Pages

Saturday, November 16, 2013

පොදුරාජ්‍ය මණ්‌ඩලීය සමුළුවේ අස්‌වැන්න නෙළාගැනීම!

දහ නව වන සියවසේදී බීජය රෝපණය කෙරී ක්‍රමිකව වර්ධනය වෙමින්, විවිධ නාමකරණයන්ට ලක්‌වෙමින් පැමිණ 1971 දී පොදුරාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුව යන ස්‌ථාවර නාමකරණයටත්, ලොව පිළිගත් ජගත් සමුළුවක්‌ බවටත් මෙම සමුළුව පත්වනුයේ ලෝක ජනගහනයෙන් 1/3 ක්‌ හා භූමි ප්‍රමාණයෙන් 1/4 ක ප්‍රමාණයක්‌ අයත් වන රටවල් 53 කින් සුසැදී, විවිධ ජනවර්ගයන්ගෙන් හා භාෂාවන්ගෙන් මෙන් ම ආගම්වලින් ද මහාද්වීප පහක විවිධාකාර සංස්‌කෘතීන් ගෙන් ද අලංකෘත වූ සුවිශේෂ සමුළුවක්‌ වශයෙනි.

මානව ඉතිහාසයේ බිහි වූ දේශ ගවේශකයින් අති බහුතරයකගේ විශේෂ අවධානයට පාත්‍ර වූ අපගේ මාතෘභූමිය ආදම්ගේ උයනට සමාන කළ බටහිර පඬිවරයින්ගෙන් ද අඩුවක්‌ නැත.

මානව ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම මනුෂ්‍යයා වන ගෞතම බුදුන්වහන්සේ පවා තෙවරක්‌ ම වැඩි මේ කුඩා දිවයින මානව ශිෂ්ටාචාරයේ මහා ශිෂටාචාර මෙලොවින් අතුරුදන් වෙද්දීත් මේ දක්‌වා ජගත් රඟමඞලේ කැපී පෙනෙන රාජ්‍යයක්‌, ශිෂ්ටාචාරයක්‌ ලෙසින් පැවැතීමත් කැපී පෙනෙන කාරණයකි. ගහ කොළ, සතා සිව්පාවා ඇතුළු මුළුමහත් සොබාදහමට ම ආදරය කිරීමට ඉගැන්වූ බුදුදහමෙන් පෝෂණය කෙරුණු බෞද්ධ ශිෂ්ටාචාරයෙන් ශික්‍ෂණය ලැබ, මානව ඉතිහාසයේ කැපී පෙනෙන ජාතියක්‌ බවට පත් වූ ශ්‍රී ලාංකිකයා සතු මේ සුවිශේෂ මාතෘභූමිය සොබාදහම මගින් ලබාදී ඇති අමිල දායාද තුළින් පෘථිවි ගෝලය කුඩා කර නිමැවූ පුංචි දිවයිනක්‌ හෝ භූමියක්‌ බඳු වේ. සොබාදහම නිමවා ඇති හිම හා ගිනිකඳු හැර අනෙකුත් සෑම සියලු භූගෝලීය, දේශගුණික, පාරිසරික ලක්‍ෂණයන්ගෙන් සුසැදී මෙවන් භූමියක්‌ ලොව තවත් ඇත්දැයි සැක සහිතය. බොහෝ මහාද්වීප තුළවත් මෙහිදී දැකගත හැකි සවභාවික උරුමයන් දැකගන්නට නැති බවට යුරෝපා, උතුරු දකුණු ඇමෙරිකා හා ඕස්‌ට්‌්‍රලියා මහාද්වීප සාක්‍ෂි දරති. 

මේ සා කුඩා දිවයිනක්‌ තුළ ගොඩබිම වසන ලොකුම සත්වයා වන අලියාත්, මිනිසාත් වසර දහස්‌ ගණනක්‌ මුළුල්ලේ ගැටුමකින් තොරව දිවි ගෙවීම පවා ලොව මවිත කරවන සුළුය. නූතන ලෝකයේ සංචාරකයින්ගේ වැඩිම අවධානයක්‌ යොමු වී ඇති සුවිශේෂ ක්‍ෂේත්‍ර වන යහපත් හිරු එළිය, මනරම් වෙරළ තීර, පුරා විද්‍යාත්මක ස්‌ථාන, දේශගුණික, පාරිසරික වෙනස්‌කම් විඳීම, මැණික්‌, පාරම්පරික කලා ශිල්ප, ථේරවාදී බුදුදහම හා භාවනා විධික්‍රම, සුවිශේෂ සංස්‌කෘතික අංග, ශික්‍ෂාකාමී සමාජ යන මේවා සියල්ලම ඉතාමත් කෙටි කාල පරාසයක්‌ හා කුඩා භූමියක්‌ තුළ දැක ගැනීමේ හා අත්විඳිමේ භාග්‍යය ඕනෑම සංචාරකයකුට උරුමකර ගත හැකි පෘථිවි ගෝලයේ සුවිශේෂතම භූමිය අපගේ මාතෘභූමිය බවට බලවත් අභිමානයෙන් හා ඉමහත් සොම්නසින් යුතුව අවධාරණය කිරීමේ භාග්‍යය අපට උරුම වී තිබේ. 

එහෙත් මේ සුවිශේෂ භාග්‍යය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුම්වත් කිරීමට අපගේ වැනි කුඩා දිවයිනකට ලැබෙන අවස්‌ථා විරලය. 1971 දී ශ්‍රී ලංකාවේ පැවැති නොබැඳි ජාතීන්ගේ සිව්වෙනි මහා සමුළුව එවන් වූ දුලභ අවස්‌ථාවක්‌ වුව ද ඒ වන විට නූතනයේ මෙන් තොරතුරු තාක්‍ෂණය දියුණුව නොතිබීම කරණකොට ගෙන එම සුවිශේෂ අවස්‌ථාවෙන් උපරිම ප්‍රතිලාභ නෙලා ගැනීමේ භාග්‍යය අපට අහිමි වූ බව රහසක්‌ නොවේ. 

එහෙත් ලංකාව යනු ඉන්දියාවේ ප්‍රාන්තයක්‌, හෝ ලිප්ටන්ගේ තේවත්ත ලෙසින් සිතූ ලෝකයක්‌ තුළ එම මත කිසියම් හෝ දුරකට බිඳ දමමින් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයට, මැණික්‌ කර්මාන්තයට කුළුබඩු කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට ශක්‌තියක්‌ ලබා ගැනීමටත්, මැද පෙරදිග ශ්‍රම වෙළෙඳපලට ඇතුළුවීමටත් ලැබීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපයීම ක්‍ෂේත්‍ර වර්ධනය කර ගැනීමට එම සමුළුව විශාල රුකුලක්‌, පිටිවහලක්‌ ලබාදුන් බව තර්කානුකූල සත්‍යයකි. 

මේසා සුවිශාල වියදමක්‌ දරා පොදුරාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව පවත්වන්නේ ඇයි දැයි ප්‍රශ්න කරන, මෙය හුදු සැනකෙළියක්‌ බවට චෝදනා කරන අය දෙස බැලීමේදී විමතියට හෝ කෝපයට පත් නොවිය යුතු වන්නේ එදා 1976 දීත් එවක විපක්‍ෂය ගරු සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිතුමියටත් චෝදනා කළේ ද ඇයට නොබැඳි සමුළුවේ සභාපති ධුරය හෝ නායකවය ලබා ගැනීමට මුළු රටම ණය කරන බව අවධාරණය කරමිනි. විශේෂයෙන් එවක විපක්‍ෂනායකව සිටි බුද්ධිමතෙකු වූ ෙ-. ආර්. ජයවර්ධන මහතාගේ බාල බොළඳ චෝදනා එවක කැපී පෙනුණි.

වසර 04 කට වරක්‌ බැගින් පවත්වන නොබැඳි රාජ්‍යනායක සමුළුව 1976 දී පවත්වා එහි සභාපති ධුරයට පත් වූ සිරිමාවෝ මැතිණියගේ ආණ්‌ඩුව 1977 දී පරාජයට පත්වීමෙන් පසුව ඉතිරි වර්ෂ තුන (03) තුළදීම නොබැදි නායක සමුළුවේ සභාපති ධුරය හෙබ වූයේ 1976 දී එය දැඩිව විවේචනය කළ ෙ-. ආර්. ජයවර්ධනයන්ම වීමත් දෛවෝපගත සිද්ධියකි.

වර්තමානයේදීත් ජාතික ඇසකින්, මනසකින් මෙය දෙස නොබලා සෑම දෙයකදී සේම පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව දෙසත් පාට කණ්‌නාඩි තුළින් බැලීමට පෙළඹී සිටින විපක්‍ෂය, තොරතුරු තාක්‍ෂණය ඉතා ඉහළ අගයකට වර්ධනය වී තිබෙන මෙවැනි යුගයකදී, මෙම සමුළුව හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන මෙතුවක්‌ ලංකාව සමග සමීප සබඳතා නැති රටවල් විශාල සංඛ්‍යාවකට අපගේ මාතෘභූමිය පිළිබඳ යහපත් චිත්‍රයක්‌, අවබෝධයක්‌, දැනුමක්‌ ලබාදීමේ කදිම අවස්‌ථාවක්‌ අපට උදාවන බවවත් සිතිය යුතුය. 

ව්‍යාපාරික ආයෝජකයන් 1450 කට අධික පිරිසක්‌ මෙයට සමගාමීව අපේ රටට ළඟාවීමත්, ලොවපුරා ක්‍රියාත්මක බහුතරයක්‌ සන්නිවේදන මාධ්‍ය ජාල වලින් තවත් සියගණනක්‌ මාධ්‍යවේදීන් මෙරටට පැමිණෙන බවත් අප අමතක නොකළ යුතුය.

සංචාරක කර්මාන්තයට වැඩි බරක්‌ තබා ඉදිරියට යාමට සැලසුම් කරන අපේ රටට මෙමගින් උදාවන ස්‌වර්ණමය අවස්‌ථාව මිල කළ නොහැකිය. පෘථිවි ගෝලය කුඩා කර නිමැවූ මේ සුවිශේෂී වූත්, අසිරිමත් වූත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය දැක බලා ගැනීමේ, විඳ ගැනීමේ අවස්‌ථාව ලොව රටවල් 53 ක ජන කණ්‌ඩායම්වලට ලැබීම ම අපතේ යන වියදමක්‌ හෝ නාස්‌තියක්‌ ලෙසට චෝදනා කළ හැක්‌කේ, අර්ථ ගැන්විය හැක්‌කේ සිහිබුද්ධිය තබා. හොඳනරකවත් තේරුම් ගැනීමට නොහැකි පුද්ගලයකුට ම පමණි. 

අප්‍රිකා මහාද්ධීපයේ උස්‌ කඳුකරයක අත්දැකීම් විඳ ගැනීමට සැතපුම් දහස්‌ ගණනක දුරක්‌ ගෙවා මධ්‍යම අප්‍රිකාවේ ක්‌ලිමන්ජාරෝ කඳුවැටිය කරා යා යුතුය. එමෙන්ම මානව සමාජයේ පැරණි ශිෂ්ටාචාරයක පුරාවස්‌තු දැක ගැනීමටත් සැතපුම් දහස්‌ ගණනක්‌ ගෙවමින් ඊජිප්තුවට යා යුතු ය. අපේ රටේ පවත්නා සත්ව හා ශාක විවිධත්වය දැක ගැනීමට, විඳ ගැනීමට මුළු මහත් යුරෝපයේ හෝ උතුරු දකුණු අමෙරිකානු මහාද්වීප දෙකෙහිම සැරිසැරුවත් හැකිවන්නේ නැති බව නිසැකය. 

වත්මන් ලෝකය පමණක්‌ නොව පුරාණ ලෝකයත් මවිතයට පත් කළ අපගේ සුවිශේෂ වාරි කර්මාන්තය දැක ගැනීමට, අත්විඳ ගැනීමට හැකි භූමියක්‌ පෘථිවි තලය තුළ තවත් ඇත්දැයි සිතන්න. මේ සියළු දෑ පාථිවි ගෝලයෙන් 1/3 ක භූමියක්‌ නියෝජනය කරමින් මෙරටට ළඟා වන මාද්‍යවේදීන් ගෙන් අපට ලබාගත හැකි විපුල ඵල ගැන සිතන්න.

මෙවන් සංග්‍රහශීලී, ආගන්තුක සත්කාරය උරුම කොටගත් ජනතාවක්‌ ලොව ඇත්නම් ඒ ඉතාමත් අල්ප වශයෙනි. 

1975 දී ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් දණගස්‌වා යුද්ධය ජයගත් වියට්‌නාම් ජනතාවට සංවර්ධන මාවතට සිය රට යෙමු කර ගැනීමට වසර 25 ක්‌ ගත වූ බව ප්‍රකටය. යුද්ධය ජයගත් කාම්බෝජ, ලාඕසය ජනතාවටඒ සඳහා දශක තුනකට වැඩි කාලයක්‌ ගත වී ඇතත් රට සංවර්ධන මාවතට යොමු කර ගැනීමට තවමත් අසමත් වී ඇත. මොසැම්බික්‌, ඇංගෝලා, සිම්බාබ්වේ වැනි ස්‌වභාවික සම්පත් අනූන රාජ්‍යයන්ට පවා පැවැති තත්ත්වයවත් රැක ගැනීමට තවමත් අසමත් වී ඇත.

එහෙත් ශ්‍රී ලංකාවේ ජනතාව තිස්‌ අවුරුදු යුද්ධය නිමා කොට වසර 04 ක්‌ තුළ ලබා ඇති ප්‍රගතිය කෙතරම් දැයි කුහක නොවන, පාට කණ්‌ණාඩියෙන් නොබලන ඕනෑම පුද්ගලයකුට අවබෝධ කර ගත හැක. 

අපේ රටේ පවත්නා ශ්‍රම සම්පතේ වටිනාකම, ශක්‌තිය තේරුම් ගැනීමට එය මෙන් ම 43000 ජීවිත උදුරාගත් 2004 සුනාමිය හා ඉන් ගොඩ ඒමට ගත කළ සීමිත කාලය පවා කදිම අත්දැකීම් ය. එමගින් අපගේ ශ්‍රම සම්පතට වටිනාකමක්‌ ලෝකයෙන් 1/3 ක භූමියක්‌ නියෝජනය කරන පොදුරාජ්‍ය මණ්‌ඩලයීය නියෝජිතයින්ගෙන් ලැබීමත් අපගේ විදේශ රැකියා ක්‍ෂේත්‍රයට විපුල ඵල ලබා දෙන අවස්‌ථාවක්‌ නොවන්නේද?

අපගේ මැණික්‌ හා ස්‌වර්ණාභරණ ක්‍ෂේත්‍රය පිළිබඳව, අත්කම් පිළිබඳව, පලිතුරු හා මල් පිළිබඳව මෙමගින් ලබා ගන්නා අවබෝධය පෙරලා විදේශ විනිමය බවට පරිවර්තනය නොවන්නේද? ජාත්‍යන්තර සමුළුවක්‌ යනු ප්‍රවේශපත් විකුණා පවත්වන නාට්‍ය දර්ශනයක්‌, චිත්‍රපට දර්ශනයක්‌, සර්කස්‌ දර්ශනයක්‌ නම් නොවන්නේය. මෙවන් ජාත්‍යන්තර සමුළු යනු දිගුකාලීන ආයෝජනයකි. එයට 1976 නොබැඳි සමුළුව පවා සාක්‍ෂි දරයි. දිගුකාලීන ආයෝජනයක ප්‍රතිලාභ අඛණ්‌ඩව ක්‍රියාවලියක්‌ බඳු වේ. 

මෙහිදී නගර අලංකරණය උදෙසා, යටිතල සංවර්ධනය උදෙසා වැය කළ මුදල් රටට සෘජු ප්‍රතිලාභයකි. සංචාරක කර්මාන්තයට මහඟු පිටු බලයකි. ජනතාව ලබන ප්‍රතිලාභයකි. 

අපගේ අපනයන වෙළෙඳපල පුළුල්වීම, ශ්‍රම වෙළෙඳපල පුළුල්වීම, සංචාරක ව්‍යාපාරය පුළුල්වීම, ආයෝජන වර්ධන වීම මගින් කෙටි කාලීනවත්, දිගුකාලීනවත් අපගේ මාතෘභූමියට අත්වන ප්‍රතිලාභ ගණනය කිරීමට සිදු වනුයේ ඩොලර් බිලියන ගණන් වලිනි. එහෙත් වියදම ඇ.ඩොලර් මිලියන කීපයකට පමණක්‌ සීමා වනු නියතය. 

අති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමි, දේශමාමක ජාතික බලවේගය
http://www.divaina.com/2013/11/16/feature01.html

0 comments: