Pages

Monday, November 4, 2013

ජීවිතය ලෙඩ කරන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය

වස විස භාවිතය පිළිබඳ ලෝක ඉතිහාසයේ කතාව සියවස්‌ ගණනක්‌ ඈත අතීතයට දිවයන්නකි. ගල් ගුහාවල ජීවත් වූ අපේ ආදිතමයන් සතුන් දඩයම් කරන්නට වස විස භාවිත කළ බවට සාක්‍ෂි හමුවී තිබේ. විලියම් ෂේක්‌ස්‌පියර් සිය සුප්‍රකට හැම්ලට්‌ නාටකයේ හැම්ලට්‌ කුමරු ඝාතනය කරන්නට ලෙයාටස්‌ අතට දෙන්නේ විෂ පෙවූ කඩුවකි.

අද මෙන් දියුණු සමාජයක්‌ නොපැවති එදා වස විස බොහෝ අවස්‌ථාවලදී භාවිත කළේ අනුන් නසන්නටය. නවීන තාක්‍ෂණයෙන් සොබාදහමට පවා අභියෝග කරන අද දැනුවත්ව හෝ නොදැනුවත්ව වස විස භාවිත කරන්නේ තමාම නැසෙන්නටය.

පරිගණකය සහ ජංගම දුරකථනය වර්තමාන නවීන තාක්‍ෂණයේ ඉහළින්ම භාවිත කෙරෙන මෙවලම් දෙකකි. තාක්‍ෂණයේ අධිවේගී දියුණුව නිසාම වසරින් වසර මෙම උපකරණ නව මාදිලිවලින් වෙළෙඳපොළට එක්‌වෙයි. මේ නිසා වෙළෙඳපොළට එක්‌වන වේගයෙන්ම මේ ඉලෙක්‌ට්‍රොනික්‌ උපකරණ වෙළෙඳපොළෙන් බැහැර වීම ද සිදුවෙයි. මේ බොහෝ ඉලෙක්‌ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කෙරෙන්නේ දියුණු රටවලයි. බොහෝ විට මේ උපකරණ මිලදී ගන්නේ සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව බඳු රටවල්ය. 

නවීනත්වයත් අධික භාවිතයත් නිසා සීග්‍රයෙන් භාවිතයෙන් ඉවත් කෙරෙන මේ ඉලෙක්‌ට්‍රොනික උපකරණ අද අපේ රටේ පරිසරයට බලවත් තර්ජනයක්‌ බවට පත්වී තිබේ. එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට හානි නොවන ආකාරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලියක්‌ අපේ රටේ තවම ක්‍රියාත්මක නොවීමයි.

භාවිතයෙන් ඉවත් කෙරුණු පරිගණක උපාංග, ජංගම දුරකථන, ඡායාරූප පිටපත් යන්ත්‍ර, නොයෙක්‌ බැටරි වර්ග වැනි ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යයන් අද බොහෝ දෙනෙක්‌ ගෙදර දොරේ සාමාන්‍ය අපද්‍රව්‍යයන් සමග එක්‌කොට බැහැර කරලීම සිදුකරති. සමහරු පුළුස්‌සති. එය බලවත් පරිසර හානියක්‌ බව නොසිතති. මේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය සාමාන්‍ය අපද්‍රව්‍ය මෙන් දිරාපත්ව පසට එක්‌ වන්නේ නැත. සිදුවන්නේ ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය පසට එකතු වී පාංශු ජීවීන්ට සහ ජලයට බරපතළ හානියක්‌ සිදුකිරීමයි.

ඉලෙක්‌ට්‍රොනික හා විදුලි භාණ්‌ඩ භාවිත කරන බොහෝ දෙනා තුළ ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක්‌ නොමැති වීමත් මේ තත්ත්වයට එක්‌ හේතුවකි. පරිගණක මොනිටර, රූපවාහිනී, ජංගම දුරකථන ඇතුළු තොරතුරු හුවමාරු තාක්‍ෂණික භාණ්‌ඩ, බැටරි වර්ග ශීතකරණ ඇතුළු සියලුම විදුලි උපකරණවල අඩංගු පොදු රසායනික ද්‍රව්‍ය ගණනාවක්‌ තිබේ. ඒවා අතර කැඩ්මියම්, ලෙඩ්, රසදිය, ආසනික්‌ හා බෙරලියම් ප්‍රධාන රසායනික ද්‍රව්‍ය කිහිපයකි. භාවිතයෙන් ඉවත් කරන ඉලෙක්‌ට්‍රොනික භාණ්‌ඩ පරිසරයට එකතු කළ පසු ඒවායේ බහුල වශයෙන් පවතින ඉහත රසායනික ද්‍රව්‍ය පසට එකතු වීමෙන් දීර්ඝ කාලීන පාරිසරික අර්බුද රාශියකට මඟ පෑදේ.

වර්තමානයේ අපේ රටේ පරිසරයට එකතු වන මේ රසායනික ද්‍රව්‍යවලින් ප්‍රබල බලපෑමක්‌ එල්ල වී ඇත්තේ පානීය ජල මූලාශ්‍රවලටය. ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍යවල ඇති ලෙඩ්, බෙරලියම් වැනි බැර ලෝහ කෙළින්ම ජල මූලාශ්‍රවලට එකතු වීමෙන් ඒවා බරපතළ ලෙස අපිරිසිදු තත්ත්වයට පත්වේ. මෙම බැර ලෝහ හා හයිඩ්‍රෝකාබන් නිසා අපේ රටේ ගංගා ඇළ දොළ ආදියේ ආම්ලිකත්වය වැඩිවීම හේතුවෙන් එම ජලයේ වෙසෙන සහ එම ජලය පානය කරන සතුන්ට විවිධ රෝගාබාධ හටගෙන ඇත.

පසට එකතුවන මේ අපද්‍රව්‍යවලින් දූෂණය වන්නේ පාංශු ජලය පමණක්‌ නොවේ. මේ රසායනික ද්‍රව්‍ය පිටකරන වායු වර්ග නිසා වායුගෝලයද දූෂණය වේ. නවීන තාක්‍ෂණය යොදා විදුලිය අරපිරිමැසෙන සහ දිගුකල් පවතින බොහෝ විදුලි බුබුළුවල අඩංගු රසායනික ද්‍රව්‍ය රසදියයි. භාවිතයෙන් ඉවත් වන මේ විදුලි බුබුළු පරිසරයට එකතු වීම නිසා අද පසට එකතු වන රසදිය විශාල පාරිසරික අර්බුදයක්‌ බවට පත්වී තිබේ. අද වන විට අපේ පරිසරයට එකතු වෙමින් පවතින මේ විශාල රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය හේතුවෙන් මිනිස්‌ සිරුර තුළින් විවිධ සංකූලතා හා රෝගාබාධ හටගෙන ඇති බව හෙළිවී ඇත. ඒවා අතර ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතිවල සංකූලතා, පරම්පරාගත ජාන විකෘති, ඇස්‌වල විවිධ ආබාධ, වකුගඩු ආබාධ, පිළිකා සහ ආයු කාලය අඩුවීම වැනි තත්ත්වයන්ට හේතුවන බව පිළිගැනීමට සිදුවී තිබේ.

විශාල වශයෙන් පරිසරයට රසායන ද්‍රව්‍ය එකතු කෙරෙන තවත් අවස්‌ථාවකි රෙදි සේදුම් කුඩු භාවිතය. අපේ රටේ ආසන්න වශයෙන් පවුල් ලක්‍ෂ පනහක්‌ පමණ සිටිති. මෙයින් පවුල් ලක්‍ෂ 30 ක්‌ පමණ විවිධ වර්ගවල රෙදි සෝදන කුඩු භාවිත කරන බව සමීක්‍ෂණයකදී හෙළි වී ඇත. එක පවුලක්‌ සතියකට රෙදි සෝදන කුඩු ග්‍රෑම් 30 ක්‌ භාවිත කළහොත් ඒ අනුව එක්‌ වසරක්‌ තුළ පරිසරයට එකතු වන රෙදි සෝදන කුඩු ප්‍රමාණය ග්‍රෑම් ලක්‍ෂ 40 ක්‌ පමණ වේ.

ඇත්ත වශයෙන්ම මේ රෙදි සේදුම් කාරක කුඩු හා දියර වර්ග යනු විවිධ රසායනික ගුණ හා ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මිශ්‍ර කරන ලද රසායනික සංයෝග රාශියක එකතුවකි. මේවා ශරීරයට විෂ සහිතය. රෙදි සෝදන කුඩුවල ඇති විවිධ රසායනික ද්‍රව්‍ය අතර පොස්‌පේට්‌ සංයෝගය අඩංගු වේ. 

රෙදි සෝදන කුඩුවලට යොදා ගන්නා පොස්‌පේට්‌ සංයෝගවලින් සිදු කරන්නේ සේදුම් කාරක වර්ගවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමයි. නමුත් මෙම පොස්‌පේට්‌ සංයෝග මිනිස්‌ සිරුර තුළ සංකූලතා ඇති කරන බැවින් යුරෝපා සංගමය විසින් පොස්‌පේට්‌ අඩංගු සියලු නිෂ්පාදන තහනම් කර තිබේ. නමුත් අපේ රටේ රෙදි සෝදන කුඩු හා දියරවල මුළු බරෙන් සියයට පනහක්‌ම පොස්‌පේට්‌ය.

අපේ රටේ රෙදි සේදීමේදී භාවිත කරන නිෂ්පාදන බොහොමයක ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිබඳ පැහැදිලි සටහනක්‌ නැත. නමුත් ලෝකයේ බොහෝ රටවල රෙදි සේදීම සඳහා භාවිත කරන සියලුම නිෂ්පාදන සඳහා ජෛව වියෝජනයට ලක්‌වන පරිසර හිතකාමී රසායනික ද්‍රව්‍යයන් පමණක්‌ භාවිත කළ යුතු බවට නීති පනවා ඇත.

නමුත් අපේ රටේ එබඳු නීති රීති ක්‍රියාත්මක නොවීමත් රෙදි සෝදන කුඩු භාවිත කරන්නන් තුළ ඒවා පිළිබඳ අවබෝධයක්‌ නොමැති වීමත් නිසා නිෂ්පාදකයන්ට පහසුවෙන් පාරිභෝගිකයන් 

රැවටීමටද අවස්‌ථාව ලැබී ඇත. අපේ රෙදිපිළිවලට දිදුලන සුදක්‌ ලැබෙන්නේ ඔවුන්ගේ රෙදි සෝදන කුඩු නිසා යෑයි ඔවුන් කියති. නමුත් ඇත්ත කතාව රෙදිවලට දිදුලන සුදක්‌ ලැබෙන්නේ රෙදි මේ සේදුම් කුඩුවලින් සේදූ පසු එම රෙදි පිරිසිදු වන නිසා නොවේ. සේදුම් කාරක වර්ගවල තිබෙන රසායනික සංයෝග හේතුවෙන් හිරු එළියේ අපේ ඇසට නොපෙනෙන පාරජම්බුල කිරණ අපේ ඇස්‌වලට පෙනෙන ආලෝක කිරණ බවට පත්කරවන නිසාය. රෙදි සෝදන කුඩුවලින් කරන්නේ දෘෂ්ටි මායාවක්‌ මිස සැබෑ ලෙස අපේ රෙදි පිරිසිදු කිරීම නොවේ.

රෙදි සෝදන කුඩුවල ඇති බෙන්සිල් ඇසිටේට්‌ නිසා අග්න්‍යාසයේ පිළිකා ඇතිවිය හැකි බවට සොයාගෙන ඇත. එසේම සමේ විවිධ අසාත්මිකතා, සොරයිසීස්‌, පණු කැවිලි, ඉරුවාරදය, ශ්වසන ආබාධ, ඇදුම, අක්‌මාවේ මොළයේ හා ස්‌නායු පද්ධතියේ ආබාධවල ද රෙදි සෝද කුඩු හේතුවිය හැකි බව දැන් හෙළිදරව් වී ඇත. එසේම ජලාශවල ඇල්ගී වේගයෙන් වර්ධනය වීමටත් ජලජ ජීවීන් විනාශ වීමටත් රෙදි සෝදන කුඩු ප්‍රධාන හේතුවකි.

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය නිසා හෝ රෙදි සෝදන කුඩු සහ වෙනත් ගෘහාශිතව භාවිත කරන නොයෙක්‌ තීන්ත වර්ග මදුරු දඟර ආදී රසායනික ද්‍රව්‍ය අඩංගු සංයෝග නිසා පරිසරයට එකතු වන රසායන ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට අපේ රටේ කෘෂිකර්මාන්තයේදී භාවිත වන කෘමි හා වල් නාශක හේතුවන බව සොයාගෙන ඇත. මේ නිසා ජලයේ හා පසේ ආම්ලිකතාව වැඩිවීමෙන් කැඩ්මියම් ලෙඩ් වැනි බැර ලෝහ ජලයේ දියවීමේ සීඝ්‍රතාව වැඩිවී ඇති බවද දැන් හෙළිදරව් වී ඇත. මේ නිසා අනාගතයේදී ජලය බීමට සුදුසු වනසේ සකස්‌ කිරීම සඳහා දැවැන්ත වියදමක්‌ දැරීමට සිදුවනු ඇත. ඒ නිසා නුදුරු අනාගතයේදීම පානීය ජලය වෙනුවෙන් ගෙවන්නට සිදුවිය හැකි මුදල අප සිතනවාටත් වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකිය.

අතීතය සහ වර්තමානය අතර දැවැන්ත පරතරයක්‌ තාක්‍ෂණය විසින් අද නිර්මාණය කර ඇත. නමුත් අතීතයේ තවකෙකු නසන්නට යොදාගත් වස විස නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව අද අපටම නැසෙන්නට සිදුවී තිබීම ඒ ඉතිහාසයේ සරදමක්‌ නොවේද?

පාලිත සේනානායක 
(කොළඹ මහ රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්‌ථානයේ පැවැති සම්මන්ත්‍රණයක්‌ ඇසුරෙන්)
http://www.divaina.com/2013/11/03/feature03.html

0 comments: