Pages

Sunday, November 17, 2013

අපලය සිරිකොතේද...? එජාප අර්බුදයට එහි මූලස්‌ථානයත් හේතුවක්‌ලු...

වසර ගණනාවක්‌ තිස්‌සේ එක්‌සත් ජාතික පක්‍ෂය මුහුණපා තිබෙන කල්ලිවාදයට සහ පිරිහීමට මුල්ම හේතුව 'සිරිකොත' ගොඩනැඟිල්ල බව පක්‍ෂයේ වගකිවයුතු බොහෝ දෙනකුට දැන් පෙනී ගොස්‌ ඇත.

සිරිකොත පිහිටි කෝට්‌ටේ රාජධානියට අයත් මෙම ඉඩමේ සොහොන්කොතක්‌ පිහිටා ඇති බවටද කතාවක්‌ පැතිර ඇතත් එය සනාථ කිරීමට පවා කිසිම සාධකයක්‌ නැතැයි මේ පිළිබඳ පක්‍ෂයේ ප්‍රබලයකු ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙතෙම කියා සිටියේය.

එ.ජා. පක්‍ෂයේ ප්‍රබලයන් දෙදෙනකු වන එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතාත්, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාත් මේ පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහයට අදහස්‌ දැක්‌වූයේ මෙසේය.

මෙම ඉඩමේ කිසියම් දොෂයක්‌ ඇතැයි සිතා අපි විවිධ දේවල් කෙරුවා. ඒත් ඵලක්‌ වුණේ නැහැ. මීට කලින් මේ ඉඩමේ තිබූ පාළු ළිං දෙකක්‌ ගොඩනැඟිල්ලට හොඳ නැහැ කියලා වහල දැම්මා. ඒත් ප්‍රශ්නය විසඳුණේ නැහැ. ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු එසේ කියා සිටියේය.

'දිවයින' පත්‍රය මේ පිළිබඳව අපෙන් ප්‍රශ්න කිරීම ඉතා වැදගත්. දැන් කාට කාටත් පක්‍ෂය මෙම තත්ත්වයට වැටෙන්නට හේතුව එක එකාට වැරදි පෙන්නලා ඇඟිල්ල දික්‌කරන එක නෙමේ. මෙම සිරිකොත ගොඩනැඟිල්ලේ තිබෙන බවට සැකකරන දෝෂයට පිළියමක්‌ කරන එකයි.

ජයවික්‍රම පෙරේරා මහතා එසේ කීවේය.

බොහෝ දෙනකු මෙම මතය ප්‍රතික්‍ෂේප කරන්න පුළුවන්. ඈත අතීතයේ සිට තිබෙන නැකැත් සාස්‌තරේ බොරුවක්‌ කියලා හිතන්න බැහැ.

ජයවික්‍රම පෙරේරා මහතා මේ පිළිබඳව ඉතා සෘජුව කියා සිටියේ සිරිකොත ගොඩනැඟිල්ල පිහිටා තිබෙන ස්‌ථානය අනුව ගොඩනැඟිල්ලේ මුල් කොටස ප්‍රධාන පාරට ඉහළින් පිහිටියත් ගොඩනැඟිල්ලේ පිටුපස කොටස ක්‍රමයෙන් පහළට බැසයන ක්‍රමයට තනා තිබෙන බවය. මෙය වාස්‌තු විද්‍යාව අනුව එතරම් සුබදායක නොවන බව මගේ මතයයි. මම මේ ගොඩනැඟිල්ල වහාම මාරුකළ යුතුයි කියා ළඟදීම රැස්‌වෙන නායකත්ව මණ්‌ඩලයට යොමු කරනවා. මගේ මතය පක්‍ෂයේ බොහෝදෙනකු අනුමත කරනවා. 'සිරිකොත' ගොඩනැඟිල්ල මාරුකළ දවසක එදාට දිවයින පත්‍රය මේ ගැන මුලින්ම හෙලි කිරීම ගැන අපි ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

ඡේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා එතුමාගේ උපන් දිනය නිමිත්තෙන් මේ සිරිකොත ගොඩනැඟිල්ලට එදා මුල්ගල තිබ්බා. මා දන්නා තරමට එදා නැකතක්‌ තිබුණේ නැහැලු.

මේ අතර සිරිකොත ගොඩනැඟිල්ල කෝට්‌ටේ ආරම්භ කළ දවසේ සිට එක්‌සත් ජාතික පක්‍ෂය මුහුණ පෑ අත්දැකීම් අති විශාලය.

පක්‍ෂයේ මහලේකම්වරුන් වශයෙන් ක්‍රියා කළ ගාමිණී අතුකෝරල, නන්දලාල් ප්‍රනාන්දු, හර්ෂ අබේවික්‍රම, ගාමිණී විඡේසේකර, රන්ජන් විඡේරත්න මහත්වරුන්ට අත්වූ ඉරණම ගැන මතකයට නැංවිය යුතුය.

එජාපයේ ප්‍රබල චරිත වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක යන මහත්වරුන් මෙන්ම හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අතර මත ගැටුම් ඇතිවී එජාපයේ මුලින්ම කල්ලිවාදයක්‌ ගොඩනැගුණි. ඔවුන් තිදෙනාම අද ජීවතුන් අතර නැත. තත්ත්වය මෙසේ තිබියදී එජාපයේ ප්‍රබල සාමාජිකයකු වන රියෙන්සි පෙරේරා මහතා පක්‍ෂය වෙනුවෙන් සිරුරට භූමිතෙල් වත්කරගෙන සිරිකොත ඉදිරිපිට ගිනිතබා ගත්තේය.

සිරිකොත කොල්ලුපිටියේ මූලිකව පිහිටා තිබූ අවධියේදීත්, සිරිකොත කෝට්‌ටෙට රැගෙන ගිය කාලය තුළත් අතර එජාපයේ පවතින තත්ත්වය තව තවත් පැහැදිලිව තේරුම් යනු ඇත.

එජාපයේ කල්ලිවාදය දිගින් දිගටම පැතිරී ගියේය. සිරිකොත ගොඩනැඟිල්ලේ ඇතුළත කොටස පහළට බැස යන ආකාරයෙන්ම එජාපය දිගින් දිගටම බැසයන බව පක්‍ෂයේම ප්‍රබලයෝ දැන් විශ්වාස කරති. පක්‍ෂ නායකත්වයට එරෙහිව දිගට හරහට ගල් මුගුරු එල්ල වෙයි. එජාපයේ වූ සාමාජිකයෝ බුරුතු පිටින් පක්‍ෂය මාරුකරති. කැපුවත් ලේ කොළ පාටයි කියමින් උද්ඝෝෂණය කළ යූ.ඇන්.පී කාරයෝ වැඩි දෙනකු දැන් කැපුවත් නිල් කියමින් විපක්‍ෂයට එරෙහිව කෑමොර ගසති.

රටේ පිළිගත යුතු විපක්‍ෂය (එජාපය) කල්ලිවාදය මුල්කරගෙන ඇනකොටා ගනිද්දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය ගමන ඒ ආකාරයෙන්ම ඉදිරියට යයි.

රටේ විදුලි බිල ගෑස්‌ මිල ඇතුළු විවිධ ආර්ථික අමාරුකම්වලට ජනතාව මුහුදුන්නත් විපක්‍ෂය ඊයේ පෙරේදා වනතුරුත් ජනතාව වෙනුවෙන් හරිහැටි හඬක්‌ නගන්නේ නැත.

ඔවුන් සියල්ලටම දැන් ප්‍රශ්නය වී ඇත්තේ තම තමන්ගේ පක්‍ෂ තුළ හටගෙන ඇති අර්බුදයන් විස¹ ගැනීමට ක්‍රියා කිරීමය. ඊයේ පෙරේදා දවසකද සිරිකොත කාර්යාලය ඉදිරිපිට පක්‍ෂයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව උද්ඝෝෂණයක්‌ ක්‍රියාත්මක විය.

රටේ ජනතාව වෙනුවෙන් ඉඳහිට උද්ඝෝෂණයක්‌ පවත්වා පුවත්පත් නිවේදන නිකුත් කරමින් ප්‍රවෘත්ති සාකච්ඡාවලට පමණක්‌ සීමාකරගෙන ඊනියා ප්‍රසිද්ධියක්‌ ලබන විපක්‍ෂය විදුලි බිල ඉහළ දැමීම පිළිබඳව කියා සිටියේ විදුලියට එරෙහිව නඩු මගට යන බව පැවසූ නමුත් ඉන් එහාට තොරතුරක්‌ නැත. මෙවැනි නඩු මාර්ග කීපයකට යන බව ජනතාවට ප්‍රශ්න ඇති වන මොහොතේ විපක්‍ෂය ප්‍රවෘත්ති සාකච්ඡාවල වරින්වර කියා සිටියත් එය ඒ මොහොතේ යොදා ගන්නා ප්‍රකාශයක්‌ පමණක්‌ වී ඇත.

මේ සෑම දෙයකටම මුල් හේතුව සිරිකොත ගොඩනැඟිල්ලේ නැකැත් දොaෂ යෑයිද ජනතාවට දැන් ප්‍රශ්නයක්‌ වී ඇත. සිරිකොත ගොඩනැඟිල්ල වෙනත් ස්‌ථානයක රැගෙන ගියොත් ළඟදීම එජාපය වඩාත් ප්‍රබල වෙනු ඇත.

මේ අතර පසුගිය සතියේ බ්‍රහස්‌පතින්දා සිරිකොත තුළ පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශනයක්‌ මුල්කරගෙන ඊට බලවත් අප්‍රසාදයක්‌ ගොඩනැගුණු නොසන්සුන් වූ බොදුබල සේනාව සිරිකොතට ඇතුල් වීම නිසා එදින යුද පිටියක්‌ බවට පත්විය. සිරිකොත කාගෙ කාගේත් කතා බහට ලක්‌විය. ඉතා ඉක්‌මනින් සිරිකොතට මාරුවීමක්‌ සිදුවෙනු ඇත.

එය රජයට විශාල අභියෝගයක්‌ වනු ඇත. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය ජනතාව වෙනුවෙන් මීට වඩා දැඩි සැලකිල්ලෙන් අවබෝධයෙන් යුතුව සේවය කළ යුතුය. සිරිකොත ගොඩනැඟිල්ල හොඳ නැකතක්‌ බලා වෙනත් ස්‌ථානයකට මාරුකරගෙන යන තෙක්‌ පක්‍ෂයේ වැඩිදෙනකු පෙරමග බලා සිටිනා එජාපයට කුමක්‌වේදැයි තීරණය ඔබ සතුය.

නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/11/17/politics06.html

0 comments: