Pages

Sunday, November 17, 2013

චාල්ස්‌ කුමාරයා නැවතුන බණ්‌ඩාරනායක මහ ගෙදර

චෝගම් සඳහා ප්‍රධාන ආරාධිතයාලෙස පැමිණි චාල්ස්‌ කුමරු සිය නවාතැන වශයෙන් තෝරා ගෙන තිබූ, ටින්ටගල් බුටික්‌ හෝටලයේ හිමිකරු වන්නේ උදයශාන්ත් ජයන්ත ප්‍රනාන්දු ය. 1949 වසරේදී කොළඹදී උපන් ඔහු සිය පාසල් අධ්‍යාපනය හැදැරුවේ ගල්කිස්‌ස ශාන්ත තෝමස්‌ විදුහලෙනි. වයස අවුරුදු දහනවයේදී යුරෝපයේ සංචාරය කළ උදයශාන්ත් නෙදර් ලන්තයේ ඇම්ස්‌ට්‍රඩෑම් හි මාස්‌ට්‍රීච් හෝටල් පාසලෙන් හෝටල් පිළිබඳව විධිමත් හැදැරීමක්‌ සිදු කළේය. හෝටල් පිළිබඳ ඉගෙනුමට අමතරව ලන්දේසි බස ලිවීම හා කියෑවීම එහිදී උගත් ඔහුට, සිය බිරිඳ ඇන්ජලිකා මුණ ගැහෙන්නේ ද එහිදී ය.

ඔස්‌ටේ්‍රලියාවේ සිඩ්නි නුවර වසර දහයක්‌ පදිංචිව සිටි ඔහු එහි හයිට්‌ කිංග්ස්‌ගේට්‌ හෝටල යේ වසර පහක්‌ සේවය කර ශ්‍රී ලංකාවට පැමිණුනේය. 'ආර්ට්‌ ඔෆ් ප්ලේ' නම් කුඩා ළමුන් සඳහා ජාත්‍යන්තර ලේබල් යටතේ වන සෙල්ලම් බඩු විකුණන ස්‌ථානයක්‌, ආරම්භ කරන ලද්දේ අනතුරුවය. 1987 දී ඔහු විසින් පැරඩයිස්‌ රෝඩ් නම් ගෘහ භාණ්‌ඩ හා විසිත්ත භාණ්‌ඩ ආයතනයත්, පසුව ගැලරි කැෙෆ් නම් අවන්හල ද ආරම්භ කළේය.

ටයිම් සඟරාවේ සිට ජාත්‍යන්තර සඟරා හා මාධ්‍ය ගණනාවක්‌ ඔහු පිළිබඳව වාර්තා කර තිබේ.

චාල්ස්‌ කුමරුගේ ශ්‍රී ලංකා නවාතැන වූ ටින්ටගල් බුටික්‌ හෝටලයත්, එහිදී චාල්ස්‌ කුමරු දින කිහිපයක්‌ ගතකළ ආකාරයත් පිළිබඳව උදයශාන්ත් ප්‍රනාන්දු මහතා 'දිවයින'ට පැහැදිලි කළේ මෙසේය.

සුනේත්‍රා බණ්‌ඩාරනායක මහත්මිය මගේ පෞද්ගලික මිතුරියක්‌. බණ්‌ඩාරනායකලාගේ දේශපාලනය සමඟ මගේ කිසිම සම්බන්ධයක්‌ තිබුණේ නැහැ. ඒ වුනත් සුනේත්‍රා එක්‌ක මගේ කිට්‌ටු මිත්‍රත්වයක්‌ තිබුණා. ඒ අතරේ තමයි මට සුනේත්‍රා කිව්වේ රොස්‌මිඩ් පෙදෙසේ බණ්‌ඩාරනායක නිවස, පාකිස්‌තානු මහ කොමසාරිස්‌ කාර්යාලය සඳහා කුලියට ලබාදීමට යන බව. ඒ වෙලාවේ මම සුනේත්‍රාගෙන් ඇහැව්වා "බුටික්‌ හොටෙල් එකක්‌ කරන්න මේක මට දෙන්න කියලා...". සුනේත්‍රා ඒ වෙලාවෙ මට බැන්නා. මේක මීට ඉස්‌සෙල්ලා කිව්වේ නැත්තේ ඇයි කියලා... මම මේක මීට කලින් ඉල්ලුවා නම්, කොළඹ ඉන්න මිනිස්‌සු කියයි රෙන්ට්‌ එක වැඩි කරන්න කියලා. දැන් රෙන්ට්‌ එක තීරණය කරලනේ තියෙන්නේ. පාකිස්‌තානු කට්‌ටිය ගෙවන ගාණට මම ගන්නං කියලා මම කිව්වා. එයා ගිහිල්ලා එයාගේ සහෝදරයයි, සහෝදරියයි එක්‌ක සාකච්ඡා කරලා මට ගන්න කිව්වා.

මැතිනිය මේ ගෙදර ලිව්වේ සුනේත්‍රාට. මේකේ අල්ලපු ඉඩම් දෙක චද්‍රිකා හා අනුරගේ. මම මේක මුල් කාලයේ කුලියට ගත්තේ මාසයකට රුපියල් ලක්‍ෂ හතරහමාරකට. දැන් ඒ කුලිය ඊටත් වඩා වැඩියි. ඊට පස්‌සේ අවුරුදු දෙකයි මාස අටක්‌ තිස්‌සේ මම මේක මගේ මුදල් යොදවලා අලුත්වැඩියා කළා. සමහරු හිතන් ඉන්නේ මම මේක කරන්නේ බණ්‌ඩාරනායකලාගේ මුදල් වලින් කියලා. ඒක සම්පූර්ණ වැරදියි. මේක බද්දටයි මම ගත්තේ.

මම ඊට පස්‌සේ වැඩ කරලා තමයි මේක මේ තත්ත්වයට ගත්තේ. මට කිසිම දෙයක්‌ නිකං ලැබුණේ නැහැ. මගේ තාත්තාට ගෙවල් දහයක්‌ තිබ්බා. එයින් එකයි අපට ඉතුරු වුණේ. අනිත් ගෙවල් නවයම ශ්‍රීලනිප ආණ්‌ඩු කාලයේ රජයට ගත්තා.

ඔහුට පිය උරුමයෙන් හිමි වූ ගෙවල්, මැතිනියගේ ආණ්‌ඩු කාලයේ රජයට පවරා ගන්නා අතරේ, වසර කිහිපයක ඇවෑමෙන් ඔහු බණ්‌ඩාරනායක පවුලේ කොළඹ නිවහන කුලියට ගෙන හෝටලයක්‌ ආරම්භ කරන තැනට ගියේය. එකිනෙක දුම්වැටි දල්වමින් ඔහු සිය කතාව අපට පවසන්නේ, මහන්සියෙන් ආ ගමනකදී විඩාව සන්සිඳුවා ගනිමින් සිටින්නෙකු සේය.

මේක මම විවෘත කළේ මගේ අම්මා ජීවත්ව සිටියා නම් ඇයට අවුරුදු සියයක්‌ පිරෙන දවසෙයි. විවෘත කළේ සුනේත්‍රා බණ්‌ඩාරනායක. පහන පත්තුකරන්න අනුර බණ්‌ඩාරනායකත් ආවා. ඒ 2007 නොවැම්බර් 25 වැනිදා. එදා දෙසිය පනහක පිරිසක්‌ සහභාගි වුණ. එදා ඉරිදා දවසක්‌. බදාදා තව පාටියක්‌ පැවැත්වුවා. මගේ උපන්දිනය දෙසැම්බර් පළමුවැනිදා එදා තව පාටියක්‌ තිබ්බා. මුල ඉඳන්ම අපිට ලොකු විරුද්ධවාදීකම් ඇති වුණා.

සමහරු හිතුවේ කෞතුකාගාරයක්‌ කරන්න ඕනෑ එකක්‌ අපි කුලියට අරං හෝටලයක්‌ කරනවා කියලා. මේක මම ජනතාවට කියන්න ඕනේ, මැතිනිය අගමැති වුණාම මේ ගොඩනැඟිල්ල බුරුම තානාපති නිවාසයක්‌ සඳහා කුලියට දීලා අරලියගහ මන්දිරයට ගියා. දෙවැනි වතාවට ඊජිප්තුවේ තානාපති කාර්යාලයට කුලියට දුන්නා. ඒක නිසා තමයි සුනේත්‍රාත් මේක කුලියට දුන්නේ. ඒකට අත්තිවාරම දැම්මේ මැතිනිය. බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේත් කෞතුකාගාරයක්‌ තියෙනවා. හොරගොල්ලෙත් එකක්‌ තියෙනවා. ඉතිං හැමතැනම කෞතුකාගාර දාන්න ඕනෙද?

මම මේකට ගොඩක්‌ සල්ලි වියදම් කළා. පසුව ඉදිකරපුවා පවා මුල් ගෘහ නිර්මාණයට හානියක්‌ නොවෙන්න ඒ ගෘහ නිර්මාණ ශිල්පයට සමාන වෙන්න, මම ඉදිකළා. මේක ඩිසයින් කළේ සම්පූර්ණයෙන් ම මගේ අදහස අනුව.

දැන් මේක කාමර දහයක බුටික්‌ හෝටලයක්‌. මේකේ මුලින් කාමර තිස්‌ දෙකක්‌ තිබ්බා. දැන් මේක ජාත්‍යන්තර හෝටලයක්‌. මේකේ ගෘහ භාණ්‌ඩ පවා ජාත්‍යන්තර මට්‌ටමේ ඒවා. මම පිටරටින් ගෙනාවා. ඒක කලාකාරයෙක්‌ හැටියට මම කළා. දැන් මේක පොදු තැනක්‌. පාකිස්‌තාන තානාපති කාර්යාලය වුණා නම් මේකට ඒ තත්ත්වය ලැබෙන්නේ නැහැ. ඔහු සිය කතාව කරගෙන යන්නේ, ඉවසීමෙන් යුක්‌තව. මුල් කෘතියේ අනන්‍යතාවය තබා ගනිමින් වර්තමානයේදීත් එය සජීවීව තබා ගැනීමේ අභියෝගය බාර ගත් වාස්‌තු විද්‍යාඥයකු, කලාකාරයකු ලෙස ය.

මේකේ ලයිට්‌ ගෙනාවේ ප්‍රංශයෙන් හා ඕලන්දයෙන්. පුටු සෙටි ගෙනාවේ ස්‌පඤ්ඤයෙන්. මේකේ ලාංකික දේකට තියෙන්නේ නව කලාව.

අප සමඟ සුහද කතාබහේ නිරත වන අතරේ, ඔහු සිය බුටික්‌ හෝටලයේ වැඩ කටයුතු සඳහා ද අණ දෙයි. තව දිනයක්‌ දෙකක්‌ ඇතුළත බ්‍රිතාන්‍යයේ මහ රැජනගේ පුත් චාල්ස්‌ මෙහි නවාතැන් ගැනීමට පැමිණීමට නියමිතය. ඒ සඳහා මුළු හෝටලයම අලුතෙන් සැරසෙයි. සමහර අංග වෙනස්‌ වෙයි. සමහර ඒවා ඉවත් වෙයි. ඒ සියල්ලේ තනි තීරකයා උදය ශාන්ත් ප්‍රනාන්දු ය.

චාල්ස්‌ කුමාරයා ශ්‍රී ලංකාවේ සිය නවාතැන ලෙස ඔබේ ටින්ටගල් බුටික්‌ හෝටලය තෝරා ගත්තේ කොහොමද කියන ප්‍රශ්නය තියෙනවා. සමහරු කියන්නේ ඔහු මේ ගැන පෞද්ගලිකවම සොයා බැලුවා කියලයි...?

මැද පෙරදිග රටවල කුමාරයන් ඇතුළු ලෝකයේ ප්‍රභූවරු මෙහේ නතර වුණා. හයිට්‌ හෝටල් සමූහයේ අයිතිකාර තෝමස්‌ මහතා, තමන්ගේ පෞද්ගලික ජෙට්‌ යානයෙන් ම ඇවිල්ලා නතර වුණේ මෙහෙ තමයි.

ඔවුන් මේ හෝටලය ගැන දැන ගත්තේ කොහොමද?

අපි ඒ ප්‍රශ්නය අසන විට අපි බලාපොරොත්තු වූයේ ජාත්‍යන්තරය සඳහා මෙම හෝටලය ප්‍රචාරය කරවන ආකාරය පිළිබඳ වැටහීමක්‌ ලබා ගැනීමය. නමුත් ඔහුගේ පිළිතුර සරලය.

දන්න මිනිහා දන්නවා. මේ හෝටලය තියෙන්නේ දන්න මිනිසුන්ට. අපේ ප්‍රචාරය තමයි කට වචනය.

මෙතැනදී මම දෙන්නේ මම කැමති දේ. මට විශ්වාසයි ඒ දේ. මට හොඳට උයන්න පුළුවන්. ඒ දේවල් බලන්නෙත් මම. මම මේක කරන්නේ මගේ හදවතින්.

චාල්aස්‌ කුමාරයා මේ හෝටලය වෙන් කරගෙන තියෙන බව ඔබට මුලින්ම පැවසුවේ කවුද?

මගේ අක්‌කගේ දුව තමයි කාර්ගිල්ස්‌ සමූහයේ ප්‍රධානි රංජිත් පේඡ් ගේ බිරිඳ. එයා මට කෝල් එකක්‌ දීලා කිව්වා "මාමා..... මාමා. චාර්ලි එනවනේ ඔයාගේ හෝටලයට" කියලා.

"කවුද චාලි බං..." මම එයාගෙන් ඇහැව්වා.

ප්‍රින්ස්‌ චාර්ල්ස්‌.......· ඊට පස්‌සේ මම ක්‍රමානුකූලව සෝදිසි කරලා බැලුවා මේක ඇත්තක්‌ද කියලා. මම පන්නන්න ගියේ නැහැ.

චාර්ල්ස්‌ගේ නියෝජිතයෝ ඇවිල්ලා මේක බලලා පිංතූර අරගෙන යවලා, මේක තෝරා ගත්තා කියලා මට ආරංචි වුණා. මේක තනි ඒකකයක්‌. ඒ නිසා ආරක්‍ෂාවටත් පහසුයි. ඒ වගේ දේවලුත් මේ අය බලන්න ඇති.

චාර්ල්ස්‌ කුමරු ටින්ටගල් හෝටලයේ නවාතැන් ගන්නේ ඔහුගේම සේවක බළඇණියත් සමඟ බවට ආරංචි පැතිරෙනවා. ඔබගේ සුපුරුදු සේවක කණ්‌ඩායමේ සත්කාරය ඔහු ලබා ගන්නේ නැද්ද?

ඔහොම ආරංචියක්‌ යනවා. බකිංම්හැම් මාලිගයේ පිරිසක්‌ මෙහෙ එනවා. ඔවුන් කරන කටයුතු සමහරක්‌ තිබෙනවා. ප්‍රධාන කෝකියා ඔවුන්ගෙන් පැමිණෙනවා. මුළුතැන්ගෙයි අනික්‌ කටයුතු කරන්නේ අපේ සේවකයෝ. පරිපාලනයේදීත් එහෙමයි. රාජ කුමාරයෙකුගේ කාමරයට තට්‌ටු කරලා සේවා සපයන්න බෑ. ඒ සියල්ල කෙරෙන්නේ ලේකම් මගින්. ඒ කටයුතු වලට පිරිස්‌ දැනටමත් මෙහේ ඇවිල්ලා ඉවරයි.

චාල්ස්‌ කුමාරයාගේ කණ්‌ඩායමේ සමහරුන් ඒ පහසුකම් පිළිබඳව අප සිටිනා අතරෙත් පැමිණ සොයා බලනවා අපට පෙනේ. උදය ශාන්ත් ප්‍රනාන්දු මහතා, වරින් වර ඔවුන් සමඟ කතා කරමින් පැහැදිලි කිරීම් කරමින් යළි අප සමඟ සාකච්ඡාවට පැමිණෙයි.

ඒ වන විටත් චාර්ල්ස්‌ කුමරුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් වියන් ඇඳක්‌ සහිත සිරි යහනක්‌ හා ආලින්ද කාමරයකින් යුත් විශාල කාමරයක්‌ පිළියෙළ වෙමින් තිබිණි. එහි නාන කාමර ආදිය සියල්ල පිළියෙළ වී තිබිණි. රොස්‌මිඩ් නිවසේ සඳළුතලය, චාර්ල්ස්‌ කුමාරයාගේ උදැසන ආහාරය සඳහා ලක ලෑස්‌ති වූ ඉඩකඩය. ඒ සියල්ල නරඹමින් ම චාර්ල්ස්‌ කුමරුගේ බිල ගැන ද අපි විමසුවෙමු.

රාත්‍රි දෙකක්‌ ඔහු මෙහි ගත කරනවා. දින හතරක්‌ සඳහා ඔහු මෙය වෙන්කර ගෙන තිබෙනවා. එක්‌ දිනකට ඔහුගේ කාමරයේ බිල ඇමරිකන් ඩොලර් 4500 ක්‌ පමණ වෙනවා. චාර්ල්ස්‌ කුමාරයා මුල් දිනයේ තම බිරිඳ කැමිලා පාකර් සමඟ මෙහි ගත කරනවා. එදා රාත්‍රි ඔවුන් දෙදෙනා මෙහි ගත කරනවා. රාත්‍රි භෝජනය මෙහිදී ලබා ගන්නවා. චොගම් ආරම්භක දිනයේ තෝරාගත් ලෝක නායකයන්ට චාර්ල්ස්‌ කුමාරයා දිවා ආහාරය පිළිගන්වනවා. ඒ ආහාරය සකසන්නේ අපියි.

බ්‍රිතාන්‍ය රාජ කුමාරයා නවාතැන් ගත් මේ හෝටලය කලකට පෙර රටේ අගමැතිවරු නවාතැන් ගත් තැනක්‌. ජනාධිපතිනියක්‌ සිය ළමා කාලය ගත කළ තැනක්‌. කොළඹ හතේ මේ තැන, පාරෙන් බලාගෙන යන්න විතරද, මේ රටේ සාමාන්‍ය ජනතාවට පුළුවන්..... ඔවුන්ට දරන්න පුළුවන් වියදමකට මෙහි තිබෙන්නේ මොන අන්දමේ පහසුකම් ද?

රුපියල් දාහකට බීම එකක්‌ බීලා, මොනව හරි කාල යන්න පුළුවන් ඒකට අපි සීමා පනවලා නැහැ. රුපියල් හයදහකට හොඳ වේලක්‌ මෙතැනින් කන්න පුළුවන්.

උදය ශාන්ත් ප්‍රනාන්දු මහතා සිය කතාව අවසන් කළේය. අප ටින්ටගල් හෝටලයට යන විට චාල්ස්‌ කුමරු වෙනුවෙන් එය පිළියෙළ වෙමින් තිබුණි. ඔබ මේ ලිපිය කියවන විට ටින්ටගල් හි ශ්‍රී ලාංකික සත්කාර විඳ චාල්ස්‌ කුමරු බ්‍රිතාන්‍යයට ගොස්‌ තිබෙන්නට පුළුවන.

එංගලන්තයේ චාල්ස්‌ කුමාරයා සතු සුවිශාල ආදිපාද වසමක්‌ තිබේ. මෙය හඳුන්වනු ලබන්නේ CORNWALL ආදිපාද වසම ලෙසය. මෙයට වසර 100 ගණනකට පෙර එංගලන්තයේ විසූ ආතර් නමැති රජතුමා වාසය කළ ටින්ටගල් මාලිගය කොන්වෝල් ප්‍රදේශයේ තිබෙන බවට විශ්වාස කෙරෙන අතර එහි නටබුන් හමුවී තිබේ. මෙයට අවුරුදු 100 කට පමණ පෙර ලංකාවේ එවකට විසූ සුප්‍රසිද්ධ නාරි හා ප්‍රසව වේද වෛද්‍ය වරයකු වූ ලූෂන් ද සිල්වා විසින් කොළඹ රෝස්‌මිඩ් පෙදෙසේ ඉදිකරන ලද ටින්ටගල් මන්දිරයද අද ආතර් රජතුමාගේ ටින්ටගල් මාලිගය පරිදිම ඉතිහාසයට එකතුවී තිබේ. 

1800 ගණන් වල 3 වැනි කාර්තුවේ උපන් ලූෂන් ද සිල්වා එංගලන්තයට ගොස්‌ 1905 දී ජර්මන් ඉංග්‍රීසි සම්මිශ්‍රත පවුලක දියණිය වූ චාලට්‌ එලනෝර් සාෂ් සමඟ විවාහ වෙයි. මේ තරුණිය එංගලන්තයේ හතර වැනි ජෝර්- රජුගේ ස්‌වර්ණාභරණ නිෂ්පාදනය කළ රන් කරුවාගේ මීමිණිබිරියයි. දොස්‌තර ලූෂන්ට දියණියෝ සිව්දෙනෙක්‌ වූහ. ඒ සියලු දෙනාම සංගීතය, සාහිත්‍යය ඇතුළු විෂයයන් වල අති දක්‍ෂ තරුණියෝ වූහ. එංගලන්තයේ ජීවත්වූ කාලයේදී දොස්‌තර ලූෂන් ගතකළේ රාජකීය ජීවිතයකි. 1897 පෙබරවාරි 2 වැනිදා ලන්ඩන් නුවරදී වික්‌ටෝරියා රැජින සිය ස්‌වර්ණමය ජුබිලිය සමරණ අවස්‌ථාවේ දොස්‌තර ලූෂන් එම උත්සවයට සහභාගි විය. 1901 පෙබරවාරි 02 වැනිදා වික්‌ටෝරියා රැජින මියගිය අතර ඇගේ මෘත දේහය රැගත් මහ පෙරහර දේව මෙහය සඳහා වෙස්‌මිනිස්‌ටර් දේවස්‌ථානයට යනු නරඹනු පිණිස ඔහු ලන්ඩනයේ හයිඩ් පාර්ක්‌ පිට්‌ටනියට ගියේය. රැජිනගේ අවමඟුලට ලොව පුරා සිටි රජ වරුද රැජිනන්ද සහභාගිව සිටිනු ඔහුට දැනගත හැකිවිය. 1906 දී ලන්ඩන් නෘත්‍ය ශාලාවේදී රඟදක්‌වන නාට්‍යයක්‌ බැලීමට ගිය දොස්‌තර ලූෂන් එහි සඳළුතලයේ සිට නාට්‍ය බලමින් සිටි හත්වන එඩ්වඩ් දුටුවේය. 

දොස්‌තර සිල්වා 1930 දී ටින්ටගල් මන්දිරය ඉදිකර 1942 තෙක්‌ එහි පදිංචිව සිටියේය. මේ අතර ලෝක යුද්ධය පටන් ගත්තේය. 1942 දී ශ්‍රී ලංකාව පාලනය කළ සුදු අධිරාජ්‍යවාදීහු පැය 24 ක්‌ තුළ ටින්ටගල් මන්දිරය පවරාගෙන වෙනත් තැනක්‌ සොයාගන්නා ලෙස නියෝග කළහ. අනතුරුව මන්දිරය බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ යුද කඳවුරක්‌ බවට පරිවර්තනය කරන ලදී. මහත් කළකිරීමෙන් යුතුව මන්දිරය අත්හළ දොස්‌තර ලූෂන්ද සිල්වා ඇතුළු පවුලේ අය ඔවුන්ට අයත් වෙනත් මන්දිරයක පදිංචියට ගියහ. දොස්‌තර සිල්වා පසුගිය සියවස මුල්කොටසේදී මෙරට විසූ ධනවත්ම පුද්ගලයන් දස දෙනාගෙන් කෙනෙකි. යුද්ධය නිමා වීමෙන් පසු ටින්ටගල් මන්දිරය දොස්‌තර ලූෂන්ට ආපසු බාරදෙන ලදී. කිසිදු චාරයක්‌ නැති සුදු හමුදාව ටින්ටගල් මන්දිරය පාවිච්චි කර තිබුණේ බේබදු රස්‌තියාදුකාරයන් පිරිසක්‌ අම්බලමක්‌ පාවිච්චි කරන ලෙසය. මන්දිරයට සිදුව තිබූ මහත් පාඩුව දුටු දොස්‌තර ලූෂන්ද සිල්වා දෙවන වරටත් කලකිරීමට පත්ව ඒ මන්දිරය ශ්‍රීමත් සොලමන් ඩයස්‌ බණ්‌ඩාරනායකට රුපියල් 160000 කට විකුණා දැමුවේය.

පසු කාලයේදී, එනම් වයස අවුරුදු 90 දී දොස්‌තර ලූෂන් ද සිල්වා සිය අතීත ප්‍රත්‍යාවලෝකනය SCENES OF A LIFE TIME යනුවෙන් පොතක්‌ බවට පත් කළේය. තමා විශාල මන්දිර ඉදිකිරීම කෙරෙහි මහත් ආසාවෙන් පසුවූ බවත් ටින්ටගල් මන්දිරය අත්හැරීමෙන් පසු නුවරින් විශාල ඉඩමක්‌ ගෙන Tree Top යනුවෙන් තවත් මන්දිරයක්‌ ඉදිකළ බවත් එම පොතේ සඳහන් වේ. රජකු ලෙස ජීවත් වූ ද සිල්වා රජකු ලෙසම මියගිය කෙනෙකි.

ශ්‍රමත් සොලමන් ඩයස්‌ බණ්‌ඩාරනායක ටින්ටගල් මන්දිරය මිලට ගත්තේ සිය පුත්‍රයා වූ සොලමන් වෙස්‌ට්‌ රිඡ්වේ හෙවත් එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක පදිංචිය පිණිසය. ජර්මනියේ සහ එංගලන්තයේ වාසය කරන දොස්‌තර ලූෂන්ගේ මීමුණුබුරෝ සහ මීමිණිබිරියෝ අදටත් විටින් විට ටින්ටගල් මන්දිරයට පැමිණෙති. චාල්ස්‌ කුමාරයාගේ සිය නවාතැන්පළ වශයෙන් ටින්ටගල් මන්දිරය තෝරාගැනීමට හේතුව සිය ආදිපාද වසම වූ කොන්වෝල් ප්‍රදේශයේ පිහිටි ආතර් රජතුමාගේ ටින්ටගල් මාලිගය පිළිබඳ මතකය නිසා විය යුතුය.

අනුර සොලමන්ස්‌ - මනෝඡ් අබයදීර | ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත
http://www.divaina.com/2013/11/17/feature01.html

0 comments: