Pages

Sunday, November 3, 2013

දේශීය කිරිවලින් රට ස්‌වයංපෝෂිත කළ හැකි ද?

ලංකාවේ වාර්ෂික කිරිපිටි අවශ්‍යතාව ටොන් අනූ පන් දහසකි. වාර්ෂිකව ආනයනය කරන කිරිපිටි ප්‍රමාණය ටොන් (83,000) අසූතුන් දහසකි. කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා රජය වාර්ෂිකව ඩොලර් මිලියන හාරසියයක්‌ (400) පමණ මුදලක්‌ වැය කරනු ලැබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හා ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවලට අනුව රට පුරා එළ ගවයන් දොළොස්‌ ලක්‍ෂ තිස්‌හය දහස්‌ පන්සියයක්‌ (12,365,00) ක්‌ පමණ සිටී. "මී" ගවයන් හාර ලක්‍ෂ පහළොස්‌ දහස්‌ දෙසීයක්‌ (415,200) කට ආසන්න සංඛ්‍යාවක්‌ ඇත. එයින් කිරි දෙනුන් දෙලක්‍ෂ පනස්‌ දහසකට (250,000) ආසන්න සංඛ්‍යාවකින් "කිරි දොවා ගැනීම" සිදුකෙරේ. "මී ගවයන්" ලක්‍ෂයකට ආසන්න (1,00000) සංඛ්‍යාවකින් කිරි දොවාගෙන මුදවන ලද කිරි ලෙස සකස්‌ කර ගනී.

2012 වසරේදී කිරි හා කිරි නිෂ්පාදන ආනයනික වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 307 කි. කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් 79.5 වැඩි ප්‍රමාණයක්‌ ආනයනය කර තිබේ. කිරිපිටි සඳහා බිලියන 40 ක පමණ මුදලක්‌ මේ සඳහා වැයකර ඇත.

2011 වර්ෂයේදී දේශීය කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 258.3 කි. 2012 වර්ෂය අවසන් වන විට කිරි ලීටර් මිලියන 299.3 ක ප්‍රමාණයෙන් වර්ධනය කර ගෙන ඇති අතර එය 16% ක වර්ධනයකි. දේශීය කිරි නිෂ්පාදනය 2011 වර්ෂයේදී 33% කි. 

ඒ අනුව 2012 වර්ෂයේදී දේශීය කිරි නිෂ්පාදනය 40% ක්‌ දක්‌වා ප්‍රමාණයෙන් වර්ධනය කිරීමට හැකිවී තිබේ. මෙය කිරි ගොවියාගේත් රටේත් ජයග්‍රහණයක්‌ ලෙස සැලකිය හැක. 

දිවයින පුරා සිටින එළගවයන් දොළොස්‌ ලක්‍ෂ තිස්‌ හයදහස්‌ පන්සියයෙන් (12,36,500) දෛනිකව කිරි ලබාගන්නේ එළ දෙනුන් දෙලක්‍ෂ පන් දහසකට (250,000) ආසන්න සංඛ්‍යාවකි. එළදෙනුන් නව ලක්‍ෂ අසූ හය දහස්‌ පන්සිSයකින් (98,6500) කිරි ලබා නොගැනීම නිසා රට තුළ ඇති "කිරි සම්පත" අප විසින්ම අහිමිකර ගෙන ඇත. සමස්‌ත කිරි අවශ්‍යතාවයෙන් 60% ක්‌ම කිරිපිටිවලට ජනතාව හුරුවී ඇත.

පිටරටින් ගෙන්වන ලද කිරිවල මෙලමයින්, ඩී.සී.ඩී. විෂ රසායනික අඩංගු බවට කරන ලද පරීක්‍ෂණවලින් අනාවරණය වීමත් සමගම "කිරිපිටි" වෙනුවට දියර කිරි පාවිච්චිකිරීමට ජනතාව වැඩි කැමැත්ත දක්‌වමින් කිරි සොයා වෙළෙඳපොළට පැමිණෙමින් සිටී.

උදේ, සවස කිරි දෙවීමට ගොවි මහත්මා උනන්දු කරවීමත්, ගොවි මහතාගේ කිරි ටික කලට වේලාවට මිලදීගෙන ශීතකරණ මධ්‍යස්‌ථාන කරා රැගෙන යාහැකි වැඩපිළිවෙළක අවශ්‍යතාව දැන් රට පුරාම පැන නැගී ඇත. මෙයට කඩිනමින් විසඳුමක්‌ ලැබුණ හොත් ලංකාව කිරිවලින් ස්‌වයංපෝෂිත කළ හැකිය. 

රජයට සම්බන්ධ මිල්කෝ කිරි සමාගම දිනකට කිරි ලීටර් දෙලක්‍ෂයක්‌ (20,0000) මිලදී ගෙන කිරි නිෂ්පාදන කටයුතු කර ගෙන යනු ලැබේ. යූරෝ මිලියන තිස්‌තුනක්‌ වටිනා යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන මිල්කෝ සමාගමේ කර්මාන්තශාලා වැඩි දියුණු කිරීමට රජය පියවර ගෙන ඇත. මිල්කෝ සමාගම ඉදිරියේදී දිනකට කිරි ලීටර් අට ලක්‍ෂයක්‌ (8,00000) දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම මිලදී ගැනීමට සැලසුම් කර ඇත. එහෙත් ගොවීන් දැනුවත් කර දෙවරුව කිරි මිලදී ගැනීමේ වැඩසටහනක්‌ද මීට සමගාමීව ක්‍රියාත්මක විය යුතුව තිබේ. 

නුවරඑළිය මහනුවර, දිස්‌ත්‍රික්‌කවල පිහිටි ගොවිපළවල් වල සිටින උසස්‌ වර්ගයේ දෙනුන්ගෙන් පෙරවරුවේ කිරි ලීටර් 20-30 ද පස්‌වරුවේ කිරි ලීටර් 10-15 අතර ප්‍රමාණයක්‌ දොවාගනු ලැබේ. මාතලේ, කුරුණෑගල, කෑගල්ල, රත්නපුරය, ගම්පහ, මාතර, ගාල්ල, කළුතර යන දිස්‌ත්‍රික්‌කවල දෙනුන්ගෙන් පෙරවරුවේ ලීටර් 10 ක්‌ද පස්‌වරුවේ ලීටර් 5 ක්‌ද කිරි දොවා ගැනීමට හැකියාව ඇත. මෙම ප්‍රදේශවල සිටින කිරි ශීතකිරීමේ මධ්‍යස්‌ථානවලින් වාර්තාවන අන්දමට පස්‌වරුවේ ඉතා අඩු කිරි ප්‍රමාණයක්‌ එකතු වේ. සමහර ශීතකරණ මධ්‍යස්‌ථානවලට පස්‌වරුවේ කිරි නොලැබීම නිසා වසාදමා ඇත.

දිවයිනේ බොහෝ ගම්බද ප්‍රදේශවල නිෂ්පාදනය කරනු ලබන "කිරි" අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් මහත් අසීරු තත්ත්වයකට පත්වී ඇත. කිරි මිලදී ගනු ලබන ආයතන දුර බැහැර ප්‍රදේශවලට නොයැම මෙයට හේතුවී ඇත. මෙම ප්‍රදේශවල කිරි ගොවීන් ළඟට ගොස්‌ කිරි මිලදී ගැනීම ඉදිරියේදී සංවිධානය කළයුතුව ඇත. 

කිරි පිටි වෙනුවට "නැවුම් එළකිරි" සොයා ගමේ කඩමණ්‌ඩියට, නගරයේ වෙළෙඳසලට පැමිණෙන පාරිභෝගික ජනතාවට අවශ්‍ය කිරි සපයා දීමේ වගකීම වෙළෙඳ අභ්‍යන්තර කටයුතු හා පාරිභෝගික සේවා අමාත්‍යාංශයට පැවරෙන වගකීමක්‌ බැවින් දිවයින පුරා "නැවුම් එළකිරි" අලෙවි සල් සංවිධානය කළ යුතුව ඇත.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමත් සමගම රජය වාර්ෂිකව කිරිපිටි සඳහා වැය කරනු ලබන ඩොලර් මිලියන හාරසීයක (400) ක මුදල රට තුළ ඉතිරි කර ගෙන රට, කිරිවලින් ස්‌වයංපෝෂිත කළ හැකිය.

කේ. වී. සී. ධර්මවර්ධන
http://www.divaina.com/2013/11/02/feature04.html

0 comments: