Pages

Sunday, November 17, 2013

ජාතිකත්වයට වින කරන (එක්සත්) ජාතික පක්ෂය

එක්‌සත් ජාතික පක්‍ෂයේ වත්මන් නායකත්වය ජාතිකත්වය අමතක කරමින් බ්‍රේස්‌ලට්‌ සහ චුයින්ගම් සමග මේ ගෙන්දගම් පොළව මත පය නොතබා උඩින් යන්නට ගිය ගමන හමුවේ උගත් පාඩම් බොහෝය.

එකයි දෙකයි තුනයි කියා ගැණිය නොහැකි තරමින් කලක්‌ තිස්‌සේ ලද අති විශාල මැතිවරණ පරාජයන් ප්‍රමාණයම ඊට ඇති පැහැදිලි නිදසුනකි. වර්තමානයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ එක්‌සත් බව සුනුවිසුනු කෙරුණු නායකත්ව අර්බුදය මතුවූයේද එකී පරාජයන් නිසාය.

නමුත් ඇති වී තිබෙන එකී අර්බුද හමුවේ විකල්පයක්‌ සොයන පක්‍ෂයේ ඇතැම් පිරිස්‌ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යනු ඒකාධිපතියකු ලෙස හඳුන්වන තත්ත්වයක්‌ නිර්මාණය වී තිබියදීත් ජාතිකත්වය අමතක කිරීමේ උමතු බවෙන් මිදී ශ්‍රී ලාංකිකත්වයට හිස නමමින් මේ මගේ රට යෑයි සිතා කටයුතු කරන්නට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එජාපයට අදටත් හැකි වී තිබේද?

මේ සටහන් කෙරුණේ අතීත මතකයන් අලුත් කෙරෙමින් ඉකුත් සිකුරාදා වන විට රටේ දේශප්‍රේමී ජනතාව තුළ යළිත් වරක්‌ එජාපය සම්බන්ධයෙන් මතුවූ ගැටලුවකි. ජනතාවට සේම එය අපටද පැහැදිලි ගැටලුවක්‌ විය. ඒ රටත් ජාතියත් වෙනුවෙන් ජනතාව ඉදිරියේ දෙපයින් සිටගන්නට අප කිසිදා අමතක නොකළ නිසාය.

එහෙයින් ජනතාවට මෙන්ම අපටද ගැටලුවක්‌ වූ එජාපයේ කෙරුවාව පිළිබඳ මෙදා ටිකක්‌ අමුවෙන් කතා කරන්නට අපි සිතුවෙමු. ඒ අන්කිසිවක්‌ නිසා නොව වැඩි කල් නොයවා රටේ අන් සැමට මෙන්ම බිම් මට්‌ටමේ සිට ඉහළට සිටින සියලු එක්‌සත් ජාතික පාක්‍ෂිකයනට මේ අවනඩුව පැහැදිලිව වටහා දිය යුතු නිසාය.

වැරදි සිදු වන්නේ මිනිසුන් අතිනි. නැතහොත් මිනිස්‌සු වැරදි කරති. එහෙත් එකී වැරදි හමුවේ ලබන අත්දැකීම් සමග කළ වැරදි හදා ගැනීමට මිනිසුන් පෙළඹෙනවා මිස කොතෙක්‌ ගුටි කෑවත් පුරුද්ද අතහැර ගැනීමට නොහැකිව දකින දකින පඳුරට කකුල උස්‌සන බල්ලන් මෙන් මිනිස්‌සු කටයුතු නොකරන්නාහ.

නමුත් මිනිසුන්ගේ හැදියාව එසේ වුවද දහසක්‌ ජාත්‍යන්තර ප්‍රහාර සහ විදේශගත එල්ටීටීඊ ඩයස්‌පෝරාවේ කුමන්ත්‍රණ හමුවේ නොසැලී සිටිමින් ලෝක සමුළුවක්‌ රට තුළ පැවත්වීමට රාජපක්‍ෂ රජය කටයුතු කරමින් සිටියදී ඉකුත් බදාදා සිට පුරුදු පරිදි එජාපය යළිත් ක්‍රියාත්මක වන්නට වූයේ ඉහත කී සුනඛ න්‍යාය රටට සිහි ගන්වමින් නොවේද?

පැහැදිලිවම සිදු වූයේ ඒ ටික බව අපි කියමු. ඉකුත් බදාදා සිට දේශෙද්‍රහී එන්ජීඕ කාලකණ්‌ණින් සමග එකතුවූ එජාපයේ ප්‍රධානීහු පක්‍ෂ මූලස්‌ථානය වූ සිරිකොත ශාලාව ජාතියේ පවට උපන් අපතයන්ගේ කෝළම් මඩුවක්‌ බවට පත් කරමින් හමගිය කොටිහපුවන් රැසක්‌ද සිරිකොතට ගෙන්වා අපූරු සමුළුවක්‌ පවත්වන්නට වූයේය. 

එය එජාපයේ "චුයින්ගම්" සමුළුව ලෙසින් හැඳින් වූවද වරදක්‌ නැත. මන්ද මෙහිදී එජාපයේ පමණක්‌ නොව සිරිකොතට පැමිණි එන්ජීඕ කාලකණ්‌ණින් මෙන්ම අඬු කැඩුණු කොටින්ගේද අරමුණ වී තිබුණේ මේ පිං බිම චුයින්ගම් එකක්‌ සේ ජාත්‍යන්තරයට හප කිරීමට පාර කපා දී ආණ්‌ඩුවට කෙළවීමය. 

එහිදී සිදු කෙරුණේ කුමක්‌ද? තිස්‌ වසරක්‌ පුරා මුළු රටම විඳවූ එල්ටීටීඊ ත්‍රස්‌වාදය වනසා දැමීම හමුවේ බොහෝ කිපී සිටින ජාත්‍යන්තරය අවි අමෝරා ගනිමින් යුද අපරාධ, මානව හිමිකම් කඩ කිරීම් ආදී ලෙසින් නොයෙක්‌ අවලාද නගන අතරේ රාජපක්‍ෂවරු දන් ගෙඩියට ගෙන යැමට සැරසෙන්නේ කලක පටන්ය.

එකී උත්සාහයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුළ පමණක්‌ නොව විදේශගත කොටි හිතවාදීන්ගෙන් සැදුම්ලත් ඊනියා ඡායා ඊළම තුළදී මෙන්ම චැනල් 4 වැනි අපට පරසතුරු ජාත්‍යන්තර නඩ යොදා මේ බිමට එරෙහිව කළ සහ අදටත් කරමින් සිටින කුමන්ත්‍රණ සුවිශාලය.

වත්මන් ආණ්‌ඩුව පොදු රද මුඬුළු සමුළුව ශ්‍රී ලංකාවේ පැවත්වීමේ යෝජනාව ජාත්‍යන්තරය හමුවට ගෙන ගියේ අමු ම්ලේච්ඡයකු වූ ප්‍රභාකරන්ගේ විනාශය හමුවේ රටට එරෙහි එවන් වටපිටාවක්‌ ලෝකය තුළ නිර්මාණය වී තිබියදී බව කාටත් අමුතුවෙන් පහදා දිය යුතු නොවන්නකි.

ආණ්‌ඩුවේ එකී යෝජනාවත් සමගින් පොදු රද මඬුළු සමුළුව ශ්‍රී ලංකාවේ පැවත්වීම වළක්‌වාලීම සඳහා මෙරටට එරෙහිව නැගී සිටි කොටි හිතවාදීන් මෙන්ම ජාත්‍යන්තරයේ ඇතැමුන් වෙතින් සිදු කෙරුණු කුමන්ත්‍රණ බොහෝ විය.

ඒවා කෙසේ වෙතත් අවසානයේ ආණ්‌ඩුව පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ තමන්ගේ අරමුණ ජයගත්තේය. ආණ්‌ඩුව ජය ගත්තේ යෑයි කියන්නේ ශ්‍රී ලංකාව ජය ගැනීමය. සමුළුව මෙරට තුළ තියන්නට තීරණය විය. 

එහෙත් එතැන් පටන් සිදු වූයේ කොටි හිතවාදී ඩයස්‌පෝරාව මෙන්ම අනෙකුත් සියලු කුමන්ත්‍රණකාරීන් එකතුව පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකාවේ සමුළුවට සහභාගි වීම වැළැක්‌වීම සඳහා නොයෙක්‌ අන්දමින් ක්‍රියාත්මක වීමය.

මෙරට පැවැත්වුණු පොදු රද මඬුළු සමුළුව සඳහා ඉන්දීය අගමැති මන් මොහන් සිං මහතා සහභාගි නොවීමත් කැනඩාවේ සහභාගිත්වයක්‌ නොමැති වීමත් සිදු වන්නේ එම කුමන්ත්‍රණවල ප්‍රතිඵල ලෙසිනි. මෙහිදී සෑම අවස්‌ථාවකම කුමන්ත්‍රණකාරීන් අපට පහර දීමේ අවිය බවට පත් කරගත්තේ රටක්‌ වශයෙන් අප ත්‍රස්‌තවාදය පරදා සාමය උදා කර ගැනීමේදී සිදු කළා යෑයි කියන ඊනියා යුද අපරාධ, මානව හිමිකම් කඩ කිරීම් සහ පුද්ගල අතුරුදන් කිරීම්ය.

නමුත් කුමන්ත්‍රණ එසේ වුවද සියල්ල අවසානයේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රාජ්‍ය නායකයන් අති බහුතරයක්‌ ශ්‍රී ලංකාවේ සමුළුවට ගෙන්වා ගනිමින් වටිනා රාජ්‍ය තාන්ත්‍රික ජයක්‌ ලැබීමට ආණ්‌ඩුව සමත් විය. මෙසේ ආණ්‌ඩුව සමත්වීම යනු මේ බිමට එරෙහි දහසකුත් එකක්‌ කුමන්ත්‍රණ හමුවේ ශ්‍රී ලංකාව ලද සුවිශාල ජයග්‍රහණයක්‌ වන්නේය

විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්‌පෝරාවත් අපට පරසතුරු ජාත්‍යන්තර ප්‍රජාවත් කුමන්ත්‍රණකාරී ලෙස මෙරට පැවත්වෙන පොදු රද මඬුළු සමුළුව කඩාකප්පල් කිරීමට ප්‍රයත්න දැරුවේ එය සාර්ථක කර ගැනීම ශ්‍රී ලංකාව ලබන විශාල ජයක්‌ බව අවබෝධ කරගෙන සිටි බැවිනි.

එහෙත් රට එසේ ජය ලබද්දී ආණ්‌ඩුව සහ ඉපදුණු රට යනු එකක්‌ නොව දෙකක්‌ බව වටහා නොගත් එක්‌සත් ජාතික පක්‍ෂය හරියටම රාජ්‍ය නායක සමුළුවට දෙදිනක්‌ තිබියදී ඉකුත් බදාදා මේ බිමට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණය පක්‍ෂ මූලස්‌ථානය වන සිරිකොත තුළට රැගෙන ආවේ ජාතියක්‌ ජන්මයක්‌ නැති සහ කිසිදු වගකීමක්‌ නැති විපක්‍ෂයක්‌ ලෙසිනි.

එක්‌ අතකින් මෙහිදී විපක්‍ෂය යන වචනය පාවිච්චි කිරීමද අර්ථ විරහිත ක්‍රියාවකි. මන්ද මේ වන විට රටේ පවට විපක්‍ෂය ලෙසින් "එක්‌සත් ජාතික පක්‍ෂය" නමැති අකුරු එකොළහක්‌ තිබෙනවා මිස අපට විපක්‍ෂයක්‌ නැති නිසාය. බිම අතහැරුණු "පුවක්‌ වල්ලට" අත් වූ ඉරණම අපේ විපක්‍ෂයටද සිදුවී දැන් බොහෝ කල්ය.

වත්මන් රජය සමග අපටද ගැටලු ඇත්තේය. සැමදා සෑම තැන රජයේ වැඩපිළිවෙළ සියයට සියයක්‌ නිවැරදි යෑයි අපි නොකියන්නෙමු. නමුත් රජයේ වැරදි හමුවේ කිසිවකු හෝ රටට පහර දෙන්නට සැරසේ නම් ඒ දෙස බලා සිටින්නටද අප සූදානම් නැත. 

එසේම රජයේ වැරදි හමුවේ පෑන අත ඇති නිසා රජයට පහරදී සියල්ල රටට පෙන්වා දීමට අපට හැකියාවක්‌ තිබුණද රටේ විපක්‍ෂයක්‌ නොමැති වූ කල්හි රජයේ වැරදි අවබෝධ වුවද ජනතාව අසරණ වන වග රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂය වහා අවබොධ කර ගන්නේ නම් එය රටට යහපත්ය. එහෙත් අද දවසේ කියන කරන දේ හමුවේ එජාපයෙන් රටට යහපත් දෙයක්‌ බලාපොරොත්තු වීමද මිරිඟුවක්‌ වී තිබෙන බව පැහැදිලි ලෙසම පෙනෙන්නට තිබෙන්නේය. 

ඉහත කී අන්දමට සිරිකොත මන්දිරය තුළ ඉකුත් බදාදා සිට බාහුගේ කරුණාව සහ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ගේ ආශීර්වාදය මැද මේ බිමට එරෙහි එන්ජීඕ අපතයන්ගේ සහ හිටපු කොටි ත්‍රස්‌තවාදීන්ගේද සහභාගිත්වයෙන් කුමන්ත්‍රණකරුවන්ට මංගල වූ සහ රටට 

කොටි සුදර්ශන් සමගි සන්ධානයේ

අවමංගල වූ සමුළුවක්‌ ආරම්භ වූයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණය සිරිකොතට රිංගීමේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

ශ්‍රී ලංකා රජයේ මානව හිමිකම් කඩ කිරීම්, මාධ්‍ය නිදහස අහිමි කිරීම්, එල්එල්ආර්සී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැතිවීම ආදී ලෙසින් වූ ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ ඊනියා චෝදනාම මාතෘකා කර ගනිමින් සිරිකොත මන්දිරයේදී එදින ආරම්භ වූ මෙකී සමුළුව දෙදිනක්‌ පැවත්වීමට නියමිතව තිබූ අතර ඊට සමගාමීව ජායාරූප ප්‍රදර්ශනයක්‌ සහ වීඩියෝ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමක්‌ද සංවිධානය වී තිබිණ.

ඇතැම්විට ආණ්‌ඩුවත් රටත් යන්න පටලවා ගනිමින් කටයුතු කරන එජාපයේ ප්‍රබලයන් මෙතුළින් ආණ්‌ඩුවට කෙළවන්නට සිතුවා විය හැකිය. එහෙත් පැහැදිලිවම එම සමුළුව හා ප්‍රදර්ශනය හරහා නිර්මාණය වෙමින් තිබුණේ මේ පිං බිමට කෙළවන වටපිටාවක්‌ විය. 

මෙසේ සිරිකොත මන්දිරය අපතයන්ගේ අඩවියක්‌ බවට පත් වෙමින් ඒ තුළ රටට එරෙහි කුමන්ත්‍රණයක්‌ දියත් වෙද්දී දේශප්‍රේමී කණ්‌ඩායම් ඉකුත් බදාදා දහවල් සිරිකොත වටලා උද්ඝෝෂණ පවත්වන්නට වූයේ මුළු රටේම අවධානය ඉන් දෙදිනකට පසු ඇරඹන රාජ්‍ය නායක සමුළුව වෙත යොමු වී තිබියදීය. 

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එදින පස්‌වරුවේ සිය සුඛෝපභෝගී රථයෙන් සිරිකොත වෙත පැමිණියේ මෙසේ උද්ඝෝෂණකරුවන් සිරිකොත වටලා සිටියදීය. මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පැමිණෙන්නට වූයේ සිරිකොත තුළ පැවත්වෙමින් තිබූ රටට එරෙහි සමුළුව හා ප්‍රදර්ශනය සුභ මොහොතින් විවෘත කීරීමේ අරමුණිනි.

නමුත් විපක්‍ෂ නායකවරයා එසේ සිරිකොත ආසන්නයට පැමිණෙත්ම ඔහුගේ රථය වටකර ගත් උද්ඝෝෂකයෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ රථයට අතින් පහර දෙමින් ඔහුට විරෝධය දක්‌වන්නට වූහ. ඒ සමග සිරිකොත ඇතුළු අවට ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී බවක්‌ද ඇතිවිය. එහෙත් විරෝධය මධ්‍යයේම සිරිකොත තුළට ගිය විපක්‍ෂ නායකවරයා සමුළුව විවෘත කළ අතර පසුව එදින රාත්‍රිය එළඹීමත් සමග උද්ඝෝෂණ පැවත්වූවෝද විසිර ගියහ.

එසේ උද්ඝෝෂණකරුවන් විසිර යැමත් සමග එජාපය ඇතුළු සමුළුව සංවිධානය කෙරුවන් සිතුවේ සියල්ල නිමා වූවේ යෑයි යන්නය. නමුත් පසු දිනද යළිත් වරක්‌ සිරිකොත වැටලූ උද්ඝෝෂකයෝ එහි සිදු වෙමින් තිබූ දේශෙද්‍රහී ක්‍රියාවට විරෝධතා දක්‌වන්නට වූහ. ඒ වන විට එක්‌සත් ජාතික පක්‍ෂය ගොඩ ගන්නට අලුතින් පත් කෙරුණු නායකත්ව මණ්‌ඩලයේ මංගල රැස්‌වීමද එහි පැවත්වෙමින් තිබිණි.

අවසානයේ පැවතෙමින් තිබූ විරෝධතාව ගුටි බැට හුවමාරුවක්‌ දක්‌වාම වර්ධනය වූයේ පොලිසියද අසරණ කරමිනි. මේ අතරේ එදින සන්ධ්‍යාවේ බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලාද සිරිකොත මන්දිරය වෙත එන්නට වූහ. ඒ එහි පැවති ප්‍රදර්ශනයට මේ රට තුළ භික්‍ෂු ත්‍රස්‌තවාදයක්‌ ක්‍රියාත්මක බවට ලොවට හැඟෙන පරිදි බුදු දහමට නිගා දෙන ඡායාරූප එකතුවක්‌ද ඇතුළත්ව තිබූ බැවිනි.

එසේ භික්‍ෂූන් වහන්සේලා සිරිකොතට පැමිණිමත් සමග සිරිකොත මන්දිරය අභියසදී එම භික්‍ෂූන් වහන්සේලා ප්‍රහාරයකටද ලක්‌ වූහ. එම සිද්ධියත් සමග චිංචි මානවිකාවන් සාංඝික කරන්නට වෙර දරන එජාපයට සම්බන්ධ එක්‌තරා ශ්‍රමනවේශධාරියෙක්‌ එදින රාත්‍රියේ බොදුබල සේනාවේ භික්‍ෂූන් හැසිරුණු විදිහ කැතයි කියමින් අපූරු ප්‍රකාශයක්‌ද කරනු ලැබීය. 

කෙසේ හෝ මේ සියලු ගුටි බැට හුවමාරු මැද්දේ ඉකුත් බ්‍රහස්‌පතින්දා සවස්‌ වන විට සිරිකොත මන්දිරයේ පැවති සමුළුව සහ ප්‍රදර්ශනය නිමාවට පත්විය. එසේ සියල්ල නිමා වී පිරිස නික්‌ම යන අවස්‌ථාවේ එක්‌සත් ජාතික පක්‍ෂයේ හිටපු ජාතික ලැයිස්‌තු මන්ත්‍රි දිනේෂ් දොඩංගොඩ මහතාගේ රථයේ පසු පස අසුනකට වී සිරිකොතේ සිට පිටව යන්නට ආ කොටි ත්‍රස්‌තවාදියකු බවට සැක කෙරුණු පුද්ගලයකුද පොලිස්‌ අත්අඩංගුවට ගැනිණ.

ඒ සමුළුවට සහභාගි වීම සඳහා කිලිනොච්චියේ සිට සිරිකොතට පැමිණ සිටි සුදර්ශන් නමැත්තෙකි. මේ අන්දමින් රටට එරෙහි එන්ජීඕ අමනයන් එජාපයේ සිරිකොත මන්දිරය සිය කුමන්ත්‍රණ කේන්ද්‍රය බවට පත්කර ගනිද්දී සියල්ල අවසන් වූයේ එසේය. 

එකී අවසානයත් සමග අපට හමුවූ දන්නා හඳුනන එක්‌සත් ජාතික පාක්‍ෂිකයකු කීවේ මේ සියල්ල සංවිධානය කරනු ලැබුවේ එක්‌සත් ජාතික පක්‍ෂයට පමණක්‌ නොව එහි නායකත්ව මහණ්‌ඩලයටද අලුතින් එක්‌වූ මාතර මන්ත්‍රිවරයකු බවය. ඔහු කියන ලෙස රටට ෙද්‍රහී මෙකී සමුළුව සංවිධානය කෙරුවේ මංගල සමරවීර මන්ත්‍රිවරයා නම් අපට කීමට ඇත්තේ එය සම්පූර්ණයෙන්ම නපුංසක වැඩක්‌ කියාය.

එහෙත් මේ කිසිත් පිළිබඳ අහන්නට කෙනකුද නොවන බව අපට හැඟෙන්නේය. මන්ද එක්‌සත් ජාතික පක්‍ෂය තුළ පවතින අර්බුද හමුවේ නන්නත්තාර වී තිබෙන එජාපය දැන් දැන් සුනු විසුනු වී දේශෙද්‍රහී බව හමුවේ ඉතිහාසයේ කුණු බක්‌කිය දෙසටද ඇදී යමින් තිබෙන බව පෙනෙන්නට ඇති නිසාය.

එහෙයින් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවින්ගේ පිහිටයි කියන අතරේ එජාපය දෙස බලා අපට අවසන් වශයෙන් කියන්නට තිබෙන්නේ "අන්තෝ ජටා බහිජටා" කියාය.

සමන් ගමගේ
http://www.divaina.com/2013/11/17/politics02.html

සිරිකොත මන්දිරය අභියසදී බොදුබල සේනා භික්‍ෂූන් වහන්සේලා ප්‍රහාරයකටද ලක්‌ වූහ.
https://www.youtube.com/watch?feature=player_embedded&v=3iVpFTMIp1U

0 comments: