Pages

Sunday, November 3, 2013

නිධන් හොරු රාවණා ගුහාව වනසති

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඇති ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ග ආශ්‍රිතව පිහිටා ඇති රාම රාවණා පුරාවෘත්තය බැඳුණු "රාවණා ගුහාව" පසුගියදා කිසියම් පිරිසක්‌ විසින් හාරා විනාශ කර ඇති අයුරුයි මේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ නිධන් වස්‌තු සොයා මෙම සුවිශාල අපරාධය සිදු කරන්නට ඇති බවයි. දිවා කාලයේ සංචාරකයන් විශාල ලෙස මෙකී ස්‌ථානය දැකබලා ගැනීමට පැමිණෙන හෙයින් මෙම විනාශය රාත්‍රි කාලයේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරන්නට ඇති බවද ඔවුහු පවසති. මෙතරම් වැදගත් ස්‌ථානයක සුවිශාල හානියක්‌ සිදුකර තිබියදීත් තවදුරටත් විය හැකි විනාශය වළක්‌වා ගැනීමට කිසිම බලධාරියකු මෙතෙක්‌ මැදිහත් නොවීම පුදුමයකි. ගුහාවේ අභ්‍යන්තර භූමිය අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ගැඹුරට හාරා ගල් හා පස්‌ පෙරළා එහි පැවැති ස්‌වාභාවික තත්ත්වය මේ වන විට කනපිට පෙරළා තිබේ. ඌව පළාතේ සංචාරයට ඉන්දියාවේ සිට පැමිණෙන හින්දු ආගමික පිරිස්‌ රාවණා ගුහාව නැරඹීමට නිසැකවම පැමිණෙන අතරම පහන් දල්වා යැමටත් කටයුතු කරන බව සංචාරක මග පෙන්වන්නෝ පවසති. මෙම විනාශය පිළිබඳව "දිවයින"ට කරුණු දක්‌වන ගුහාව නැරඹීමට පැමිණ සිටි මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් දෙපළක්‌ වන චින්තන පන්විල මහතා සහ ඉමාදි පන්විල මහත්මිය මෙසේ ප්‍රකාශ කළහ. 

සෑම අතින්ම ඉතා වැදගත් මෙම ස්‌ථානයට සිදුකර ඇති බරපතළ හානිය සුවිශාලයි. එය අවසනාවන්ත තත්ත්වයක්‌. මෙම ස්‌ථානයේ මෙන්ම සංචාරකයන්ගේ ආරක්‌ෂාව සඳහා පියවරක්‌ ගැනීම ඉතාම වැදගත්. සීගිරියේ කැටපත් පවුරටත් මිනිසුන්ගෙන් හානි වී තිබෙනවා. මිනිසුන් තුළ ආකල්පයන් වෙනසක්‌ විය යුතුයි.

බදුල්ල - එච්. එම්. සමරකෝන් බණ්‌ඩාර
http://www.divaina.com/2013/11/02/provin02.html

0 comments: