනි විහීන චින්තනයක්‌ සහිත සංස්‌කෘතික අවජාතක පරම්පරාවක්‌ වීමේ ෙ€දවාචකය දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළින්ම ප්‍රකට වී තිබෙන්නේය. ඔවුහු සෙල් ලිපි කඩා දා ගැබ් විනාශ කර, ඓතිහාසික පුරාවිද්‍යා සාධක අතුරුදන් කරමින් ගල් කැඩීම සඳහා ගල්කොරි කාරයින්ට ඇගයුම් බලපත්‍ර ලබා දී සල්ලි ගන්නෝය. පුරාවස්‌තු හොරකම් කරන්නෝය. සර්වඥ ධාතුත් විකුණන්නෝය. මේ යථාර්ථයේ අලුත්ම ස්‌වරූපය නීලගිරි සෑයෙන්ම මතුවී තිබෙන්නේය. දැනට පොතුවිල් පොලිසියත්, පුරාවස්‌තු ආරක්‌ෂා කිරීමේ පොලිස්‌ කොට්‌ඨාශයත් මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වමින් තිබෙන්නේය.

පොලිසියට ලැබෙන කටඋත්තර අනුව වාර්තාවන සිදුවීම මෙසේය.

මැණික්‌ අපහරණ සිද්ධිය

කැණීම් කරගෙන යනවිට පසුගිය 16 හා 19 දෙදින තුළ නීලගිරිය පුරාණ දාගැබ් ගර්භයෙන් රන් පතින් කළ කරඬුවක්‌ හමුවන්නේය. කරඬුවෙහි අඩිය ගැලවී ගොස්‌ය. එම කරඬුව මැණික්‌ සහිත කරඬුවක්‌ බව පැහැදිලි වන්නේය. කරඬුව හමුවන බිමෙහි තිබී මැටි මංජුසාවක කොටස්‌ හා ඒ අවට වර්ග අඩි පනහක්‌ පමණ ප්‍රදේශයක විසිරුණු වර්ණ ගල් ද හමුවන්නේය. කැණීම් නිලධාරීන් මෙම ගල් සහිත පස්‌ කොටස්‌ සල්අඩ කර මැණික්‌ ගල් බේරාගෙන කැණීම් භූමියේ කැණීම් වලවල් වල තිබු ජලයෙන් එම ගල් සෝදා ගන්නේය. 

පුරාවස්‌තුව ගොඩගන්නට පෙර සිදුවිය යුතු නිශ්චිත ක්‍රමවේදයට අනුව එම හමුවීම සම්බන්ධයෙන් කැණීම් නිලධාරීන් සිය ආසන්නම ප්‍රධානියා වන නැගෙනහිර පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‌ෂවරයාව දැනුවත් කර තිබුණේ නැත. අධ්‍යක්‌ෂ ජනරාල්වරයා හෝ කැණීම් අධ්‍යක්‌ෂවරයා හෝ අඩුම තරමින් ලාහුගල පුරාවිද්‍යා ස්‌ථානයේ ස්‌ථානභාර නිලධාරීවරයාව දැනුවත් කර නැත. ඔවුන් මෙම රන් කරඬුව පස්‌ අතරින් ඉවත් කර අවට ඇති පස්‌ සෝදා මැණික්‌ ගල් වෙන් කරගෙන තිබිණි. එතැන කෝපි ඇට ප්‍රමාණයේ සිට මහපට ඇ`ගිලි ප්‍රමාණය තෙක්‌ වන පුරාණ මැණික්‌ විශේෂයන් හමුවූයේය. මෙම ගල්වල කෞතුක වටිනාකම මිල කළ හැකි නොවීය. 

හමුවූ පුරාවස්‌තු විෂයෙහි පුරාවිද්‍යා නිලධාරීන් හැසිරෙන ආකාරය ගැන සැක පහළ කළ වැඩබිමේ අයෙක්‌ මේ ගැන පොතුවිල් මගුල් මහා විහාරයේ හාමුදුරුවන් දැනුවත් කර තිබිණි. උන්වහන්සේ මේ ගැන නැගෙනහිර පළාත භාර සහකාර පුරවිද්‍යා කොමසාරිස්‌වරයා දැනුවත් කළහ. ලාහුගල ස්‌ථාන භාර නිලධාරියා දැනුවත් කළේය. දෙපළම මේ සිද්ධිය දැනගන්නේ ඉන් පසුවය. සතියකට වරක්‌ ස්‌ථාන පරීක්‌ෂණයට පිටත්වන සහකාර අධ්‍යක්‌ෂවරයා මෙම තොරතුරු දැනගත් වහාම නීලගිරි සෑයේ කැණීම් භූමියට පැමිණුනේය. ඔහු සමග තවත් පුරාවිද්‍යා නිලධාරියෙක්‌ හා මගුල් මහා විහාරයේ හාමුදුරුවෝ වූහ. 

ලැබුණු පුරාවස්‌තු ගැන සිය ප්‍රධාන නිලධාරීන් දැනුවත් නොකරන ප්‍රධාන කැණීම් භාර නිලධාරියා ඒ වනවිට ගමේ ගොස්‌ය. සේප්පුව භාර නිලධාරියාත් ගමේ ගොස්‌ය. ඔවුන් පවසන්නේ පුරාවස්‌තු සීල් කර ඔවුන්ගේ පෙට්‌ටියක ආරක්‌ෂිතව තිබෙන බවය. සවස 7 වනවිට ගමේ සිට පැමිණෙන ඔවුන් විවෘත කර පෙන්වන පෙට්‌ටිය තුළ සීල් කළ පුරාවස්‌තු සහිත එකතුවක්‌ හා සීල් නොකළ පුරාවස්‌තු පැකට්‌ටුවක්‌ විය. සීල් කළ එකතුවේ පුරාවස්‌තු ලයිස්‌තුවක්‌ මිස ලයිස්‌තුවේ වන දෑ සහතික කරනු ලබනා අත්සනක්‌ නොමැති බව දකිනා සහකාර අධ්‍යක්‌ෂවරයා පිරිස ඉදිරියේ එය විවෘත කර යළිත් සීල් කර තිබුණේය. 

සහකාර අධ්‍යක්‌ෂවරයා ඇතුළු පිරිස ස්‌ථානයෙන් පිටව යනවිට හාමුදුරුවන්ගේ දුරකථනයට යළිත් තොතුරක්‌ පැමිණ තිබිණි. ඒ තොරතුරට අනුව කියෑවුනේ තවත් මැණික්‌ කොටසක්‌ හා විශාල ප්‍රමාණයේ මැණික්‌ගල් 14 ක්‌ කැණීම කළ අය විසින් මෙම නිලධාරීන්ට භාර නොදුන් බවය. හාමුදුරුවෝ මේ පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් වරයාට දැනුම් දුන්හ. 

අධ්‍යක්‌ෂ ජනරාල්ගේ උපදෙස්‌ පිට යළිත් පසුදින උදේ මේ පිරිස කැණීම් භූමියට පැමිණියහ. පැමිණ එතැන්සිට ඔවුහු යළිත් පරීක්‌ෂණය ආරම්භ කළහ. ඒ එනවිට එතැන සිටි නිලධාරියාගෙන් භාර නුදුන් මැණික්‌ ගල් ගැන විමසු විට මුලින්ම කියා තිබුණේ එවැනි පුරාවස්‌තු මෙහි නොමැති බවය. එහෙත් සහකාර අධ්‍යක්‌ෂවරයා යළි යළිත් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී මැණික්‌ සහිත තවත් පාර්සලයක්‌ ලොකර් එක තුළ ඇති බව හේ පිළිගත්තේය. 

භාර නොදුන් මැණික්‌ ගල් පාර්සලය තිබුනේ පැකට්‌ දෙකක්‌ ලෙසිනි. එම පැකට්‌ දෙකෙහිම මැණික්‌ ගල් 159 ක්‌ තිබිණි. ඒ මැණික්‌ ටිකට අමතරව තවත් මැණික්‌ ගල් 14 ක්‌ අතුරුදන්ව ඇති බව ලැබුණු තොරතුරු අනුව කියෑවිනි. මේ හොරකමේ ප්‍රමාණය ඉඟි කිරීම සඳහා මේ කතාව සටහන් කර තැබිය යුතුය. වසංකර තබා දෙවනුව සොයාගත් මැණික්‌ ගල් අතර තිබුණ නිල් කැටයක්‌ පමණක්‌ රුපියල් කෝටි ගණනක්‌ වටිනා බව විශ්වාසනීය ආරංචි මාර්ග පවසා තිබිණි.

අසීමිත සැක උපදින්නේ මේ ප්‍රවේශයෙන් අනතුරුවය. කැණීමක්‌ යනු යළි ගොඩනැගිය නොහැකි විනාශයකි. එබැවින් කැණීමක පරමාර්ථයම ඉන් හමුවන සෑම දත්තයක්‌ම වාර්තා කිරීමය. එසේ නොවන තැන ශාස්‌ත්‍රීය කැණීමක්‌ නැත. කියෑවෙන ආකාරයට මැණික්‌ සහිත පුරාවස්‌තු ගොඩගැනීමේ කටයුත්ත මේ පුද්ගලයන් විසින් නිසි ආකාරව වාර්තා කර තිබුණේ නැත. මේ කැණීමේ ඡායාරූප ගත් බව කියන ස්‌ථානභාර කැණීම් නිලධාරියා යළිත් කියා තිබුණේ තම කැමරාවටත්, ලැප්ටොප් එකටත් වෛරස්‌ ඇතුළු වී ඇති නිසා එම උපකරණ ක්‍රියාත්මක කළ නොහැකි බවය. මැණික්‌ ගල් 157 ක්‌ මුල් අවස්‌ථාවේදී භාර නොදී සඟවා තබා ගැනීම ගැන අසන විට ඔහු කියන්නේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවය. සහකාර අධ්‍යක්‌ෂවරයා දැනුවත් නොකළත් මේ පුරාවස්‌තු හමුවීම ගැන පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකත්, කැණීම් අධ්‍යක්‌ෂ ආචාර්ය නිමල් පෙරේරාත් දැනුවත් කළ බවය. එහෙත් මේ දෙපළම පුරාවස්‌තු හමු වී දින තුනක්‌ යනතුරු මේ සිද්ධිය ගැන හාංකවිසියක්‌ දැනගෙන තිබුණේ නැත. අනෙක්‌ කාරණාව මේ වනවිට ආචාර්ය නිමල් පෙරේරා විශ්‍රාම පූර්ව නිවාඩු ගොස්‌ය. ඔහුට දැන්වීම සඳහා මොවුනට රාජකාරිමය පදනමක්‌ නැත. මේ පුද්ගලයන් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාවත්, විශ්‍රාම ගිය ආචාර්ය නිමල් පෙරේරාත් පාවා දී තිබිණි. 

පොලිසියට කටඋත්තරයක්‌ දෙන උතුරු පළාත් සහකාර පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා පවසන්නේ මේ පුරාවස්‌තු ගැන නිසි විද්‍යාත්මක වාර්තාකරණයක්‌ සිදුව නැති බවය. පුරාවස්‌තු හමුවීම ගැන මේ කැණීම් නිලධාරීන් තමා ඇතුළු කිසිම ඉහළ නිලධාරියෙකුට දැනුම් නොදුන් බවය. මෙවැනි පුරාවස්‌තු හමුවීමක්‌ සිදුවන අවස්‌ථාවක අනුගමනය කළයුතු විනිවිද දකිනා ක්‍රමවේදය අනුගමනය කර නැති බවය. පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් වරයාත් පාවා දෙමින් පට්‌ට බොරු කී බවය. පුරාවස්‌තු එකතුවේ තිබු මැණික්‌ ගල් 14 ක්‌ අඩු බවට තමන්ට දැනගන්නට ඇති බවය.

මේ වනවිට සිද්ධිය ගැන පොලිස්‌ පරීක්‌ෂණ පැවැත්වෙමින් තිබෙන්නේය. අනාගතයේදී අහම්බයෙන් හෝ මේ කාලකණ්‌ණි අපරාධයේ සුලමුල හෙළිවන්නට ප්‍රාර්ථනා කරන අප මේ මොහොතෙදී කරන්නේ ඒ සිද්ධිය වාර්තා කිරීම පමණය. 

එහෙත් මේ සිදුවීම් හරහා දැන් රටට අලුත් පණිවුඩයක්‌ ලැබී තිබේ. රටේ පුරාවස්‌තු විනාශ කළ හැක්‌කේත් කොල්ල කෑ හැක්‌කේත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලයිෂන් සහිත හොරුන්ට පමණය. වෙන එක හොරෙකුටවත් නිධන් හොයන පාදඩයෙකුටවත් උරුමය කොල්ලකෑමට අවසර නැත. බැරිවීමකින් හෝ උන් පුරාවස්‌තු කොල්ලකනු තබා එසේ සිතා ඒ සඳහා සුදානම් වුවහොත් උන් සුම්මාය. රටේ තද නීති සහිත පුරාවිද්‍යා ආඥ පනතක්‌ තිබෙන්නේය. උන් සඳහා නීතිය උපරිම බරෙන් ක්‍රියාත්මක කරන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේය. ඒ කාලකණ්‌ණි හොරුන්ට ඇපත් නැත. පුරාවිද්‍යාවේ හොරුන් බැලන්ස්‌ කරගන්නට බැරිවුවහොත් ඒ හොරුන්ට ආයේ පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ දිහා නොබලන්නට දඩයක්‌ කන්නට සිදුවනු ඇත. ඒ දඩමුදල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තෑගි අරමුදලටත් බැරවී දෙපාර්තමේන්තුවේ ශාස්‌ත්‍රීය කටයුතු කරන නිලධාරීන්ට දිරිගැන්වීම් දීමනාවක්‌ සේ ලැබෙනු ඇත. 

ඊටත් වඩා කියන්නට දෙයක්‌ නැත. කිවුවත් අහන්නට එකෙක්‌ නැත. රටට කරන මේ බොරුවේ ප්‍රමාණය අපට වැටහෙන්නේ නැත. අපට දැනට පෙනෙන පරිදි අප හකුරු හංගා ඇත්තේ දියකාවන්ගේ පශ්චාත්භාගයේය. අපට ඇත්තේ මුන් නටන නිරුවත් රංගනය බලාගෙන සිටින්නටය. 

ජානක ලියනආරච්චි - හේමන්ත රන්දුණු
http://www.divaina.com/2013/11/03/feature01.html

0 comments: