Pages

Tuesday, November 12, 2013

චොගම් සමුළුවේදී යුද අපරාධ කතිකාව කරළියට ඒම

චොගම් 2013 සමුළුව ළඟාවත්ම යුද අපරාධ පිළිබඳ කතාව උත්සන්න විය. ලංකාවට යන්න එපා යෑයි කියමින් බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂයෙන් හා දෙමළ ඩයස්‌පෝරාවෙන් එල්ල වන පීඩනය හමුවේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසා ඇත්තේ ඔහු ලංකාවට පැමිණ යුද අපරාධ විමර්ශනයක අවශ්‍යතාවය අවධාරණය කරන බවයි. මේ අතරතුර එක්‌තරා ජාත්‍යන්තර මානව අයිතීන් සංවිධානයක්‌ විසින් ඉන්දීය අගමැති මන්මෝහන් සිං ද ලංකාවට පැමිණ යුද අපරාධ විමර්ශනයක්‌ ඉල්ලා සිටිය යුතු යෑයි පවසා ඇත. මේ අනුව ඇතැම් අය ලංකාවට එන්නේ යුද අපරාධ විමර්ශනයක්‌ ඉල්ලා සිටීමට මිස පොදු රාජ්‍ය මණ්‌ඩලයට අදාළ කාරණා සාකච්ඡා කිරීමට නොවේ.

නමුත් මේ යුද අපරාධ විමර්ශනය ඉල්ලා සිටින පිරිස්‌ බලාපොරොත්තු නොවන ආකාරයේ තත්ත්වයක්‌ මෙවර චොගම් සමුළුවේදී ඇතිවිය හැක. මෙවර ලංකාවට එන රාජ්‍ය නායකයන් අතුරෙන් වැඩියෙන්ම අවධානයට යොමු වන පුද්ගලයකු වන්නේ කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාය. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළාය යන චෝදනාව මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ චෝදනා ලබා සිටින එකම රාජ්‍ය නායකයා ඔහුය. ඔහු පමණක්‌ නොව ඔහුගේ උප ජනාධිපති විලියම් රූටෝ ද එම අධිකරණයේම තවත් නඩුවකට මුහුණ දී සිටී. මේ දෙදෙනාම ඒකාධිපතියන් නොව කෙන්යානු ජනතාවගේ ඡන්දයෙන් පත්වූ රාජ්‍ය නායකයන්ය.

කෙන්යානු ජනාධිපතිවරයාට හා උප ජනාධිපතිවරයාට සිදුවී ඇති මේ අසාධාරණය හමුවේ මුළු අප්‍රිකා මහද්වීපයම ගිණිගෙන ඇත. උහුරු කෙන්යාටා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනා ලැබූ දෙවැනි අප්‍රිකානු රාජ්‍ය නායකයාය. එම අධිකරණයෙන් අපරාධ චෝදනා ලැබූ පළමු අප්‍රිකානු රාජ්‍ය නායකයා වූයේ සූඩානයේ ඕමාර් අල් බෂීර් ය. නමුත් මොහු ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්‍ෂේප කළේය. එම නිසා ඒ අධිකරණය ඔහුට එරෙහිව සිරභාරයට ගැනීමේ වරෙන්තුවක්‌ නිකුත් කළේය. සියලුම ආප්‍රිකානු රටවල් නියෝජනය කරන අප්‍රිකානු සංගමය විසින් ඒ වරෙන්තුව සත පහකට ගණන් නොගන්නා මෙන් අප්‍රිකාවේ සියලුම රටවලට උපදෙස්‌ නිකුත් කොට ඇත. පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ ද වැඩියෙන්ම නියෝජනය වන්නේ මේ කුපිත වී සිටින අප්‍රිකානු මහද්වීපයේ රටවල් ය. අප්‍රිකානු රටවල් 18 ක්‌ ම පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ සිටී. මීට සති තුනකට පෙර අප්‍රිකානු සංගමය ඉතියෝපියාවේදී රැස්‌ වී කෙන්යානු ජනාධිපතිවරයාට හා උප ජනාධිපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පවරා තිබුණු නඩුව වහාම අත්හිටුවන මෙන් බලකර තිබූ අතර කෙන්යානු ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා ඒ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටිය යුතු යෑයි ද උපදෙස්‌ දී ඇත. ඒ හැරුණු විට මේ කාරණය සම්බන්ධයෙන් අප්‍රිකානු සංගමය එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක කවුන්සිලය සමග ද සාකච්ඡා කිරීමට ගිවිස ගත්තේය. චොගම් සමුළුව අවසන් වූ විගස අප්‍රිකානු සංගමය නොවැම්බර් මස අවසානයේදී නැවත වතාවක්‌ රැස්‌වී මේ ප්‍රශ්නය තව දුරටත් සාකච්ඡා කිරිමට නියමිතය.

ලංකාවේ චොගම් සමුළුව පැවැත්වෙන්නේ මෙකී අප්‍රිකානු සංගමයේ රැස්‌වීම් දෙක අතරය. මේ නිසා ලංකාවේ රැස්‌වීමේදී යුද අපරාධ පිළිබඳ මාතෘකාව මතු වුවහොත් හොඳ සෙල්ලම් ටිකක්‌ බලාගැනීමට හැකි වනු ඇත. කෙන්යාවේ ප්‍රශ්නය කුමක්‌ දැයි බිඳක්‌ විපරම් කොට බැලීම වටී. ලංකාවේ බොහෝ දෙනෙක්‌ කෙන්යාව හඳුනන්නේ අපේ රටේ තේ කර්මාන්තයට සිටින ප්‍රබලම ප්‍රතිවාදියා හැටියටය. අප්‍රිකාවේ අනෙක්‌ රටවල් හා සසඳන විට කෙන්යාවේ සෑහෙන දේශපාලන ස්‌ථාවරභාවයක්‌ තිබුණු රටකි. කෙන්යාව බ්‍රිතාන්‍යයෙන් 1964 දී නිදහස ලැබීමෙන් පසු ජෝමෝ කෙන්යාටා 1978 දක්‌වා ජනාධිපති විය. ඉන් පසුව ඩැනියල් අරප් මෝයි 1978 - 2002 දක්‌වා ද, ජනාධිපති ම්වායි කිබාකි 2002 සිට 2013 දක්‌වා ද රට පාලනය කළ අතර මෙම වසරේදී වත්මන් ජනාධිපති උහුරු කෙන්යාටා එම ධුරයට පත් විය.

1992 සිට කෙන්යාවේ බහු පක්‍ෂ දේශපාලන ක්‍රමයක්‌ බිහි වූ අතර මේ පක්‍ෂ විවිධ ජනකොටස්‌ හා ගෝත්‍ර කේන්ද්‍ර කොටගෙන ඇතිවිය. කෙන්යානු ජනතාව ගෝත්‍ර ගණනාවකින් සැදුම් ලද්දකි. විශාලම කණ්‌ඩායම වන කිකුයු ගෝත්‍රය ජනගහනයෙන් 22% ක්‌ වෙයි. දෙවනියට විශාල කණ්‌ඩායම 14% ක්‌ වන ලුහ්යා ගෝත්‍රයයි. තුන්වෙනුවට 13% ක්‌ වන ලුඕ ගෝත්‍රය ද ඉන් පසුව 12% ක්‌ වන කලෙන්ජින් ගෝත්‍රය ද 11% ක්‌ වන කම්බා ගෝත්‍රය ද 6% ක්‌ වන කිසී ගෝත්‍රය ද තවත් 6% ක්‌ වන මෙරු ගෝත්‍රය ද වන අතර තවත් විවිධ කුඩා ගෝත්‍රවලින් එහි ජනගහනයේ ඉතිරි 15% සමන්විත වේ. ඒ හැරුණු විට ඉන්දීය, යුරෝපීය හා අරාබි ජාතිකයන් ද ජනගහනයෙන් 1% ක්‌ වෙයි. මෙවැනි ජනගහන සංයුතියක්‌ ඇති රටක බලය හෙබවීම විවිධ ගෝත්‍ර අතර සිදුවන සංධාන මත පදනම් වන බව නොකිවමනාය. ඒ අනුව ජෝමෝ කෙන්යාටා කිකුයු ගෝත්‍රයට අයත් වූ අතර ඔහුගේ උප ජනාධිපතිවරයා වූ ඩැනියල් අරප් මෝයි කලෙන්ජින් ගෝත්‍රිකයකු විය. මෝයි මහතා ජනාධිපති වූ පසු ඔහු යටතේ සිටි උප ජනාධිපතිවරු කිකුයු ගෝත්‍රයට අයත් විය.

2002 දී ජනාධිපති මෝයි යටතේ කලක්‌ උප ජනාධිපතිවරයා ව සිටි කිකුයු ගෝත්‍රයට අයත් ම්වායි කිබාකි ජනාධිපති විය. මොහුගේ උප ජනාධිපති වූයේ ලුන්යා ගෝත්‍රයට අයත් මූඩි අවෝරිය. වත්මන් ජනාධිපති හා උප ජනාධිපති අමාරුවේ වැටුණේ 2007 ජනාධිපතිවරණය නිසාය. එම ජනාධිපතිවරණයේදී ම්වායි කිබාකිට එරෙහිව ඒ රටේ විපක්‍ෂ නායක ලුඕ ගෝත්‍රිකයකු වූ රයිලා ඔඩින්ගා තරග කළ අතර ජය ගත්තේ කිබාකිය. නමුත් ඔඩින්ගා පරාජය පිළිගත්තේ නැතුව අනෙක්‌ පාර්ශවය ඡන්දය ජිල්මාට්‌ එකකින් දින්නා යෑයි චෝදනා කර සිටියේය. මුළු රට පුරාම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා පැතිර ගියේය. ඉන් පසුව හිටපු එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆs අනන් මැදිහත් වී විපක්‍ෂ නායක ඔඩින්ගාට අගමැති ධුරය පිරිනමා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර කැබිනට්‌ ඇමැති ධුර බෙදා ගන්නා එකඟත්වයක්‌ ඇති කරන ලදී. 

මේ තත්ත්වය 2013 දක්‌වා පැවතියේය. මේ වසරේදී උහුරු කෙන්යාටා අගමැති රයිලා ඔඩින්ගාට එරෙහිව තරග කොට ජනාධිපති විය. ඔහුගේ උප ජනාධිපති වූයේ කලෙන්ජින් ගෝත්‍රික විලියම් රූටෝ ය. මේ දෙදෙනාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු ගොනු කොට ඇත්තේ 2007 ජනාධිපතිවරණයෙන් පසු සිදුවූ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට ඔවුන් සම්මාදම් වූවාය යන චෝදනාව මතය. 2007 දී උහුරු කෙන්යාටා ජනාධිපති ම්වායි කිබාකිට සහයෝගය දැක්‌වූ අතර විලියම් රූටෝ සිටියේ විපක්‍ෂ නායක රයිලා ඔඩින්ගාගේ පාර්ශ්වයේය. එකල මොවුන් සතුරන් වුවද අද ඔවුන් එකම පාර්ශවයේ සිටින මිතුරන්ය. මේ ඇතිවී තිබෙන සංහිදියාවටවත් ඉඩ නොතියා ජාත්‍යන්තර අපරාධ අධිකරණය මේ දෙදෙනාටම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ චෝදනා ගොනුකොට ඇත. මොවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලද්දේ 2013 ජනාධිපතිවරණයට කලින්ය. බ්‍රිතාන්‍ය හා ඇමරිකාව එම ජනාධිපතිවරණයේදී පවසා සිටියේ ඔවුන් දෙදෙනා දිනුවොත් කෙන්යාවට "ප්‍රශ්න ඇතිවීමට" ඉඩ තිබෙන බවයි. නමුත් කෙන්යානු ජනතාව පැහැදිලි බහුතරයකින් ඔවුන් දෙදෙනාව ජනාධිපති හා උප ජනාධිපති ධුරවලට පත් කළේය. එයද බටහිර රටවලට අතුල් පහරක්‌ විය.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තුන් ආකාරයකට නඩුවක්‌ ආරම්භ කළ හැක. පළමු ක්‍රමය වන්නේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක කවුන්සිලය විසින් යම් කාරණයක්‌ ඔවුන් වෙත යොමු කිරීමෙනි. දෙවැනි ක්‍රමය වන්නේ යම් සාමාජික රටක්‌ තවත් සාමාජික රටක අවධානයට යොමු විය යුතු තත්ත්වයක්‌ උද්ගතවී ඇති බව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පරිචෝදකයාට දැනුම් දීමෙනි. තුන්වන ක්‍රමය වන්නේ යම්කිසි අවධානයට යොමු වියයුතු තත්ත්වයක්‌ සාමාජික රටක පැන නැගී ඇතැයි පරිචෝදකයාට සිතෙන්නේ නම් ඔහුගේ අභිමතය පරිදි නඩුවක්‌ ආරම්භ කළ හැක. නමුත් මේ අවසන් ක්‍රම දෙකට අනුව නඩුවක්‌ ආරම්භ කිරීමට නම් අදාළ රට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය ලබා තිබිය යුතුය. ලංකාව මේ අධිකරණයේ සාමාජිකයෙක්‌ නොවන නිසා ලංකාවට එරෙහිව නඩුවක්‌ නැත. කෙන්යාව එහි සාමාජිකයෙක්‌ වූ නිසා අද කෙන්යානු ජනාධිපතිත් උප ජනාධිපතිත් දෙදෙනාම චූදිතයන් බවට පත්ව ඇත. ඔවුන් දෙදෙනාට එරෙහිව නඩු පවරා ඇත්තේ පරිචෝදකයාගේ අභිමතය පරිදිය. 

නමුත් කෙන්යාවේ අපරාධ සිදුවන බව පෙනෙන මේ පරිචෝදකයාට බටහිර රටවල් සිදුකරන අපරාධ කිසිවක්‌ පෙනෙන්නේ නැත. අප්‍රිකා සංගමය මේ අධිකරණයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට තවත් හේතුවකි එය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට දැන් කෙන්යානු පාර්ලිමේන්තුව තීන්දුකොට ඇත. නමුත් ඒ ක්‍රියාදාමයට යම් කාලයක්‌ ගතවෙයි. ඒ අතරතුර කෙන්යානු ජනාධිපතිත් උප ජනාධිපතිත් යන දෙදෙනාම චූදිතයන් වේ. පසුගියදා කෙන්යාවේ නයිරෝබි නගරයේ වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයේ සිදුවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය මුළු ලෝකයේම අවධානයට යොමු විය. ඒ ප්‍රහාරය සිදුවන අතර කෙන්යාවේ උප ජනාධිපතිවරයා සිටියේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේය. සියලුම නඩුවාරවලදී කෙන්යාවේ ජනාධිපතිවරයාත් උප ජනාධිපතිවරයාත් යන දෙදෙනාම උසාවිය ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටිය යුතු යෑයි නඩුකාර හාමුදුරුවන් තීන්දුකොට ඇත. ඒ අතරතුර කෙන්යාව පාලනය කරන්නේ කවුද යන්න ඔවුන්ට වැදගත් නොවේ.

කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටාද කොළඹ චොගම් සමුළුවට සහභාගි වනු ඇත. මේ සමුළුවේදී යුද අපරාධ පිළිබඳ කතාවක්‌ මතුවුවහොත් ඔහු සහ ඔහුගේ අප්‍රිකානු සගයන් එයට දක්‌වන ප්‍රතිචාරය කුමක්‌දැයි අපි ඉතා ඕනෑකමින් බලා සිටිමු. බටහිර ජාතීන් විසින් පවත්වාගෙන යන ජාත්‍යන්තර අපරාධ අධිකරණය කෙන්යානු ජනාධිපති හා උප ජනාධිපතිවරුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ "යුක්‌තියේ" නාමයෙනි. නමුත් මේ ආකාරයට යුක්‌තිය පසිඳලීමට ගියහොත් ගැටුම් ඇතිවී තිබෙන කිසිම රටක සාමයක්‌ නම් ඇති වන්නේ නැති බව පැහැදිලිය. බටහිර ජාතීන් මේ ආකාරයට යුක්‌තිය පසිඳලීම දඩමීමා කරගෙන කරන්නේ ලෝකයේ විවිධ රටවල ඇතිවී තිබෙන සාමය කඩාකප්පල් කිරීමය. මොවුන් ලංකාවේ කිරීමට උත්සාහ කරන්නේද ඒ ටිකමය.

දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා හා අගරදගුරු ඩෙස්‌මන්ඩ් ටුටු යනු ලෝක පූජිත ජන නායකයන් දෙදෙනකි. එරටේ සුදු ජාතිකයන් හා කලු ජාතිකයන් අතර දශක ගණනාවක්‌ පුරා පැවැති වෛරයෙන් හා ක්‍රෝධයෙන් පිරුණු සිවිල් යුද තත්ත්වය අවසන්කොට ඒ රටේ කලු ජාතික බහුතරය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්‌ ස්‌ථාපිත කරන ලද්දේ ඔවුන් දෙදෙනාය. නමුත් 2002 දී ඇතිකරන ලද මේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයත්, 2005 දී ඇතිකරන ලද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත්, බටහිර ජාතීන්ට අද වැළඳී තිබෙන "වගවීම" (අකවුන්ටබිලිටි) පිළිබඳ වලිප්පුවත් 1995 දී නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ මේ විපර්යාසය කරන වකවානුවේ තිබුණේ නම් ඔහුට කිසිදාක දකුණු අප්‍රිකාවේ සාමයක්‌ ඇති කිරීමට හැකිවන්නේ නැත.

නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති වීමෙන් පසු ඩෙස්‌මන්ඩ් ටුටු අගරදගුරුවරයාට සත්‍ය හා සමාදානය පිළිබඳ කොමිසමේ ප්‍රධානියා හැටියට පත්කරන ලදී. එම කොමිසම ක්‍රියාත්මක වූයේ දකුණු අප්‍රිකාවේ 1995 අංක 34 දරන ජාතික සමගිය හා සමාදානය වර්ධනය කිරීමේ පනත යටතේය. ඒ රටේ සිදු ජාතිකයන් හා කලු ජාතිකයන් අතර දශක ගණනාවක්‌ පැවැති වෛරය හා ක්‍රෝධය අවසන්කොට අලුත් ජාතියක්‌ හැටියට ඉදිරියට යැමට ගත් ක්‍රියා මාර්ගය වූයේ සිවිල් යුද තත්ත්වය පැවැති සමයේ ගැටුමේ පාර්ශ්වකරුවන් එකිනෙකාට එරෙහිව කරන ලද සියලුම අපරාධ හා කෲරකම්වලට සමාව දී අලුත් ආරම්භයකට මුලපිරීමයි. ගැටුමේ පාර්ශ්වකරුවන් යුද්ධය අතරතුර කළ දේවල් එළිවී තිබේ නම්, නැති නම් එළිවීමට අවදානමක්‌ තිබේ නම් ඔවුන්ට සත්‍ය හා සමාදානය පිළිබඳ කොමිසම ඉදිරියට පැමිණ තමන් කළ වරද පිළිගෙන සමාව ලබා ගැනීමට හැකියාව තිබිණි. කවුරුන් හෝ කළ වරදක්‌ එළිවී නැත්නම් එයට ඒ තිබුණු ආකාරයටම යට යැමට ඔවුන් ඉඩ හැරියේය. 

යම්කිසි වරදක්‌ සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටි අයට ද සත්‍ය හා සමාදානය පිළිබඳ කොමිසම ඉදිරියට පැමිණ සමාව ලබා නිදහස්‌ වී යැමට හැකි විය. මේ ආකාරයට සමාව ලැබීමෙන් පසු මොවුන් අපරාධකාරයන් බවට තිබුණු සියලු වාර්තා නිශ්ප්‍රභා කොට අපරාධයක්‌ සිදු නොවුනා සේ සලකන ලදී. මේ සමාව දෙන ලද්දේ දේශපාලන ගැටුම්වලට සම්බන්ධ වූවන්ට මිස සාමාන්‍ය අපරාධකාරයන්ට නොවන බව ද සැලකිය යුතුය. මේ ආකාරයට දෙපාර්ශ්වයේම වැරදිකරුවන්ට සමාව දීම ගැන යම් යම් අයගේ විවේචනයට ලක්‌වුවද අගරදගුරු ඩෙස්‌මන්ඩ් ටුටු පෙන්වා දුන්නේ යුක්‌තිය යනු සිදුවූ වරදකට පළිගැනීමම පමණක්‌ නොවන බවයි. ඇතැම් අවස්‌ථාවල යුක්‌තිය ඉටුවන්නේ ක්‍රෝධය හා වෛරය පිටුදැක සමාජය "සුව කිරීමෙන්" බව ඔහු පෙන්වා දුන්නේය. මේ ආකාරයට දිගින් දිගටම කෝන්තර පවත්වා ගන්නේa නැතුව සියලු වැරදිවලට සමාව දී අලුත් ආරම්භයකට මුල පිරුවේ නැත්නම් දකුණු අප්‍රිකාවත් "ශ්‍රී ලංකාවක්‌" වනු ඇතැයි ද ඩෙස්‌මන්ඩ් ටුටු අගරදගුරුතුමා සත්‍ය හා සමාදානය කොමිසම පිළිබඳ ඔහුගේ වාර්තාවේ සඳහන්කොට ඇත.

අද ලංකාවේ අපිද සිවිල් යුද්ධය අවසන්කර සියලුම ත්‍රස්‌තවාදී සැකකරුවන්ට සමාව දී අලුත් ආරම්භයකට මුලපිරීමට උත්සාහ දරමු. නමුත් හැම තැනකදීම මේ රටට එල්ල වන්නේ බාධාය. කොටින්ට සමාව දීමට කවුරුන් පක්‍ෂ වුවත් රණවිරුවන්ට "සමාව දීමට" කිසිවෙකු කැමැති නැත. ත්‍රස්‌තවාදය මර්දනය කිරීම කිසිවකුගෙන් සමාව ගත යුතු වරදක්‌ නොවන බව ද නොකිවමනාය. ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව දිනපු නිසා ඔවුන් දඬුවම් විඳිය යුතුය යන ස්‌ථාවරයේ බටහිර ජාතීන් සිටී. මේ චොගම් සමුළුව බටහිර ජාතීන්ගේ මේ ක්‍රියා කලාපයට එරෙහිව යුද්ධයේ සමාරම්භක අවස්‌ථාවක්‌ බවට පත්විය යුතුය.

වම් ඉවුර - සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2013/11/11/feature01.html

0 comments: