Pages

Thursday, November 7, 2013

පසුගිය වසර 3 ට කුරුණෑගල හා පුත්තලමේ මතට ලොල් වූ තරුණයෝ 468 ක්‌ මරුට

වයඹ පළාතේ කුරුණෑගල හා පුත්තලම යන දිස්‌ත්‍රික්‌ක දෙක තුළ පසුගිය වසර තුන ඇතුළත පුද්ගලයන් හා තරුණයන් 468 දෙනකු පමණ විෂ මත්පැන් පානය, මත්කුඩු හා දුම්බීම නිසා මරණයට පත්වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යා ලේඛන හෙළිදරව් කර ඇත.

මෙම අවාසනාවන්ත මරණවලින් තරුණ පරපුර හා පාසල් සිසු පරපුර ආරක්‍ෂා කර ගැනීම පිණිස දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනවයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් 250 ක්‌ පමණ ඉදිරි මාස 2 තුළදී රජයේ පාසල්වලදී පාසල් සිසුන්, ආදි සිසුන් හා දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කිරීමට වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර ඇත.

සමාජ සේවා දෙපාර්තමේන්තුවද මෙම වැඩසටහනට දායකත්වය ලබාදීමට නියමිත අතර සම්පත් දායකයින් 25 දෙනකු තම ප්‍රවීණ අත්දැකීම් හා පළපුරුද්ද තම ශ්‍රාවකයනට සිය කැමැත්තෙන්ම ලබාදීමට ඉදිරිපත් වී ඇති බව කුලියාපිටිය ප්‍රදේශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු "දිවයින"ට පැවැසීය.

ගිහි පැවිදි උගත් දේශක උතුමන් මේ සඳහා සහභාගි කරවා ගැනෙන අතර වයඹ පළාත පුරාම ඉදිරියේදී නොකඩවා අඩු ආදායම්ලාභී පවුල්වල ගෘහමූලිකයන් ද සහභාගි කරවාගෙන මෙම වැඩසටහන දියත් කිරීමට නියමිත බව එම සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් "දිවයින"ට කරුණු අනාවරණය කරන ලදි.

මේ වන විට පාසල් සිසුන් 20 කට ආසන්න පිරිසක්‌ මත්කුඩු හා මත්ද්‍රව්‍ය භාවිතය නිසා පුනරුත්ථාපනයට යොමුකර ඇති බවත්, දෙමාපියන් හා භාරකරුවන් උසස්‌ රජයේ හා පුද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරු දැරියන් පිළිබඳ සුවිශේෂී අවධානයෙන් සිටිය යුතු කාලවකවානුවක්‌ වර්තමානයේදී උදාවී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

බිංගිරිය විශේෂ - එස්‌. එම්. විජයරත්න
http://www.divaina.com/2013/11/06/provin03.html

0 comments: