Pages

Tuesday, November 12, 2013

මත්තල ගුවන් තොටුපළ සහ දක්‍ෂිණ අධිවේගී මාර්ගය කේන්ද්‍ර කරගත් සුපිරි සංචාරක හෝටලයක්‌

මත්තල මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ දක්‍ෂිණ අධිවේගී මාර්ගය කේන්ද්‍ර කොටගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ව්‍යාපාර ආකෘතිය වශයෙන් අහුන්ගල්ල වෙරළ තීරයේ සුපිරි සංචාරක හෝටලයක්‌ ඉදිකිරීමට එයිට්‌කන් ස්‌පෙන්ස්‌ සමාගම සැලසුම් කොට ඇත. ඇමරිකානු ඩොලර් මිලියන 100 ක මුදලක්‌ මේ සඳහා ආයෝජනය කිරීමට නියමිතය.

කාමර 500 කින් සහ මහල් පහකින් යුතු මෙම තරු පහේ දැවැන්ත හෝටල් සංකීර්ණය කළමනාකරණය කිරීම සඳහා ස්‌පාඤ්ඤය කේන්ද්‍ර කර ගත් ජාත්‍යන්තර හෝටල් ජාලයක්‌ වන රියූ හෝටල් සමාගම සම්බන්ධ වනු ඇත. එය මෙම සමාගම ආසියානු පැසිෆික්‌ කලාපයේ මෙහෙයුමක්‌ සඳහා සම්බන්ධ වන ප්‍රථම අවස්‌ථාවයි.

මෙම හෝටල් සංකීර්ණය ඉදිකිරීම කාලෝචිත ප්‍රයත්නයක්‌ බවත් දක්‍ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට තෙක්‌ දිගු කිරීමේ ව්‍යාපෘතිය සම්පූර්ණ කෙරෙන විට එයට සමගාමීව මෙම හෝටල් සංකීර්ණය ඉදිකෙරෙනු ඇති බවත් මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් එයිට්‌කන් ස්‌පෙන්ස්‌ සමාගමේ නියෝජ්‍ය සභාපති රාජන් බ්‍රිටෝ මහතා පැවසුවේය. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැවතීම මෙම ව්‍යාපෘතියට විශේෂ සවියක්‌ වනු ඇති බව පැවසූ බ්‍රිටෝ මහතා රජයේ සංවර්ධන සැලසුම් කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කරන බවද සඳහන් කළේය.

රජයේ සංවර්ධන සැලසුම්වලට සමගාමීව තම ව්‍යාපාර ආකෘති සකසා ගැනීමට පෞද්ගලික අංශය උත්සුක වී ක්‍රියා කළ යුතු බව ද බ්‍රිටෝ මහතා ප්‍රකාශ කළේය.

http://www.divaina.com/2013/11/11/velanda03.html

0 comments: