Pages

Friday, November 1, 2013

උපාලි නාහිමි සැමරීම - 'වසර 260 ක සියම් උරුමය'

සියම් දේශය එනම් තායිලන්තයද ශ්‍රී ලංකාවද ථෙරවාදි බෞද්ධ රටවල්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙරට ශාසනය නගා සිටුවීම සඳහා සියම් රජුගෙන් සහාය ඉල්ලා 66 දෙනකුගෙන් යුත් දූත පිරිසක්‌ යෑවීය.

මේ සිංහල දූත පිරිස 1751 දී එරටට ළඟාවිය.

ශ්‍රී ලංකා රජුගේ ඉල්ලීම පිළිගත් අයුත්තා හි රජ කළ බොරොම්තෝසේ රජු විසින් මේ කටයුත්තේ නායකත්වය සඳහා තෝරාගනු ලැබුවේ උපාලි හිමියන්ය. ඒ අතර ආරියමුනි හිමි, මහානාම හිමි සහ තවත් කිහිපදෙනකුද විය. උපාලි හිමි ඇතුළු පිරිස ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නැව් නැංගද අවාසනාවකට නැව අනතුරකට ලක්‌වීම නිසා මේ ඓතිහාසික ගමන අත්හිටුවා නැවත පැමිණෙන්නට මේ පිරිසට සිදුවිය. කෙසේ නමුත් පසුව එනම් 1752 දී උපාලි හිමියන් ඇතුළු 58 දෙනෙක්‌ ඕලන්ද නැවක්‌ වූ සිසිලියානා නැවෙන් ලංකාව බලා ඒමට පිටත්විය.

මේ පිරිසට භික්‍ෂුන් පමණක්‌ නොව වෛද්‍යවරු, සංගීතඥයන්, ආරක්‍ෂක නිලධාරීන්ද ඇතුළත් විය. සියම් දූත පිරිස ලංකාවට ළඟාවුණේ ත්‍රිකුණාමල වරායෙනි. සියම් දේශය එනම් තායිලන්තයේ සිට මෙරටට පැමිණීමට ඒ කාලයේ මාස 5 ක්‌ ගතවිය. 1753 දී ත්‍රිකුණාමලයට ළඟාවූ මේ පිරිස එතැන් සිට දින 11 ක්‌ තිස්‌සේ පාගමනින් පැමිණි අතර වැලිවිට සරණංකර හිමියන් මුණ ගැසුනේ මහනුවරට ආසන්නයේදීය. සියම් රටින් මහා සංඝරත්නය වැඩමවන බව දත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මහවැලි නදිය අසලදී මේ පිරිස මහත් හරසරින් පිළිගත්තේය. සිංහල භික්‍ෂුන්ට පැවිදි උපසම්පදාව ලබාදීම සඳහා රජු විසින් රාජකීය උයන උපාලි හිමියන්ට ලබාදුන් අතර එය පසු කාලීනව මල්වත්ත රජමහා විහාරය බවට පත්විණ. එදා සිට සියම් නිකාය ආරම්භ විය.

ඇත්තෙන්ම උපාලි නාහිමියන්ට මෙරට ශාසනය වෙනුවෙන් සේවය කිරීමට ලැබුණ කාලය වසර 3 ක්‌ පමණි. 1756 දී කනේ ආබාධයක්‌ නිසා මේ නාහිමි අපවත්වූ අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දින දෙකක්‌ පුරා රාජකීය අවමංගල්‍ය උත්සවයක්‌ පවත්වා ඉමහත් ගෞරවයෙන් උන්වහන්සේව ආදාහනය කරවන ලදී. උපාලි හිමියන්ගේ ආදාහනය සිදුකෙරුණේ අස්‌ගිරි ගෙඩිගේ රජමහා විහාරයේදීය. වසර 260 ක සියම් උරුමය වෙනුවෙන් පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේත් තායිලන්තයේදීත් විවිධ වැඩසටහන් පැවැත්විණි. එහි එක්‌ වැඩ සටහනක්‌ ඉකුත් 28 වැනිදා තායිලන්ත සියම් කෞතුකාගාරයේදී ඇරඹිණි. ඒ 260 ශැaර දෙ Sස්‌පැse Heරසඒටැ සබ Sරස ඛ්බන් නම් ඡායාරූප ප්‍රදර්ශනයයි.

එය විවෘත කෙරුණේ තායිලන්ත අමාත්‍ය ශාන්ති ප්‍රොම්නන්ට්‌ මහතා අතිනි. එම උත්සවය සඳහා මෙරට නියෝජනය කරමින් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලුතිනන් ජෙනරාල් ශාන්ත කෝට්‌ටේගොඩ මහතාද හිටපු තායිලන්ත තානාපති මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතාද සහභාගි විය.

තායිලන්ත විදේශ අමාත්‍යාංශය කොළඹ තායිලන්ත තානාපති කාර්යාලයද එක්‌ව මෙම කටයුත්ත සංවිධානය කර තිබිණි.

අලංකාර සිතුවම් හා ඡායාරූපවලින් යුතු මේ. ප්‍රදර්ශනය දැක බලා ගැනීමේ අවස්‌ථාව අපටත් උදාවිය. ඒ අවස්‌ථාව උදා කෙරුණේ මහාචාර්ය ඡේ. බී. දිසානායක මහතාගේ මැදිහත්වීම මතය.

මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ උපාලි හිමියන්ගේ ලංකා ගමන දැක්‌වෙන චිත්‍රපටයක්‌ද නිර්මාණය කර තිබූ අතර එය සැබැවින්ම සජීවී අත්දැකීමක්‌ විය. විශේෂයෙන්ම ලංකාවේ පූජනීය ස්‌ථාන මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් අනර්ඝ ඡායාරූප රැසක්‌ මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වී තිබිණි. මේ මගින් තායි වැසියන්ට මෙරට පිළිබඳවත් එහි බෞද්ධ උරුමය පිළිබඳවත් වඩා හොඳ අවබෝධයක්‌ ලැබෙන බව සටහන් කළ යුතුය.

තායිලන්ත අමාත්‍ය ශාන්ති ප්‍රොම්නන්ට්‌ මහතා මෙම ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කරමින් ප්‍රකාශකර සිටියේ වසර 260 ක්‌ පුරා උපාලි නාහිමියන් ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් තුළ තවමත් ගෞරවනීයව සිහිකරන බවයි. ශ්‍රී ලංකා තානාපති ජෙනරාල් ශාන්ත කෝට්‌ටේගොඩ මහතා ප්‍රකාශකර සිටියේ මෙම වැඩසටහනට එක්‌වීමට ලැබීම ගැන බෞද්ධයකු වශයෙන් තමා ලැබූ භාග්‍යයක්‌ ලෙස සලකන බවය.

මෙම ඡායාරූප ප්‍රදර්ශනය දැකබලා ගැනීමේ අවස්‌ථාව සම්බන්ධීකරණය කරදුන් කෝට්‌ටේ ශාන්ති බුද්ධභූමි සංවිධානයේ අධ්‍යක්‍ෂ සුමිත් පලිහවඩන මහතාටත් මෙහිදී විශේෂ ස්‌තූතිය පුදකළ යුතුය.

* චතුර පමුණුව
http://www.divaina.com/2013/11/01/feature02.html

0 comments: